මම ලියන්නෙ මගේ ලාලසාවට – ප්‍රවීණ ලේඛක දිලීප ජයකොඩි

    0
    9

    විදෙස් නවකතා ශානර  අරගෙන බලනකොට  ඒවා විවිධාකාරයි.  නමුත් අපි ශානර දෙක තුනක  විතරක් හිරවෙලා ඉන්නවා. ආදරය, දේශපාලනය, ගමේ  කතා වගේ කීපයක.  නමුත් ලෝකයේ  නවකතා ශානර  කොයිතරම්  තියෙනවද?

    ඔහු තමන්ගේ පොත්වලට නම් තබන්නේ සාම්ප්‍රදායික ආකාරයකට නොවේ. ඒවා පාඨක සිත් ගැනීමට සමත්ය. තමන්ටම ආවේණික ශෛලියකින් සිංහල නවකතා පාඨකයා හමුවට ගෙන එන දිලීප ජයකොඩි මෙවර හමුවෙමු.

    l ඔබ බොහෝ විට ලියා පළ කරන්නේ “චේතන් භගත්” විලාසිතාවේ පරිවර්තන කෘති. අලුතින් ස්වතන්ත්‍ර නවකතාවක් ලියන්න අදහසක් නැද්ද?

    මේ දවස්වල මම චේතන් භගත්ගේ අලුත්ම නවකතාව වන one arranged murder කෘතිය සිංහලට පරිවර්තනය කරමින් ඉන්නවා. පාඨකයන් එය මගෙන් බලාපොරොත්තුවම සිටින නිසා එය ඉටුකළ යුතුම දෙයක්. ඒ වගේම මගේ ස්වතන්ත්‍ර කෘතියක සැකිල්ල ලියා අවසන්. එයටත් ලේ, නහර, මස් පුරවා ජීවය පිඹීම මේ වසරේදී සිදු කරනවා. ඒකත් චේතන්ගේ විලාසිතාවේ පොතක් වේවි. ගොඩාක් කාලෙක ඉඳලම පාඨකයන් මගෙන් ඉල්ලන්නෙ “ඔයත් ‍ෙච්තන්ගෙ ඒවම කර කර ඉන්නෙ නැතුව ඒ ‘ස්ටයිල්’ එකෙන්ම අපේම කතාවක් ලියන්නකෝ” කියලයි. ඒ පාඨක ඉල්ලීම මේ අවුරුද්දෙ සපුරනවා.

    මම හැමදාම දිගටම ලේඛනයේ නිරතවන කෙනෙක්. එනිසා මම තවත් පොතක් පරිවර්තනය කරමින් ඉන්නවා. ඒ මේරි හිගින්ස් ක්ලාක්ගෙ ‍පොතක්. මීට කලින් මම ඇගේ පොත් ඇසුරින් කළ “un හැපි බර්ත් ඩේ”, “ලයිල ලයිල ලා”, “අහා හැඩයි රෑ මේ” සහ “ඉන්න තැනින් එන්න” යන පොත් පාඨකයන් අතර ගොඩක් ජනප්‍රිය වුණා. ‘ත්‍රිලර්’ ශානරයට අයත් ඇගේ ‍ෙම් පොතත් පාඨක අවධානයට ලක්වේවි කියලා මම හිතනවා.

     

    l ඔබේ කෘතිවල යටිපෙළින් යම් දේශපාලනයක් කියැවෙනවා නේද?

    කතාවක් තියෙනවනේ මිනිසා ‍ෙද්ශපාලන සත්වයෙක්ය කියලා. මම ඒක පිළිගන්නවා. දේශපාලනයෙන් තොරව හුස්ම ගන්නවත් බැහැ කියලයි මම හිතන්නෙ. ඇත්තටම මටත් දේශපාලන මතයක් තියෙනවා. නමුත් මගේ කෘතිවලින් ඒ මතය පාඨක ඔලුවට දාන්න මම උත්සාහ කරන්නෙ නැහැ. මෙතැනදි කියන්න ඕන ඔය කතාව අදාළ වෙන්නෙ මගේ ස්වතන්ත්‍ර කෘතිවලට බව. එයිනුත් එය සෘජුවම බලපාන්නෙ මගේ අවසන් ස්වතන්ත්‍ර කෘතිය වූ “ආර්යා” වලට බව. එහි දේශපාලනයක් තියෙනවා. නමුත් අමු අමුවේම නෙවෙයි. සටන් පාඨ හැටියට නෙවෙයි. යථාර්ථය ඔස්සේ මම කතාවක් ගොතලා තියෙනවා. එහි කවුද හරි, කවුද වැරදි කියලා තීරණය කළ යුත්තේ පාඨකයායි.

    පුද්ගලිකව ඔය කියන “‍ෙපාලිටිකල් ත්‍රිලර්” ශානරයට මම කැමතියි. ඒ නිසා ඔබ කියන විදිහට යටිපෙළින් යම් දේශපාලනයක් මගේ කෘතිවලින් මතුවෙන්න පුළුවන්.

     

    l ඔබේ ‍ෙපාත්වල නම්, වෙනත් නවකතා පොත්වල නම්වලට වඩා වෙනස්. ඔබ හිතනවද මේක පාඨක ආකර්ෂණයට ලක්වෙනවා කියලා?

    මම හිතනවා ඒ නම්වලින් පාඨක ආකර්ෂණයක් මගේ පොත්වලට ලැබෙනවා කියලා. පොත්වලට තබන නම් පාඨක ආකර්ෂණයට ලක්වීම සතුටක්. ඒවා සෑහෙන්න අමුතුයි කියන ප්‍රතිචාරය මට නිතරම ලැබෙනවා. මම හිතන්නෙ ඒ අමුතු නම්වලට හේතුව මා තුළ සිටින “ඇඩ්වර්ටයිසින් මෑන්” කියලයි. අවුරුදු 25 ක විතර කාලයක් මම සේවය කළේ ලංකාවේ ප්‍රධාන පෙළේ දැන්වීම් ඒජන්සියක. නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් හැටියට. මගේ අතින් ලියැවුණු රූපවාහිනී, ගුවන්විදුලි, මුද්‍රිත මාධ්‍ය දැන්වීම් දහස් ගණනක්.

    ටී.වී. සහ රේඩියෝවලදී අපට ලැබෙන්නෙ තත්පර තිහයි. ඒ තත්පර තිහ ඇතුළතදී වචන 50 කින් සමහරවිට ඊටත් වඩා අඩු ගණනකින් අදාළ පණිවුඩය කියැවෙන්න ඕනෙ. “ෂෝට් ඇන්ඩ් ස්වීට්” කියන්නෙ…. අන්න එහෙම….

    “නියම කුකුළා…”, “ගෑවුනු තැන කත හැකි”, “ෆන් තමයි”, “මටමයි වෙන්නෙ”, “ආදරෙයි කැස්සයි” වගේ ලයින් මගේ අතින් ලියැවුණු ඒවා.

    ඉතින් ඔය පුරුද්ද නිසා පොතක සමස්ත කතාවට අදාළව ‘ෂෝට් ඇන්ඩ් ස්වීට්’ නම් දාන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒක පාඨකයන් ආදරෙන් බාර ගැනීම ගැන මට ගෙන දෙන්නෙ ඉහළම සතුටක්.

     

    l කොරෝනා නිවාඩුවෙන් පාඨකයා තව තවත් කියවීමට හුරු වුණා කියලා ඔබට හිතෙනවද?

    කොරෝනා නිසා බොහෝ දෙනෙකුට නොසිතූ විවේකයක් ලැබුණා. සමහර අය ඒ විවේකයේදී කරන්න දෙයක් නැතුව “අපෝ… මෙහෙම ඉන්න ගියාම එපා වෙනවා” කියන ආකල්පයේ හිටියා. ඒ තත්ත්වය මත බොහෝ දෙනෙක් විකල්ප කීපයකට යොමු වුණා. සමහරු රූපවාහිනී එසේත් නැත්නම් ඩී.වී.ඩී. නැරඹුවා. සිංදු ඇහුවා. සමහරු කියෙව්වා. එලෙස කියවීමට පුරුදු වූ අය ඒක අත හරින්නේ නැහැ. ඒ නිසා රූපවාහිනී, ඩී.වී.ඩී. හා ගීත අහපු අයගෙන් යම් පිරිසක් කියවන්නට යොමු වෙන්නට ඇති කියලා මට හිතෙනවා.

    මෙතනදි මම දකින්නෙ වෙන දෙයක්. කොරෝනා විවේකය තිබුණත් නැතත් කෙනෙක් කියැවීමට පෙළඹෙන්නේ නැත්තේ ඔවුන්ට කියවීමට ලැබුණු පොත්වල දුර්වලතාවයක් නිසා බවයි මට හිතෙන්නෙ. පළමුවැනි පරිච්ඡේදයෙන්ම පොත බිම නොතබා කියවාගෙන යන්න හිතෙනවා නම් තත්ත්වය වෙනස්. බොහෝ දෙනෙක් කියවීම පටන් ගන්නෙ එහෙම පොතකින් නොවුණොත් එයාට කියැවීම එතැනින්ම එපා වෙනවා.

    කොරෝනා කාලෙදි වුණත් ඔය දෙවර්ගයේ පොත් කියවන්න ලැබුණු අය එක්කො පොත් කියවන්න පුරුදු වෙන්න ඇති. නැත්නම් ආයෙ නම් පොත් බලන්නෙ නෑ කියලා තීරණය කරන්නත් ඇති. ඒක සාපේක්ෂ තීරණයක්. පුරුද්දක්.

     

    l ඔබ ලියන්නෙ ලාලසාවටද? ඒවාට ඇගැයීමක් අපේක්ෂා කරනවාද?

    මෙතනදි මම මගේ කෘතිවලට ඇගැයීමක් බලාපොරොත්තු වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ මම ලියන්නෙ ඇයි කියන එක මත. ඇත්තටම මම ලියන්නෙ මගේ ලාලසාවට. පැෂන් එකට. ඒක හරියට කෙනෙකුට නොකා ඉන්න බෑ වගේ. ආදරේ නැතුව ඉන්න බෑ වගේ. ඒ නිසා මම එහෙම ඇගැයීමක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. නමුත් එහෙම ඇගැයීමක් ලැබුණොත් ඒකෙන් සතුටට පත්නොවී ඉන්නෙත් නෑ. එහෙම ලැබුණත් නැතත් මම දිගටම ලියනවා. ඔබ ඔය කියන ඇගැයීම සම්මාන නම්, ඒ ගැනයි මම ඔය කිව්වේ. නමුත් ඔබ ඔය කියන ඇගයීම පාඨකයන්ගෙන් ලැබෙන එකනම්, ඔව් මම ඒ ඇගයීම නම් බලාපොරොත්තු වෙනවාමයි. මොකද ඒ ප්‍රතිචාර, ඇගයීම් තමයි මගේ ෆැෂන් එකට දිරි දෙන්නෙ. ඒ ඇගැයීම් නොලැබුණොත් මට ලිවීමේ ආසාව නැති වෙන්න පුළුවන්. මාළුවට වතුර නැතුව ඉන්න බෑ වගේ මටත් පාඨක ඇගැයීම් නැතුව ලිවීම නමැති පිහිනීම කරන්න බෑ.

     

    l අපේ නවකතා තවමත් අන්තර්ජාතික මට්ටමට නොයන්නෙ ඇයි?

    ඒකට හේතු කිහිපයක් මං දකිනවා. විදෙස් නවකතා ශානර අරගෙන බලනකොට ඒවා විවිධාකාරයි. නමුත් අපි ශානර දෙක තුනක විතරක් හිරවෙලා ඉන්නවා. ආදරය, දේශපාලනය, ගමේ කතා වගේ කීපයක. නමුත් ලෝකයේ නවකතා ශානර කොයිතරම් තියෙනවද? Horror, Humoar, Sceintific Horror, Sceientific thriller, young Adults, Erotic, Mustery, Historic ඒ අතරින් කීපයක්. ඉතින් අපේ නවකතාකරුවො ඉස්සෙල්ලම එතැනින් එළියට එන්න ඕනෑ. ඊට පස්සෙ ඒ ඒ ශානරවල ප්‍රමාණාත්මක වර්ධනයක් තියෙන්න ඕනෑ. ගුණාත්මක වර්ධනයකුත් තියෙන්න ඕනෑ. දැනටත් ඔය ශානරවලට අදාළ යම් යම් පොත් දෙක තුනක් ලියැවිලා තිබුණත් ඒ මදි.

    ජාත්‍යන්තරයට යන්න නම් විශාල තේරීමක් ‘වොයිස්’ එකක් ඕනෑ. එතකොටයි මෙන්න මේක ජාත්‍යන්තරයට හරියාවි කියලා තෝරා ගැනීමක් කරන්න පුළුවන් වෙන්නෙ. නැත්නම් අපට ජාත්‍යන්තරයට දෙන්න තියෙන්නෙ සීමිත සම්භාව්‍ය කෘතීන් කීපයක් විතරයි.

     

    බන්ධුල ගුණරත්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here