ගොවීන් විසින් නිෂ්පාදනය කරනු ලබන එළවළු දුර බැහැර ප්‍රදේශවල සිටින පාරිභෝගිකයන්ට ලැබෙන විට ඒවායේ තත්ත්වය බොහෝ විට දුර්වල වීම අප රටේ බහුලව සිදු වන දෙයක්. මෙසේ නිපදවන එළවළුවලින් සියයට 20-35 දක්වා ප්‍රමාණයක් අපතේ යන බව කරන ලද පර්යේෂණවලින් හෙළි වී තිබේ.
වගාවකින් අස්වනු නෙළන ලද අවස්ථාවේ සිට පාරිභෝගිකයා අතට පත් වන තුරු සිදු වන හානි සියල්ල පසු අස්වනු හානිය ලෙස සලකනු ලැබේ.
මේ නිසා ගොවියාට ඉතා අඩු මිලක් යටතේ තම නිෂ්පාදන අලෙවි කිරිමට සිදු වන අතර පාරිභෝගිකයාට විශාල මිලක් ගෙවා අවශ්‍ය එළවළු මිල දී ගැනීමට සිදු වේ.
විශාල වශයෙන් සිදු වන පසු අස්වනු හානියට ප්‍රධාන වශයෙන් හේතු වන සාධක කිහිපයකි. ජලය පිටවිම නිසා බර අඩුවීම, මේරීම, තැළීම හා සිරීම් සිදුවිම, කුණු විම යනාදිය මේ අතුරින් ප්‍රධාන තැනක් ගනී.
මෙසේ පසු අස්වනු හානිය නිසා අපතේ යන ප්‍රමාණය කෙරෙහි පෙර අස්වනු සාධක ද බොහෝ විට බලපෑමක් ඇති කරයි.
පෙර අස්වනු සාධක ලෙස හඳුන්වනු ලබන්නේ අස්වනු නෙළීමට පෙර ක්ෂේත්රයේ පැවති තත්ත්වයන්ය. අක්රමත්ව පොහොර භාවිතය, අඩු ජල සම්පාදනය, අධික දරිද්‍රතාවය සහ වෙනත් අයහපත් වගා පාලන ක්‍රම අස්වැන්න කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරයි.
පෙර අස්වනු සාධක මනා ලෙස පාලනය කර උසස් පසු අස්වනු තාක්ෂණ ක්‍රම අනුගමනය කිරීමෙන් අපතේ යන එළවළු ප්‍රමාණය අඩු කර ගත හැකිය.
තක්කාලි අස්වනු නෙළීමට සුදුසු අවස්ථාව තක්කාලි ගෙඩිය සියයට 50ක්වත් රතු පැහැයෙන් යුත් අවස්ථාවයි. අස්වනු නෙළීමේදී නටුව ගෙඩියට සවි වී තිබෙන පරිදි නෙළීම සුදුසුයි. නටුව වෙන්වුව හොත් ඇති වන තුවාලය නිසා එම ස්ථානයෙන් කුණු වීමට ඉඩ තිබේ. නටුව සමඟ නෙළා ගත් තක්කාලි ගෙඩිය නොගැඹුරු ලී පෙට්ටියක හෝ ප්ලාස්ටික් කූඩාවල ඇසිරීම කළ යුතුයි.
මෑ සහ බෝංචි වැනි එළවළු බොහෝ විට නාස්ති වන්නේ මේරීම සිදු වන නිසාය. ළපටි අවස්ථාවේදී නෙළීමෙන් මේරීම සිදුවන වේගය අඩු කර ගත හැකිය.
මෑ සහ බෝංචි කරලේ දිග උපරිම මට්ටමින් පත් වූ වහාම අස්වනු නෙළීම සුදුසුය. කරල පිරෙන තුරු සිටියොත් ඉක්මනින් මේරීම සිදු වන බැවින් අපතේ යන ප්‍රමාණය වැඩි වේ.
ළපටි අවස්ථාවේදි නෙළා ගත් විට වැඩි කරල් ගණනක් සැදෙන බැවින් ගොවියාට තම වගාවෙන් වැඩි අස්වැන්නක් ද ලබා ගත හැකිය.
බණ්ඩක්කා කරල් මේරීමට දින 2 කට පමණ පෙර නෙළා ගැනීමෙන් අපතේ යන ප්‍රමාණය අඩු කර ගත හැකි වේ.
ළපටිව අස්වනු නෙළූ විට දින 2කට වරක් අස්වනු නෙළිය හැකිය. එවිට ඉඩමෙන් ලැබෙන මුළු අස්වැන්න ප්‍රමාණය වැඩි කර ගත හැකිය.
වැටකොළු, පතෝල, කරවිල යන එළවළු අස්වනු නෙළීමට වඩා සුදුසු වන්නේ එම කරල් උපරිම දිගට පත් වන අවස්ථාවේදී. කරල් පිපිරීමේ අවස්ථාව දක්වා නෙළීම පමා කළ හොත් වැටකොළුවල මේරීම ද පතෝල. කරවිලවල ඉදීම ද ඉක්මන් වීම නිසා වෙළෙඳ අගය අඩු වේ.
වැටකොළු සහ කරවිල ප්ලාස්ටික් බඳුන්වල ඇසිරිය හැකි අතර පතෝලවල මැද කුහරයක් ඇති නිසා තැළීම සිදු වුව හොත් පහසුවෙන් පිපිරීමට ඉඩ තිබේ. පතෝල කුඩා ප්‍රමාණයේ මිටි වශයෙන් ඇසිරිම කළ හැකිය.
වම්බටුවල පලයෙහි උපරිම දිගට පත් වූ විට එය නෙළීමට සුදුසු අවස්ථාව වේ. පල පිරීම දක්වා සිටිය හොත් මේරීම සිදු වන නිසා තත්ත්වය පහළ යයි. ළපටි අවස්ථාවේදි අස්වනු නෙළා ගැනීමෙන් දිගු කාලීනව ඉඩමෙන් අස්වනු ලබා ගැනීමෙන් ගොවියාට වාසිදායක වේ.
මෙසේ නෙළන ලද ගෙඩි ප්ලාස්ටික් ඇසුරුම්වල අසුරා ප්‍රවාහනය කළ හැකිය.
සලාද සඳහා පිපිඤ්ඤා යොදා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඉතා ළපටි අවස්ථාවේදී අස්වැන්න නෙළා ගත යුතුය. මේ සඳහා ගෙඩිය සම්පුර්ණ වීමට පෙර නෙළා ගත යුතුය. පිසීම සඳහා භාවිත කරන්නේ නම් තරමක් මේරු අවස්ථාව වඩා සුදුසුය. පිපිඤ්ඤා ගෙඩියේ පිට පොත්ත දුඹුරු පැහැ ගැන්වීමට පෙර අස්වැන්න නෙළිම වැදගත්ය.
බීට්, නොකෝල්, රාබු වැනි එළවළු නියමිත දින ගණනකට පසු අස්වනු නෙළීමෙන් ගුණාත්මක බවින් වැඩි සහ උසස් තත්ත්වයෙන් යුතු අස්වැන්නක් ගත හැකිය.
මෙම එළවළු වර්ගවල අස්වැන්න නෙළන විට ශාකවල පත්‍ර නොකැපෙන ලෙස ගලවා ගත යුතුය.
මඩ ඉවත් කිරීම සඳහා අල පමණක් ජලයෙන් සේදිම වඩාත් සුදුසුය. පත්‍ර නොතැළෙන පරිදි ඇසිරීම මඟින් එළවළුවල උසස් තත්ත්වය යටතේ දින කිහිපයක් ආරක්ෂා කර ගත හැකිය.
ගෝවා ගෙඩිය හොඳින් වැඩි ඇති විට අස්වැන්න නෙළීම කළ යුතුය. වටේට පිහිටි පත්‍ර කිහිපයක් සමඟ ප්‍රවාහනය කිරිීමෙන් ගෙඩියට සිදු වන යාන්ත්‍රික හානි බොහෝ දුරට අඩු කර ගත හැකිය.
ලීක්ස් ශාකය හොඳින් වර්ධනය වූ විට පත්‍ර නොකැඩෙන පරිදි ගලවා මුල් කොටස පමණක් ජලයෙන් සෝදා මඩ ඉවත් කළ හැකිය. තද කර මිටි බැඳීම නොකළ යුතුය.
මාළු මිරිස් කරල වර්ධනය වූ විට අස්වැන්න නෙළිය යුතුය. මේරිම වැඩි වූ විට ඉක්මනින් ඉදෙන බැවින් නියමිත අවස්ථාවේදි අස්වැන්න නෙළීම වැදගත්ය.
මුකුණුවැන්න, කංකුං, ගොටුකොළ වැනි කොළ එළවළු මේරිමට ප්‍රථම අස්වැන්න නෙළිය යුතුය. නෙළූ කොළ ක්ෂේත්රයේදීම මිටි බැඳ තෙතමනය ඉවත් නොවන සේ තැබිය යුතුය.
සැම එළවළුවක්ම උදයේ පිනි හිඳුණු පසු අස්වනු නෙළීම වඩාත් සුදුසුය. කිසිම අවස්ථාවකදී නෙළන ලද එළවළු ක්ෂේත්රයේ පස් සමඟ ගැටීමට සැලැස්වීම සුදුසු නැත. හැකි ඉක්මනින් නෙළන ලද එළවළු සෙවන සහිත ස්ථානයකට රැගෙන යා යුතුය.
තේරීම සහ වර්ග කිරීම ක්ෂේත්රයේදී කළ යුතුය. පළමු සහ දෙවැනි පන්තිය වශයෙන් මතුපිට පෙනුම අනුව වර්ග කිරීම වඩාත් සුදුසුය. වර්ග කර විකිණීමෙන් වැඩි ආදායමක් ගැනීමට හැකි වේ.
සෑම එළවළුවක්ම සිදුරු සහිත ප්ලාස්ටික් කූඩා වල හෝ ලෑලිවලින් සාදන ලද පෙට්ටිවල ඇසිරීම කළ යුතුය. එමඟින් එළවළුවල තත්ත්වය ආරක්ෂා කර ගත හැකිය. අනවශ්‍ය ලෙස තද කර භාජනය තුළ ඇසිරීම සුදුසු නැත.
එළවළුවලට එතලින් වායුවේ බලපෑම ඉතාම අහිතකර වේ. ඉදෙන තක්කාලි, කෙසෙල්, අඹ, අලිගැට පේරවල එතලින් වායුව පිට වේ. මෙම පලතුරු, එළවළු සමඟ තැබීමෙන් පලතුරුවලින් පිට වන එතලින් වායුවට එළවළු නිරාවරණය වේ. එසේ වුව හොත් මේරීම ඉක්මන් වීම, කොළ පැහැ වීම, ඉදීම සහ එළවළු විනාශ වීමට ඉඩ ඇත.
ප්‍රවාහනයේදී පවා එළවළු පලතුරු සමඟ මිශ්‍ර කොට ප්‍රවාහනය කිරීමෙන් වැළකීම වඩාත් සුදුසුය.
එළවළු ප්‍රවාහනයේදී පරිස්සමින් ඇසිරීම කළ යුතුය. රාත්‍රී කාලයේදී හෝ උදය කාලයේදී ප්‍රවාහනය කිරීමෙන් අධික ලෙස උෂ්ණත්වය ඉහළ යෑම වළක්වා ගත හැකිය. තවද ප්‍රවාහනයේදී අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා කර ගත යුතුය. මෙවැනි ක්‍රම සහ උපදෙස් අනුගමනය කිරීමෙන් එළවළුවලට සිදු වන හානිය අවම කර ගැනීමට හැකි වේ.
බී.ඒ.එන්. ශාන්ත කුමාර
(තොරතුරු – කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්)