ටෙස්ට් තරගමාලාවේ ජය 2-0ක් ලෙස දකුණු අප්‍රිකාවට

0
12

ශ්‍රී ලංකාවට තවත් ලජ්ජා සහගත පරාජයක්

දින 10ක තරග දෙකකදීම පිතිකරණයේ යෙදුණේ දින දෙකහමාරයි

ටෙස්ට් තරගයකට උචිත අයුරින් හැඩ ගැසීමට තරම් ප්‍රමාණවත් මානසිකත්වයකින් නොසිටීමත්, කඩුලු රැකගනිමින් පන්දුවට පහරදීමට තරම් ප්‍රමාණවත් ඉවසීමකින් තොරවීමත් හේතුවෙන් දින දෙකකට වැඩි කාලයක් ඉතිරිව තිබියදීම ජොහැනස්බර්ග් නුවර වොන්ඩර්ස් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ සත්කාරක දකුණු අප්‍රිකා පිල හමුවේ කඩුලු 10කින් පරාජය වීමට ශ්‍රී ලංකා පිලට සිදු විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල රැස් කළ ලකුණු 157ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකා පිල පළමු ඉනිම සඳහා ලකුණු 302ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිම ලකුණු 211කට සීමා වීම නිසා දකුණු අප්‍රිකානු පිලේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 67ක් තරම් පහසු එකක් විය. ඊයේ පස්වරු තේ පානයට පෙර කිසිවකු නොදැවී තරගය ජයගත් දකුණු අප්‍රිකානුවෝ තරග 2කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 2-0කින් ජයගත්තේ මීට වසර දෙකකට පෙර දකුණු අප්‍රිකානු භූමියේදී තරග 2-0කින් සත්කාරකයන් පරාජය කරමින් ශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයේ වාඩුවත් පිරිමසා ගනිමිනි.

මේ තරගයේ දෙවැනි දිනය පෙරේදා නිමා වන විට ශ්‍රී ලංකා පිල කඩුලු 6ක් ඇතැතිව ලකුණු 5ක් ඉදිරියෙන් සිටි අතර, ඒ වනවිට කඩුල්ලේ රැඳී සිටි නායක දිමුත් කරුණාරත්න සහ නිරෝෂන් දික්වැල්ලට පැවැරී තිබුණේ විශාල වගකීමකි. මේ වේගවත් තණතීරුවේ සිවුවැනි වරට පන්දුවට පහර දෙන කණ්ඩායමට ලකුණු 200ක් වුවත් හඹා යෑම අසීරු බවට විචාරකයන් පුන පුනා කියද්දී මේ පිතිකරුවන් දෙදෙනාට තම වගකීම හරි හැටි අවබෝධ කරගැනීමට හැකිවූවා නම් අඩුම තරමින් ලකුණු 150කවත් ඉලක්කයත් දකුණු අප්‍රිකානු පිලට ලබා දීමට තිබිණි. අනිත් අතට වේගපන්දුවට උචිත මෙවැනි තණ තීරුවක පිතිහරඹයේ නිරතවිය යුතු ආකාරය අත්දැකීමෙන් දැන සිටින මේ පිතිකරුවන් දෙදෙනා මීට වඩා කල්පනාකාරී වූවා නම් අඩුම තරමින් තරගය සිවුවැනි දිනය දක්වා ඇදගෙන යෑමට අවස්ථාව තිබිණි. දිමුත් සහ දික්වැල්ල දෙදෙනාම දැවී ගියේ අපරික්ෂාකාරි පහරවල් සඳහා යෑමෙනි.

ඊයේ දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් තරග දිවියේ 10 වැනි ශතකය වාර්තා කිරීමට සමත්වූවත් ශ්‍රී ලංකා පිල තරගයෙන් පරාජය වීමෙන් එහි සතුට ද හීන වී ගියේය. මුළු ලකුණු සංඛ්‍යාව 176දී ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙස ඔහු දැවීයෑමත් සමග ඉනිම කඩා වැටිණි. ඔහු දික්වැල්ල සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 67ක සම්බන්ධතාවක් ගොඩ නැගූ අතර, ශතකය වාර්තා කළේ එන්රිච් නෝයේට පිට පිට හතරේ පහර 2ක්ම එල්ල කරමිනි. පන්දු 123කින් වාර්තා වූ දිමුත්ගේ ශතකය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ වේගවත්ම ශතකය ද විය. ලකුණු 103කට ඔහු දැවී යන විට මුහුණ දී තිබුණේ පන්දු 128කට පමණි. ඔහුගේ ඉනිමට හතරේ පහර 19ක් ඇතුළත් විය.

පළමු ටෙස්ට් තරගයේදී ආබාධවලට ලක්වූ දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා නැති අඩුව දෙවැනි තරගයේදී විශාල පාඩුවක් වූවත් සෙසු පිතිකරුවන්ට සිය වගකීම ඉටු කිරීමට නොහැකිවීම කනගාටුවට කරුණකි. විශේෂයෙන් මේ තරගයේදී ඉනිම් 2දීම කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවීයෑමත්, පළමු ටෙස්ට් තරගයේදී ඉනිම් 2දීම අර්ධ ශතක ලැබූ කුසල් ජනිත්ට දස්කම් අතරට පිවිසීමට නොහැකිවීමත් ශ්‍රී ලංකා පිලේ පරාජයට දැඩි ලෙස බලපෑවේය. ඊයේ ශ්‍රී ලංකා පිලේ අවසන් පිතිකරුවන් 6 දෙනාම දැවී ගියේ ලකුණු 35ක් ඇතුළතදීය.

ශ්‍රී ලංකා පිල මුළු තරගමාලාවේදීම පිතිහරඹයේ යෙදී ඇත්තේ දළ වශයෙන් දින දෙකහමාරක කාලයක් පමණි. එය පළමු තරගයේදී දින එකහමාරක් සහ දෙවැනි තරයේදී එක් දිනක් ලෙසටය. පළමු තරගය දකුණු අප්‍රිකාවට ඉනිමක ජයක් අත්කර දෙමින් නිමාවට පත්වූයේ සිවුවැනි දිනයේ දිවා ආහාරයෙන් මොහොතකට පසුය. දෙවැනි තරගය දකුණු අප්‍රිකාවට කඩුලු 10ක ජයක් ගෙන දෙමින් නිමාවට පත්වූයේ තුන්වැනි දිනයේ දිවා ආහාරයෙන් මොහොතකට පසුය.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන ද්විත්වයම දිනා ගනු ලැබුවේ ඩීන් එල්ගාර් විසිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here