විපක්ෂයේ ඇතැමුන් දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීමට සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ පිරිස් යොදාගන්න හදනවා

0
34

වේළුපිල්ලේ ප්‍රභාකරන් ජනතාව බිල්ලට තබා කටයුතු කළාසේම විපක්ෂයේ ඇතැමුන් තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය ඉටුකර ගැනීම සඳහා අද වනවිට සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ පිරිස් යොදා ගැනීමට උත්සාහ කරන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.

මේ තත්ත්වය හෙළාදකින බව පවසන ඒ මහතා ඇතැම් දේශපාලඥයන් කුහක විදියට සංචාරකයන්ට මේ රට විවෘත කරනවාට අකමැත්තෙන් කටයුතු කරන බවද එම ජනතාව මහ පාරේ ඉන්නවාට කැමැත්තෙන් පසුවන විපක්ෂය මේ රටේ ජනතාව උකසට තබා ප්‍රභාකරන් කළදේම සිදුකරන බවද පෙන්වාදෙයි.

ඇමතිවරයා මේ බව සදහන් කළේ සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ දී ඊයේ (05) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා,

සංචාරක ව්‍යාපාරය ආරම්භ කළ වැඩපිලිවෙලක වෙනුවෙන් සියලු දෙනාගේ සහාය අවශ්‍ය වෙනවා. මේ ක්ෂේත්‍රයට සෘජුව හා වක්‍රව ලක්ෂ 30ක් පමණ සම්බන්ධ වෙනවා. පසුගිය වසර දෙකක කාලයේ දී ඔවුන් ආර්ථික වශයෙන් අසීරුතාවලට මුහුණ දුන්නා. පාස්කු ප්‍රහාරය හේතුවෙන් පීඩාවට පත්වුණා. යුද්ධය පැවැති කාලයේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ගැටළු තිබුණා. ඒ කාලයේ ත් ලක්ෂ 5ක් පමණ සංචාරකයන් ලංකාවට ආවා. ඒ වගමේ යුද්ධයේ අවසානයත් සමග 2018 වසර වනවිට ලක්ෂ 23 ක් පමණ විදෙස් සංචාරකයන් ලංකාවට පැමිණ තිබෙනවා. 2019 වනවිට ලක්ෂ 19 දක්වා පහළ වැටුණා. 2020 වනවිට ලක්ෂ පහක් පමණ වෙයි. 2021 වසරේ දී අපේ ඉලක්කය ලක්ෂ 15ක් පමණ විදෙස් සංචාරකයන් ගෙන්වා ගන්නයි. ඒ ඉලක්කයට යන්න පුළුවන් නම් අපේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ අයගේ ප්‍රශ්න සඳහා යම් විසඳුමක් දෙන්න පුළුවන් වෙයි. මාර්තු මාසයේ 19 දා අපි ගුවන් තොටුපළ වසා දැම්මා. එදා සිට මේ දක්වා සංචාරකයන් පැමිණීමක් සිදුවුණේ නැහැ. නියමු ව්‍යාපෘතිය ආරම්භ කරනතෙක් සංචාරකයන් පැමිණියේ නැහැ. ඒ නිසාම මේ ව්‍යාපාරයේ නිරතවූවන්ට ආර්ථික වශයෙන් පීඩාවන් පැමිණියා.

හෝටල් ක්‍රියාත්මක වුණේ නැහැ. සංචාරක ව්‍යාපාරයේ විශාල පිරිසක් අසරණ වුණා. පසුගිය වසරේ ජූනි මාසයේ දී අපි උත්සාහ කළා වැසීගිය සංචාරක ව්‍යාපාරය ආරම්භ කරන්න. ඒ වෙනුවෙන් අපි යම් යම් මාර්ගෝපදේශන නිර්මාණය කළා. මේ ව්‍යාපාරයේ බහුතරයක් යැපෙන්නේ පෞද්ගලික අංශයෙන්. සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ඒවා නියාමනය කරනවා. ඒ නිසා පසුගිය කාලයේ සිදුවූ තත්ත්වයන්ට යම් යම් සහන දෙන්න පියවර ගත්තා. නොයෙක් හේතුමත ඒවා ඇතැමුන්ට ලැබී නැහැ. නමුත් සංචාරක සංවර්ධන අධිකාරිය ඉතිහාසයේ කිසිම අවස්ථාවක තම අරමුදලින් සහන ලබාදී නැහැ. නමුත් මෙවර සංචාරක මඟ පෙන්වන්නන් සහ රියදුරන් සඳහා රුපියල් 15000 ක් සහ 20000 බැඟින් දීමනා ලබාදෙන්න පියවර ගත්තා. මේ වනවිට ඒ අය 3500 ට සහන දෙන්න කටයුතු කර තිබෙනවා. මේ අරමුදල ගොඩනැඟී තිබෙන්නේ එහි සාමාජිකයන්ගෙන්.

ඒ නිසා සංචාරක ව්‍යාපාරයේ පැවැත්ම වෙනුවෙන් රජය විසින් සහන ලබාදෙන්න පියවර ගත්තා සේම සංචාරක අරමුදලින් ද සහන ලබාදෙන්න පියවර ගෙන තිබෙනවා. යම් දුරකට ඒ කටයුතු අපි කර තිබෙනවා. ජූනි මාසයේ දී අපි මේ ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශව කැඳවා සංචාරක ව්‍යාපාරය නැවකත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළා. දෙසැම්බර් මාසයේ අපි සාකච්ඡා කොට ජනවාරියේ සිට මේ රට සංචාරකයන්ට විවෘත කරන්න සාකච්ඡා කළා. එහිදී අපි බලාපොරොත්තු වුණා නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන්න. ඒ ව්‍යාපෘතියට අපි සාකච්ඡා සඳහා ආරාධනා කළා. වාණිජ ගුවන් යානා සඳහා අපි අවස්ථාව දෙන්න පියවර ගත්තා. මෙලෙස පැමිණෙන සංචාරකයන් මෙරටට පැමිණි පසුව ඒ ගුවන් යානයෙන්ම යළි යාමට හැකි ලෙස මේ පියවර ගෙන තිබෙනවා. එවිට අපිට පාලනය කර ගන්න පුළුවන්. මේ ව්‍ය්‍යාපෘතියේ අඩුපාඩු වෙන්න පුළුවන්. ලක්ෂ 30ක අය වෙනුවෙන් මෙය හොඳම අවස්ථාවක් නිසා මෙය ආරම්භ කරන්න අපි පියවර ගත්තා. ඒ අනුව රුසියානු කලාපයෙන් ලංකාවට ගුවන් යානා ගෙන්වීමට යෝජනාවක් පැමිණියා. ඒ සඳහා අපි සමඟ ආයතන කිහිපයක් සම්බන්ධ වෙනවා.

අපි මෙහිදී නියමු ව්‍යාපෘතියට ගැලපෙන ලෙස මාර්ගෝපදේශන මාලාව නිර්මාණය කළා. සියලු අංශ සමඟ සාකච්ඡා කොට එකඟතාවයකට පැමිණි පසුව මේ තීරණයට ආවා. ඒ නිසා නියාමන වැඩසටහන වෙනුවෙන් අපි දවසගානේ සාකච්ඡා කළා. මේ මාර්ගෝපදේශන හරියටම ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දුන්නා. එසේ නොකරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. පසුගිය මාසයේ 28 දා යුක්රේන සංචාරකයන් කණ්ඩායමක් මෙරටට පැමිණියා. අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසයේ 21 දා සිට සම්පූර්ණයෙන්ම ගුවන් තොටුපළ සංචාරකයන්ට විවෘත කරන්න අපේක්ෂා කරනවා. මේ වනවිට හදුනාගෙන තිබෙන මූලික ගැටළු විසඳාගෙන ඒ සඳහා අපි සූදානමින් ඉන්නවා. එක් එක් කණ්ඩායම් වෙත වගකීම් පවරා තිබෙනවා. ඒ කරන විට අපිට යම් යම් චෝදනා තිබෙනවා. ශ්‍රී ලාංකිකයන්ට එක් නීතියක්. සංචාරකයන්ට එක් නීතියක් කියනවා. මේ රටේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වන එක කිසිඳා නතර කළේ නැහැ. මේ වනවිට 60000 ට වඩා ගෙනවිත් තිබෙනවා. කොවිඩ් කමිටුව මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මේ වනවිට දිනකට 500ක් පමණ ගෙනාවා. 700ක් පමණ ගේන්න ඉඩකඩ තිබෙනවා.

ආයෝජකයන් ද එන්න පුළුවන්. සංචාරකයන්ට අවම දින ගණනක් අපි දෙනවා. විදෙස් සංචාරකයන් කිසිඳු අවස්ථාවක අපේ සමාජය සමඟ මිශ්‍ර වන්නේ නැහැ. අපේ අරමුණ හා වගකීම සංචාරකයින්ගෙන් අපේ සමාජයටත් සමාජයෙන් සංචාරකයින්ටත් කොවිඩ් 19 බෝ නොවන නීති රාමුවක් තුළ සිට තමයි මේ කටයුතු කරන්නේ. එය තමයි මුල් අරමුණ. සංචාරකයන් ගෙන්වාගෙන සිරකාරයන් සේ කටයුතු කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපේ නියාමන වැඩසටහන තුළ හදුනාගත් ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කර සංචාරකයන්ට රට විවෘත කරනවිට තවත් නීති ලිහිල්කර මේ කටයුතු කරන එක ගැන සාකච්ඡා කරනවා. මේ සම්බන්ධයෙන් මාර්ගෝපදේශන නිර්මාණය කර තිබෙනවා. සෞඛ්‍ය නීතිරීතිවලට අනුව කොවිඩ් කමිටුවේ උපදෙස්වලට අනුගතව මේ කටයුතු සිදුකරනවා. එන සංචාරකයන් යොමු කළහැකි ස්ථාන 14ක් මේ වනවිට හදුනාටගෙන තිබෙනවා. ඉදිරියේ දී එම ස්ථාන තවදුරටත් ඉහළ නංවන්න පුළුවන්. සංචාරකයන්ට නැරැඹීම සඳහා සුදුසු ස්ථාන සඳහා පමණක් අපි අනුමැතිය ලබාදෙනවා. විදෙස් සංචාරකයන් සහ දේශීය සංචාරකයන් සම්බන්ධ නොවන විදියට ඒ කටයුතු කරනවා.

ඇතැම් දේශපාලඥයන් අවබෝධයක් නොමැතිව චෝදනා කරනවා. යම් යම් අයගේ වුවමනා ඉටුකරන්න මේ ආණ්ඩුව කටයුතු කරන බවට චෝදනා තිබෙනවා. අපි පසුගිය වසරේ පෙබරවාරි 28 දා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මත්තල ගුවන් තොටුපළට වැඩි වැඩියෙන් ගුවන් යානා ගෙන්වා ගැනීම වෙනුවෙන් මෙය ඉදිරිපත් කළා. ඒ වනවිට රට වසා තිබුණේ නැහැ. පසුගිය ජූනි මාසයේ තමයි සංචාරකයන් ගේන්න කටයුතු කළේ. ගෙනාවේ දෙසැම්බර් මස 28 දා. ඒ වනතෙක් මාස කිහිපයකට පෙර අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ගේන්න බැහැ. ඇතැම් දේශපාලඥයන් කුහක විදියට සංචාරකයන්ට මේ රට විවෘත කරනවාට කැමැති නැහැ. පාරවල් වල ඉන්නවාට ඔවුන් කැමැතියි. මේ රටේ ජනතාව උකසට තබා ප්‍රභාකරන් කළදේ තමයි විපක්ෂය කරන්නේ. ප්‍රභාකරන් ද ජනතාව බිල්ලට තබා කටයුතු කළාසේම විපක්ෂයේ ඇතැමුන් තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය ඉටුකරන්න අද මේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වුණු අයව පාවිව්චි කරන්න උත්සාහ ගන්නවා. ඒ නිසා මේ තත්ත්වය අපි හෙලා දකිනවා. මේ කාරණ අනුව අපි 23 රට විවෘත කරනවා. 21 සිට විවෘත කරන්න අපේක්ෂා කරනවා. 20 අවසන් ගුවන් යානය එනවා. එතනදීත් සිදුවන අඩුපාඩු හදුනාගෙන ඉදිරියට යන්න අපේක්ෂා කරනවා. අවශ්‍යතාවය අනුව ඉදිරියේ දී වෙනස්කම් සිදුකරනවා.

මේ වනවිට ලෝකයේ රටවල් 30ක් පමණ සංචාරකයන්ට විවෘතකර තිබෙනවා. අපි අපේ රටට ගැලපෙන විදියට වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර කටයුතු කරනවා. පවතින ප්‍රශ්න විසඳාගෙන අපි සියලු දෙනා එකට එක්ව ඉදිරියට ගමන් කරනවා. යාල ඇතිවු සිද්ධියේ දී රියදුරන් සමඟ සම්බන්ධීකරණයක් වුණේ නැහැ. ඔවුන් කොවිඩ් 19 සඳහා ම ලබාදෙන ඇඳුම් කට්ටලය ඇඳගෙන සිටියා නම් නිරෝධායනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් එසේ නොගිය නිසා හමුදාව අපෙන් උපදෙස් ඉල්ලුවා මේ සම්බන්ධයෙන් කුමක් ද කළයුතු කියලා. අපිට 28 දෙනෙක් වෙනුවෙන් මුළු රටක් උකසට තියන්න බැහැ. මෙහිදී පැමිණි විදේශිකයන් දෙවරක් පී.සී.ආර් කර තිබෙනවා. මෙතන අඩුපාඩු සිදුව තිබෙනවා. ඒවා නිවැරැදි කරගෙන අපි ඉදිරියට යන්න බලනවා. සියලු පාර්ශවයන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරනවා. එහිදී මාර්ගෝපදේශන ක්‍රියාත්මක කළයුතු වෙනවා. එසේ නොමැති නම් ඔවුන්ට විරුද්ධව අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඇතැම් දේශපාලනඥයන් කියනවා සංචාරකයන් තමන්ගේ ප්‍රදේශවලට එන්නේ නම් ගහලා පන්නන්න කියනවා. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. සංචාරකයන්ට ආගන්තුක සත්කාර කරන රටක් හැටියට දේශපාලනය ඔළුවේ තියාගෙන මෙහෙම කටයුතු කරන්න හොඳ නැහැ.

ඒ අය සම්බන්ධයෙන් අපි නීතිමය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ කටයුතු සාර්ථක කර ගන්න එකමුතුව කටයුතු කරනවා. සංචාරකයන් ගෙන්වීමේ වැඩපිළිවෙලේ දී ප්‍රතිලාභ කිහිප දෙනෙකුට පමණක් බෙදී යන්නේ නැහැ. අපේ ඉලක්කය කරා යන්න දිනකට විදෙස් සංචාරකයන් 3000ක් හෝ ගෙන්වා ගතයුතු වෙනවා. සංචාරකයන් මෙරටට පැමිණීමේ දී නවාතැන් ගතයුතු හෝටල් 106ක් හදුනාගෙන තිබෙනවා. ඒ අයට කුමන හේතුවක් මත හෝ සංචාරකයන් හා ශ්‍රී ලංකා සමාජය මිශ්‍ර කරන්න බැහැ. ඒ අය සංචාරක බුබුළ සංකල්පයට අනුව කටයුතු කරන නිසා ඔවුන්ට පහසුකම් සපයනවා. නියමිත හෝටල් සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු නොවකරනවා නම් බලපත්‍රය අහෝසි කරන්න පියවර ගන්නවා. ආරක්ෂාව ඇතිව කටයුතු කරන්න ඕන. සංචාරකයන්ගේ කැමැත්ත අනුව නැරැඹීමේ අවස්ථාව හිමිවෙනවා. මේ වනවිට සංචාරක කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා පළමුවරට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද පත්කර තිබෙනවා. යාල සෆාරී රියදුරන් මේ වනවිට ඉන්නේ බබල් එකේ ඔවුන් දිගටම යුක්රේන සංචාරකයන් ප්‍රවාහනය කරනවා. ඒක නිරෝධානයක් නෙවෙයි වෙන්ව තැබීමක් එතනදී පොඩි සම්බන්ධීකරණයේ ගැටලුවක් තිබෙනවා. අපි දැන් එය නිවැරදි කලා. 28 දෙනෙක් නිසා රටක් උගසට තියන්න බැහැ ඒ නිසයි ඔවුන්ව වෙන්ව තබන්න කටයුතු කලේ. ඔවුන්ගේ පවුල්වලට අපි අවශ්‍ය ආහාරපාන ලබා දුන්නා. කොවිඩ් කමිටුව මෙරටට ගෙන්වීම අත්හිටුවන කිසිදු රටකින් අපි සංචාරකයක් ගෙන්වන්නේ නැහැ. එලෙස සිමාවක් නොමැති ඕනෑම රටකට අපි මෙය විවෘත කරනවා. හැබැයි ඒ සෞඛ්‍යය මාර්ගෝපදේශ අනුව ඔය කථාව කිව්වේ පාඨලී තනිකර කුහක දේශපාලඥයෙක්. වාහනයක ගිහින් තරුණයෙක් හප්පලා යහාපාලනය කාලේ බේරුනේ කොහොම ද කියලා අපි දන්නවා. විපක්ෂය රටට පෙන්වන්න හදන්නේ යුක්රේනයෙන් ආපු හැමෝටම කොවිඩ් තියෙනවා කියලා. මේ වනවිට යුක්රේනයෙන් ගුවන්යානා 04 ක් ඇවිත් තිබෙනවා. සෞඛ්‍ය අංශ කියන විදියට 02 යි පොසිටිව්. දිනකට 2500 – 3000 අතර පිරිසක් විදෙස් සංචාරකයන් ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා. එවැනි පිරිසක් වෙනුවෙන් පී.සී.ආර් පරීක්ෂණ කරන්න පුළුවන්. පෞද්ගලික රෝහල් ද මේ සඳහා සම්බන්ධ කර ගන්නවා.

මෙම මාධ්‍ය හමුවට ගුවන්සේවා හා කාර්මික අපනයන සැකසුම් කලාප රාජ්‍ය ඇමැති ඩි.වී. චානක, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේරත්න මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

ධනුෂ්ක ගොඩකුඹුර සහ

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here