නවකතාවයි – සිනමාවයි

    0
    15

    අපේ රටේ සිනමාව වාණිජ අතිනුත්, කලාත්මක වශයෙනුත් වැඩිම ප්‍රේක්ෂක ආකාර්ෂණයක් දිනා ගත්තේ 70 දශකය තුළදීය. එකල සිංහල භාෂාවෙන් නිපදවූ චිත්‍රපට, සංඛ්‍යාත්මකව වැඩිම ප්‍රමාණයක් වානිජ වශයෙන් සාර්ථකත්වයට පත් විය. ඒ ගීත්, අභිමාන් වැනි අතිශය ජනප්‍රිය හින්දි චිත්‍රපටත් ජනප්‍රිය තලයේ ඉංග්‍රීසි චිත්‍රපටත් ප්‍රදර්ශනය වෙමින් තිබුණු වකවානුවකදීය. සිනමාවට සම්බන්ධ වැඩිම ප්‍රකාශන සංඛ්‍යාවක් එළි දැක්කේද 70 දශකය තුළදී බව කිවහොත් එය නිවැරදිය. චිත්‍රපට ශාලාවලින් හා පොත් සාප්පුවලින් ශත 15කට හෝ ශත 25කට මිලදී ගත හැකි වූ චිත්‍රපට ගීත පොත්වල සිට සිනමාව පිළිබඳ ශාස්ත්‍රීය හා ප්‍රායෝගික සිනමාව පිළිබඳ ලිපි පළ කළ පොතපත දක්වා විශාල ප්‍රකාශන සංඛ්‍යාවක් එදා පළ කෙරිණි. සිනමාවත් – සිනමා ප්‍රකාශනත් අතර මේ මිත්‍රශීලී අවියෝජනීය සහසම්බන්ධයට එදා සිංහල නවකතා ද මහත් සේ උපයෝගී කර ගැනිණි. මේ එදා නවකතා ඇසුරින් සිනමාවට නැඟුණු නිර්මාණ පිළිබඳ අතීතාවර්ජනයකි.

    සිංහල සිනමා වංශකතාවට මුලින්ම නවකතාවක් එක්වූයේ 1952 දීය. ඒ එවකට මෙරට සිටි ජනප්‍රියතම නවකතාකරුවකු වූ ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන් ලියූ ‘කැලෑ හඳ’ නවකතාවයි. මෙරට ප්‍රදර්ශනය වූ මුල්ම චිත්‍රපටය වන ‘කඩවුණු පොරොන්දුව’ නිර්මාණය කළ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ‘කැලෑ හඳ’ අධ්‍යක්ෂණය ක‍ෙළ්ය. එහි ප්‍රධාන චරිත රඟපෑවේ රුක්මණී දේවී සමඟ ස්ටැන්ලි පෙරේරාය. කැලෑ හඳ නවකතාව පාඨකයන් අතර එදා ජනප්‍රිය වූවා සේම ඒ ඇසුරින් තැනූ චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය වූයේය.

    ඉන් පසුව ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන් විසින් රචිත ‘සිරියලතා’, ‘දෙයියන්නේ රටේ’, ‘දෛවයෝගය’, ‘හිඟන කොල්ලා’ යන නවකතා ද සිනමාවට නැගිණි.

    සිංහල සිනමාවට නැඟුණු දෙවැනි නවකතාව වූයේ පියදාස සිරිසේන සූරීන් රචනා කළ ‘ඩිංගිරි මැණිකා’ නව කතාවයි. දකුණු ඉන්දීය ජාතිකයකු වූ එස්. පී. සාමි අධ්‍යක්ෂණය කළ ඩිංගිරි මැණිකා මුල්වරට ප්‍රදර්ශනය කෙරුණේ 1956 දීය.

    මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ ‘ගම්පෙරළිය’ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ අතර එය අන්තර්ජාතික සිනමා සම්මානයට ද පාත්‍ර විය. 1963 නවදිල්ලි‍ෙය් පැවැති අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී ‘ගම්පෙරළිය’ රණමයුර සම්මානය දිනුවේය.

    වික්‍රමසිංහ සූරීන්ගේ ‘කලියුගය’ සහ ‘යුගාන්තය’ නවකතා දෙකද සිනමාවට නැඟුවේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. ගම්පෙරළියේ රඟපෑ හෙන්රි ජයසේන සහ පුන්‍යා හීන්දෙනිය ඉන් විසි වසරකට පසු කලියුගය චිත්‍රපටයේද රඟපෑම සුවිශේෂත්වයකි. වික්‍රමසිංහයන්ගේ තවත් ජනප්‍රිය නවකතා දෙකක් වූ ‘මඩොල්දූව’ සහ ‘විරාගය’ නවකතාද සිනමාවට නැගිණි. මඩොල්දූව ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් ද, විරාගය තිස්ස අබේසේකර විසින්ද සිනමාවට නගන ලදී.

    එක් සාහිත්‍යකරුවකු රචිත නවකතා 7ක් 1970 දශකය තුළදී චිත්‍රපට ගත කර ප්‍රදර්ශනය කිරීමද සුවිශේෂත්වයකි. ටී. බී. ඉලංගකෝන් ඒ සාහිත්‍යධරයා ය. ඔහු රචිත තිලක හා තිලකා, නයනා, මංගලා, ළසදා, නෑදෑයෝ, නිවෙන ගින්න හා මල්සරාව ඇසුරින් එසේ චිත්‍රපට බිහි විය.

    සිංහල සාහිත්‍ය කෘති අතරින් වැඩිම ගණනක් සිනමාවට නැඟුණේ කරුණාසේන ජයලත්ගේ විය යුතුය. 1960 – 70 දශකවල පාඨකයන් අතර අතිශය ජනප්‍රිය වූ ජයලත්ගේ ‘ගොළු හදවත’ නවකතාව ඇසුරින් තැනූ චිත්‍රපටය 1968 දී මුල් වරට තිරගත කෙරිණි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ගොළු හදවත චිත්‍රපටයේ වික්‍රම බෝගොඩ, අනුලා කරුණාතිලක මතකයේ රැ‍ඳෙන ප්‍රධාන චරිත රඟපෑහ.

    ජයලත්ගේ ‘යහළු යෙහෙළි’ නවකතාව ඇසුරින් සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය ප්‍රදර්ශනය වූයේ 1982 දීය. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ නදීකා ගුණසේකරය. ඉන්පසුව ‘ගොළු හදවත’ නවකතාවේ දෙවැනි කොටස වූ ‘බඹා කෙටූ හැටි’ ආචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණයක් ලෙස 1981 දී ප්‍රදර්ශනය කෙරිණි. එහි ප්‍රධාන චරිත රඟපෑවේ මාලිනී ෆොන්සේකා සමඟ ධර්මසිරි බණ්ඩාරනායකය. ජයලත් සූරීන් ලියූ ‘ගැහැනු ළමයි’, ‘පිරුණු හදක්’, ‘හතුරු හිතක්’ නවකතා ඇසුරින් සුමිත්‍රා පීරිස් ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයට නැගුවාය. වසන්ති චතුරානි සිනමාවට එක්වූයේ ගැහැනු ළමයි තුළිනි.

    අයිලින් සිරිවර්ධන විසින් රචිත ‘අහසින් පොළොවට’ නවකතාව චිත්‍රපටයට නැගුවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. එයද 1978 දී සම්මානයට පාත්‍රවූ චිත්‍රපටයකි. මඩවල එස්. රත්නායක සූරීන්ගේ ‘අක්කර පහ’ නවකතාව චිත්‍රපටයට නැඟුවේද ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. ප්‍රථම වරට කතුන් තිදෙනකු මූලිකවී සිනමාවට නැඟූ “ගඟ අද්දර” සුමිත්‍රා පීරිස්ගේ අධ්‍යක්ෂණයකි. එය නිපද වූයේ මිලිනා සුමතිපාලය. ගඟ අද්දර නවකතාව රචනා කළේ ලෙටීෂියා බොතේජුය.

    මතු සබැ‍ඳේ

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here