මුහුණු පොතින් මුදල් එකතු කර මහනුවර ජාතික රෝහලට පීසීආර් යන්ත්‍රයක් පිරිනමයි

0
51

මුහුණ පොත ඔස්සේ එකතු කළ රුපියල් මිලියන තුනක මුදල මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මියට බාරදුන් අවස්ථාව.

 

මහනුවර ජාතික රෝහලට පී.සී.ආර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ සංසදය නමින් මුහුණු පොතේ (facebook) කණ්ඩායමක් (Group) නිර්මාණය කර දින 40 ක් තුළ රුපියල් ලක්ෂ 48 ක් වටිනා පී.සී.ආර් යන්ත්‍රයක් රෝහලට ලබා දීමට තරුණ කණ්ඩායමක් සමත්ව තිබේ.

අදාළ පී.සී.ආර් යන්ත්‍රය පසුගිය (01) දින රෝහලට බාරදී තිබේ.මෙම පී.සී.ආර් යන්ත්‍රය මිලට ගැනීම සඳහා වැයවූ මුදලින් රුපියල් ලක්ෂ 30 ක් මුහුණු පොතේ ඇති කළ කණ්ඩායම මගින් සොයාගත් බවත් එම කණ්ඩායමට 4000 ක පමණ පිරිසක් එක්ව සිටි බවත් මහනුවර ජාතික රෝහලට පී.සී.ආර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ සංසදය නැමැති ගිණුමේ ඇඩ්මින්වරයෙකු ලෙස කටයුතු කළ රොෂාන් තල්පාවිල මහතා කීය.

මෙම මුදල් එක්රැස් කිරීමේ විනිවිද භාවය ආරක්ෂා කිරීම සඳහා මහනුවර ජාතික රෝහලේ බෞද්ධ වෛද්‍යවරුන්ගේ සංගමයට අයත් බැංකු ගිණුම භාවිත කළ බවත් එයට දින 40 ක කාලයකදී රුපියල් ලක්ෂ 30 ක මුදලක් එකතු වූ බවත් ඒ මහතා පැවැසුවේය.

පී.සී.ආර් යන්ත්‍රයක් රෝහලට ලබා ගැනීම සඳහා මහනුවර ජාතික රෝහලේ සංවර්ධන කමිටුව මගින් පවත්වාගෙන ගිය ගිණුමක එකතුවී තිබුණු මුදල්ද යොදවා පී.සී.ආර් යන්ත්‍රය මිලට ගත් බවත් ඊට අදාළ කටයුතු සියල්ල රෝහල් කමිටුවේ සභාපති මොහාන් සමරකෝන් මහතාගේ මෙහෙයවීමෙන් සිදුකළ බවත් තල්පාවිල මහතා කීය.

මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය සනත් වෑකඩපොළ,පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර වික්‍රමරත්න,ශ්‍යාමලී රාජපක්ෂ,ඩිෂාන් වර්ණසේකර යන මහත්ම මහත්මීන් මහනුවර ජාතික රෝහලට පී.සී.ආර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ සංසදය නමින් මුහුණු පොතේ (facebook) ආරම්භ කළ කණ්ඩායමේ (Group) ඇඩ්මින්වරු ලෙස ක්‍රියාකර ඇත.

මහනුවර ජාතික රෝහලේ දෛනිකව පී.සී.ආර් පරීක්ෂණ 700 ක් පමණ සිදු කරන බවත් නව පී.සී.ආර් යන්ත්‍රය ලැබීමත් සමඟ ඉදිරියේදී මෙම සංඛ්‍යාව 1500 ක් දක්වා වර්ධනය කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවත් වෛරසවේදී විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහතා පවසයි.තරුණ කණ්ඩායම් මේ ආකාරයෙන් සමාජ මාධ්‍ය භාවිත කර පොදු යහපත සඳහා කටයුුතු කිරීම අගය කරන බවත් මෙය සෙසු අයට ආදර්ශයක් බවත් මහනුවර ජාතික රෝහලේ සංවර්ධන කමිටුවේ සභාපති මොහාන් සමරකෝන් මහතා කීය.

අසේල කුරුළුවංශ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here