කුසුමාසන දේවියගේ පුතා රණමුරු ඔයේ දී මරු දුටු හැටි

    0
    10

    වසර 408 කට පසුව හෙළි වන කුමන්ත්‍රණයක කතාව

    ලාංකීය ඉතිහාසය හා ලග්ගල ප්‍රදේශයත් අතර ඇත්තේ සමීප සබැඳියාවකි. මන්දයත් ලක් ඉතිහාසය සියුම්ව ගවේෂණය කිරීමේ පර්යේෂණ සම්බන්ධයෙන් ලංකාවේ පවතින විරල සංසිද්ධීන් පිළිබද සංස්කෘතියක් මෙරට නොමැති බැවිනි. එනිසාම ඇතැම් ඓතිහාසික සංසිද්ධීන් අප අතරින් වැළලී යයි. ඉතිහාසය විමර්ශනයේ දී ලිඛිත මූලාශ්‍ර මෙන්ම ජනශ්‍රැති සහ ශාන්තිකර්ම ආදී විශ්වාසයන් ද නිතැතින් අපට ප්‍රයෝජනවත් වන්නේය. මෙකී ද්විත්ව සාධක මගින් තහවුරු වන කථාවක් අපට ලග්ගල ප්‍රදේශයෙන් හමු විය. ඒ උඩරට රාජධානි සමය පසුබිම් කරගෙනය.

    දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති නිමල් ආනන්ද කනහැර ආරච්චි මහතා සහ ලග්ගල ගැමියන් සමඟ එක්ව සිදුකළ මෙහිදී අනාවරණය වූ මෙම කතා පුවත සැබැවින්ම විස්මිතය.

    කන්ද උඩරට රාජධානියේ අසහාය කාන්තා චරිත අතර මුල්තැනක් හිමි වන්නේ කුසුමාසන දේවිය හෙවත් දෝන කතිරිනා ට බව අප දන්නා කරුණකි. ඇතැම් විට කමලාසන දේවිය ලෙස ද හැඳින්වූ ඈ ‘කුසුම් ආස්ථාන, දෝන කතිරිනා, ලෝකනාථා, මහ බිසෝ බණ්ඩාර, ලෙසින් ද හදුන්වා ඇත.

    වසර 33 ක් වැනි ඇයගේ කෙටි ජීවිත කාලය ලක් දෙරණෙහි චිරස්ථිතිය, අභිවෘද්ධිය සහ ශාසනයේ ප්‍රබෝධය පිණිස මහෝපකාරී වූ බව ඉතිහාසය පිරික්සන්නකුට පෙනී යයි.

    එමෙන්ම ඇය නව සිංහල රාජ්‍ය වංශයක ආරම්භය ද සටහන් කරන්නියකි. ඒ බව පෘතුගීසි, ලන්දේසි සහ ස්වදේශික ලිපි ලේඛන රැසකින්ම සනාථ වෙයි.

    කුසුම් ආස්ථාන නමින් ඇය ඉපිද ඇත්තේ 1580 දී පමණ යැයි සැලකේ. ඇගේ පියා එවකට සෙංකඩගල රාජ්‍යාධිපති කරල්ලියද්දේ බණ්ඩාරය. (1551-1582) තුන්වන ජයවීර නමින් ද ඔහු හඳුන්වා ඇත. සෙංකඩගල රාජධානියේ ප්‍රථම රජු ලෙස සැලකෙන සේනා සම්මත වික්‍රමබාහු (1463 – 1511) කරල්ලියද්දේගේ සීයා වන අතර, පියා 1511-1552 අතර රජ කළ දෙවන ජයවීර රජු විය.

    කුසුමාසන දේවියගේ වැඩුමල් සොයුරිය දෝන මාගරීටාය. ඇය කෝට්ටේ ධර්මපාල කුමරුට 1573 දී විවාහ කර දී තිබේ. සොයුරා 1582 දී උඩරටින් පලා යන විට අතරමග දී වූ ගැටුමකින් මරණයට පත්ව ඇත. කුසුමාසන දේවිය ඔටුන්න හිමි කුමරියක වන්නේ මේ උරුමය අනුවය.

    කන්ද උඩරට රාජ්‍යය වෙත ප්‍රබලම බලපෑම එල්ල වූයේ මායාදුන්නේ ගේ සීතාවක රාජධානියෙනි. එබැවින් ඔවුහු කෝට්ටේ පාර්ශ්වය සමඟ නිරන්තර සබඳතා පවත්වා

    ගත්හ.ඒ උදෙසා දෙපස අතර ආවාහ විවාහයන් පවා එකළ සිදුවිය.

    කෝට්ටේ ඔටුන්න හිමි කුමාරයා වූ ධර්මපාලයන්ට කරල්ලියද්දේගේ සොයුරිය විවාහ කර දීම එහි එක් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඇය මියගිය පසු සිය දියණිය වූ දෝන මාගරීටා, ඥාතීත්වය නොසලකාම විවාහ කර දුන්නේද රාජ්‍යාරක්‍ෂාව පිණිසමය. එමෙන්ම කරල්ලියද්දේ සිය පියා වූ ජයවීරට එරෙහි වූ අවස්ථාවේ ජයවීර සිය පවුලේ අය සමඟ පලා ගියේ ද මායාදුන්න වෙතය.

    1581 දී මායාදුන්නේ මියගිය අතර අනුප්‍රාප්තිකයා වූයේ රණශූර ඔහු පුත් රාජසිංහය. හෙතෙම 1582 දී සිය බලමුළු කන්ද උඩරට

    ආක්‍රමණයට එවූයේ ජයග්‍රහණය උදෙසා සියලු ක්‍රමෝපායයන් සැලැස්වීමෙන් අනතුරුවය. එහි දී ප්‍රබලම කාර්යය සිදුකරන ලද්දේ පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාර නමැති සෙන්පතියා විසිනි. මෙහි දී කරල්ලියද්දේ රජුට සෙංකඩගල රාජ්‍යය අතහැරීමට සිදුවිය. ඒ වන විටත් කිතුදහම වැලඳ සිටි හෙතෙම ත්‍රිකුණාමලයේ පෘතුගීසි බලකොටුව වෙත පලා ගියේ පවුලේ අය ද සමඟිනි.

    ඒ වන විට කුසුමාසන දේවිය සිඟිත්තියකි. ඇයගේ සොයුරා මරණයට පත්වූයේ ඒ එන අතරවාරයේ වූ ගැටුමකිනි. ඔවුන් සමඟ රජුගේ බෑණනුවන් වූ යමසිංහ බණ්ඩාර කුමරු ද විය.

    පසු කලෙක වසූරිය ඇතුඵ ලෙඩ රෝග වැලඳීමෙන් කරල්ලියද්දේ සහ දේවිය මරණයට පත්වූහ.

    ඊට මත්තෙන් කරල්ලියද්දේ විසින් කුසුමාසන දේවියගේ ආරක්‍ෂාව සහ මතු උඩරට සිහසුනට ඈ පත්කිරීමේ වගකීම පෘතුගීසි බලධාරින්ට ලබා දුන්නේය. ඇය මන්නාරම් බලකොටුවේ විසූ ගේබ්‍රියෙල් කොලොස් සහ කතිරිනා ද, ආබ්‍රෙව් යුවලේ භාරකාරීත්වය ඇතුව හැ දී වැඩුනාය. ඒවන විටත් ඈ දෝන කතිරිනා නමින් ද යමසිංහ බණ්ඩාර දොන් පිලිප් ලෙසින්ද බෞතීස්ම ලැබ සිටියහ.

    කලක් ඇවෑමෙන් රාජසිංහගේ පාලනය උඩරැටියන්ට වහකදුරු විය. ඔවුනගේ ඉල්ලීමෙන් පෘතුගීසි ඇසුරේ වැඩුනු යමසිංහ බණ්ඩාරයන් හෙවත් දොන් පිලිප් මාතලේ වාසලකෝට්ටේ දී ඔටුනු පළඳවා කන්ද උඩරට රාජ්‍යත්වයට පත් කෙරිණි.

    එහි දී ඔහුට සහාය වූයේ කොනප්පු බණ්ඩාර හෙවත් දොන් ජෝන් නමැති රණශූරයෙකි. හෙතෙම රාජසිංහයන්ට උඩරට දිනා දීමට සහාය වූ පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාරගේ පුත්‍රයා වූ අතර, රාජසිංහ රජු වීරසුන්දර කෲර ලෙස මරණයට පත්කළ පසුව පෘතුගීසි ඇසුරේ ගෝවේ ද වාසය කර සුරවිරුකම් පෑ එඩිතර අයෙකි. යමසිංහ බණ්ඩාරයන් හෙවත් දොන් පිලිප් රාජ්‍යත්වයට පත්කොට දින කීපයකින් මරණයට පත්විය.

    එය කොනප්පු බණ්ඩාර විසින් වස දීමෙන් සිදු වූවක් යැයි ප්‍රචලිතය.පෘතුගීසිහු එවිට දොන් පිලිප්ගේ පුත්‍රයකු රජ කමට නම් කළත් උඩරට ප්‍රභූන්ගේ ආශිර්වාද ලත් කොනප්පු බණ්ඩාර පළමුවන විමලධර්මසූරිය නමින් රජකම ලබාගත්තේ උඩරැටියන් ද අමන්දානන්දයට පත් කරමිනි. ඔහුගේ පළමු කාරිය වූයේ පෘතුගීසින් නගරයෙන් පලවා හැරීම හා තමා බෞද්ධයෙක් වූ බව ප්‍රකාශ කිරීමය.

    අස්ගිරි තල්පතේ ඒ බව දැක්වෙන්නේ මෙලෙසය. ”රාජ්‍යවාසී සංඝයා හා රදලවරු රැස්ව උඩකට්ටුවේ සිරිත් ප්‍රකාරව ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් එකසිය පන්තිස් වැන්නෙහි (1592) කොනප්පු බණ්ඩාර කුමරුට විමලධර්ම රජ යැයි නම් තියා සෙංකඩගල රජ පමුණුවා ගත්තාහ’’ යනුවෙනි.

    උඩරටින් ගිලිහී ගිය සිය අභිමානය යළිත් ලබාගැනීමට පෘතුගීසිහු දැවැන්ත සටනක් යළිත් ආරම්භ කරනුයේ ඉන් වසර දෙකකට පසුවය. උඩරට කිරුළ හිමි දෝන කතිරිනා රාජ්‍යත්වයට පත්කිරීම මගින් බලය අත්පත්කර ගැනීම එහි සැලසුම විය. දෝන කතිරිනා හට පෘතුගීසි කුමරකු සරණ කර දීමටද එහි යටි අරමුණක් විය.

    උතුරු සහ නිරිත දිගින් පැමිණි පෘතුගීසි සහ ලස්කිරිඤ්ඤ (දේශීය) සේනාවන්ට අණ දුන්නේ පේදුරු ලෝපෙස් ද සූසා නමැති පෘතුගීසි සෙන්පතියාය. 1594 ජුලි 06 දින මහනුවරට ළඟා වූ පිරිසේ දේශීය සෙබඵන් පමණක් 20000 ක් සිටි බව “පෘතුගීසින් හා ලංකාව” නමැති පොතේ සඳහන් කර තිබේ.

    නගරයට ඇතුඵ වූ පෘතුගීසි ප්‍රමුඛ බලමුඵ පළමුව කුමරිය රාජධුරයේ නම් කළහ. මේ වන විට විමලධර්මසූරිය රජු පසුබා ගොස් සිටියහ. දෝන කතිරිනා කුමරිය වටා සිටියේ පෘතුගීසින් වීමත් ඇය පෘතුගීසි කුමරුවකුට පාවා දීමට සැරසෙන බවටත් ආරංචි පැතිර යාමෙන් නුවරුන් කලබල වූහ.

    මේ අතර, එම වර්ෂයේම ඔක්තෝබර් මාසයේ 06 දින උදා විය. ලක් ඉතිහාසය සුරක්‍ෂිත කළ දැවැන්ත සටනක් එදින සිදුවිය.

    එය දන්තුරේ සටන නම් වේ. කල්යල් බලා විමලධර්මසූරිය රජු එල්ල කළ මෙම ප්‍රහාරයෙන් පෘතුගීසි බලමුළු සුණුවිසුණු විය. ඉතිරිවූයේ 93 දෙනකු පමණකැයි රිබෙයිරෝ නම් පෘතුගීසි ලේඛකයා සඳහන් කර තිබේ.

    පෘතුගීසින් යටතේ දේශීය භට පිරිසට නායකත්වය දුන් මනම්පෙරුම මොහොට්ටාල හෙවත් ජයවීර බණ්ඩාරයන් පෘතුගීසින් ලවාම මරණයට පත්කර තිබුණේ විමලධර්මසූරිය රජු විසිනි. ඒ දේශීය බලමුඵ සියල්ල විමලධර්මසූරියට පක්‍ෂවී සිටිය දීය. පෘතුග‍ීසි ආරක්‍ෂකයින් දෝන කතිරිනා කුමරිය රැගෙන පලා යමින් සිටිය දී නුවර බලනේ දී උඩරට රැකවලුන්ට හසුවූ බව ඉතිහාසයේ දැක්වෙයි.

    පසුව ඇය ජීවග්‍රහයෙන් ගෙන රජු හමුවට පමුණුවන ලදී. උඩරට සිංහල බල අධිකාරියේ නිත්‍යානුකූල සංකේතය බඳු කුසුමාසන දේවිය විමලධර්ම රජු විසින් විවාහ කර ගන්නා ලද අතර ඉන් විමලධර්මසූරිය රජුගේ රාජ්‍යත්වයට තිබූ බලවත් බාධකයක් ද මගහැරී ගියේය.

    එනම් කොනප්පු බණ්ඩාර රාජ්‍යවංශිකයකු නොවීය. ඔහු පේරාදෙණියේ ප්‍රාදේශීය පාලක පරපුරකින් පැවත එන්නෙකි. ඒ බව එකළ උඩරැටියන් අතර පවා සාකච්ඡා වූ බව පෙනේ.

    පෘතුගීසිහු ඉන් කෙතරම් කම්පනයට පත්වී ද යත් පෘතුගීසි ලේඛක රිබෙයිරෝ එය දක්වා ඇත්තේ මෙලෙසය.

    ‘‘දොන් ජෝන් ඈ තම අතට පත්වූ විගස සියලු දෙනාට පෙනෙන පරිදි ඇය ප්‍රසිද්ධියේ දූෂණය කළේය. ඉන් ඔටුන්න අරබයා වූ අභිප්‍රාය සාර්ථක කර ගති.” යනුවෙනි. කෙසේ වුවද එම පොතේ පරිවර්තක පෝල් ඊ. පීරිස් මහතා එය ප්‍රතික්ෂේප කරන අතර විමලධර්මසූරිය රජු ගේ ජීවන ප්‍රවෘත්තිය සඳහන් අන් පොත්පත් විස්තර අනුවද එවැන්නක් සිදුවූ බවට වෙනත් සඳහනක් නොමැත.

    එවකට 14 වියැති දැරියක වූ කුසුමාසන දේවිය වැඩිමහලු විමලධර්මසූරිය රජු හා විවාහය මෙරට ඉතිහාසයේ අතිශය වැදගත් සන්ධිස්ථානයකි. ඉන් ලද ස්ථාවරත්වය 17 සියවසේ ශ්‍රී ලංකාව ලද ආගමික, ශාසනික, ආර්ථික හා ස්වෛරීත්වයේ සියලු ජයග්‍රහණවලට තුඩු දී තිබේ. 1604 දී මැයි මස 01 දා සිය යුග මෙහෙවර අවසන් කරන විමලධර්මසූරිය රජු සිය දරු පිරිස සහ රාජ්‍යය ඔහුගේ සුළු මවගේ පුත්‍රයා වූ සේනාරත්න හෙවත් සෙනරත් රජුට පවරමින් මිය යන්නේය.

    1604 දී රාජ්‍ය පාලනය භාරගත් සෙනරත් රජු 1605 දී සිය අග බිසව ලෙස කුසුමාසන දේවිය පත්කර ගන්නේ රාජ්‍යත්වයට හිමිකම පෙර සේම තහවුරු කර ගනිමිනි. ඔහුට ද රාජ්‍යත්වය සඳහා සහාය වන කුසුමාසන දේවිය ඉන් වසර 09කට පසු 1613 ඇතිවූ උණ රෝගයක් හේතුවෙන් සිය මාතෘ භූමිය උදෙසා ඉටුකළ පරිත්‍යාගශීලී මහඟු වගකීම් සමුදාය නිමා කරමින් දැයෙන් සමුගන්නීය. පසු කලෙක සෙනරත් රජු සිය පුතුන් අතර රාජ්‍යය බෙදා හැරියේය.

    කුසුමාසන දේවියගේ දරුවන් ගැන මතවාද කීපයක් පවතියි. ඒ සියල්ල සැලකූ විට විමලධර්මසූරිය, කුසුමාසන දෙදෙනාට පුතුන් සිව්දෙනකු සහ දියණියක ද සෙනරත් රජුට දාව එක් පුතකු ද සිටි බව තහවුරු වේ.

    පළමු විවාහයේ පුතුන් සිවු දෙනාගෙන් පළමුවැන්නා රාජසූරිය ආස්ථානය. හෙතෙම ඔටුන්න හිමි කුමරා ලෙස නම් කරනු ලැබ සිටියෙකි. කෙසේ වුවද 1612 දී හෙතෙම මහවැලි ගඟේ ගිලී මියගිය බව ඉතිහාස කරුණුවල සඳහන්ය. සෙනරත් රජු විසින් හේ උපායකින් මරා දැමූ බවට ද සැක කෙරේ. දෙවැන්නා උඩුමාලේ ආස්ථාන නම් විය. හේද කුඩා අවදියේම මියගොස් තිබේ.

    සෙනරත් රජු 1631 දී පුතුන් තිදෙනාට උඩරට බෙදා දීමේ දී එවකට ජ්‍යෙෂ්ඨ වූ කුමාරසිංහට ඌව පැවරුණි. ක්‍රි.ව 1600 දී උපන් විජයපාලට මාතලේ රාජ්‍යය හිමි විය. හේ 1654 දී පෘතුගාලයේ දී මිය ගොස් තිබේ. බාලයා වූ රාජසිංහ සෙනරත් රජු ඇවෑමෙන් සෙංකඩගල රාජ්‍යයේ උරුමකරුවා විය. කුමාරසිංහ සහ විජයපාල දෙදෙනා විවාහ කර ගෙන ඇත්තේ එවකට යාපනයේ පාලකයාගේ දූවරුන් දෙදෙනාය. ඔවුහු 1633 දී දඹුලු විහාරයේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපන උළෙලට ද එක්වූ බව දඹුලු තුඩපත කියයි.

    මීට ඉහත දැක්වූ පරිදි කුසුමාසන දේවියගේ පළමු දරුවා රාජසූරිය ආස්ථානය. හේ මිය ගියේ 1612 දීය. කුසුමාසන දේවියගේ අභාවයට ද පුතුගේ වියෝව බලපෑ බව සඳහන්ය. පොත්පත් රැසක දැක්වෙන්නේ හෙතෙම දිය නෑමට ගිය විටක මහවැලි ග‍ඟේ ගිලී මියගිය බවය. නමුත් ඊට වෙනස් කථාවක් අපට අසන්නට ලැබෙන්නේ ලග්ගල පැරණි ශාන්තිකර්ම හා ජනශ්‍රැති ආශ්‍ර‍ෙයනි.

    ඓතිහාසික ලකේගල පාමුල පිහිටි රණමුරේ ගම්මානය හරහා

    රණමුරේ ඔය අදටත් ගලා බසියි. ඒ දෙපස හල්මිණිය සහ කඩුවෙල නමින් පැරණි ගම්මාන දෙකක් වෙයි. රණමුරු ඔය ‘ආස්ථාන ගංගාව’ ලෙසින් හැඳින්වෙන බව ලග්ගල පැරණි යක්කම් යාතිකාවල සඳහන්ය.

    එහි පුද ලබන එක් දෙවියකු වන්නේ ආස්ථාන දෙවියන්ය. මේ අනුව ශාන්තිකර්මවල කියවෙන ආස්ථාන සහ කුසුමාසන දේවියගේ පුත් ආස්ථාන දෙදෙනකු නොව එක් අයකු බව පෙනී යන්නේය. ඒ බව වඩාත් විස්තර වන්නේ ජනශ්‍රැති අනුවය. ශාන්තිකර්ම වෛද්‍යවරුන්ගේ විස්තර කිරීම අනුව එය මෙසේ සඳහන් කළ හැකිය.

    “කුසුමාසන දේවිට දරුවො ගොඩක් හිටියා. මෙයාලා අතර රජකමට ආරවුල් ඇති වුණා. ඔටුන්න හිමි රාජසූරිය කුමාරයා තමන්ගේ වාරෙ එනකං හැංගිලා හිටියා. ඒ හැංගිලා හිටියෙ මේ රණමුරේ කඩුවෙල ගමේ කඩුවෙල රටේ රාළගේ ගෙදරයි.ඒ පරපුර තාම ඉන්නවා. ඒ ඇත්තො උඩත්තව, කිවුලවාඩිය, මහියංගනය වැනි පළාත්වල යාම්ඊම් කරල තියෙනවා .

    නමුත් දවසක් මෙහෙ ඇත්තෙක් රජතුමාට ඒ බව කියලා තියෙනවා. රජුගේ අණින් රජ කුමරකු ඇවිදින් මෙයාගෙ තොරතුරු සොයලා මාළිගයට යන්න අඬගහලා තියෙනවා.

    දෙදෙනා අතර කතා බහ රණ්ඩුවක් බවට පත්වෙලා. රාජසූරිය මරා දමා රජය ගන්න කුමන්ත්‍රණ තිබුණ බව එයා දැන ගෙනයි හැංගිලා හිටියේ.ඒ වෙන කොට මෙයා මෙහෙන් පෙළවහකුත් කරගෙන ඉඳලා තියෙනවා. රාජසූරිය නැවත සෙංකඩගල යාම ප්‍රතික්ෂේප කලෙන් නොආවොත් රජ සිරිත අනුව මරා දමන බව කුමරු පවසා තියෙනවා.

    ආස්ථාන කුමරු ආපසු යාම තරයේම ප්‍රතික්‍ෂේප කොට අවැසි නම් කපා දමන්නැයි” සොයුරා කුමරාට දන්වා තිබෙනවා.

    මේ සංවාදය සිදුවන විට දෙදෙනා සිට ඇත්තේ රණමුරු ඔයේ දිය කඩක් අසලය. වාදය අවසන්ව ඇත්තේ කුමරා විසින් ආස්ථාන කුමරුට කඩුවෙන් කෙටීමෙනි. කෙසේ වුවද කඩු පහරින් ඔහු එකවර මරණයට පත්ව නැත.

    එහි දී හෙතෙම කුමරුට පවසා ඇත්තේ මරා දමන්නට අවශ්‍යම නම් තම හිස කපා එක වතුර වළකටත් කඳ කොටස වෙනත් වතුර වළකටත් දමන ලෙසය.ඉක්බිතිව එය එසේම සිදුවිය. දින 07ක් පුරා ඔය දිගේ ලේ ගලා ගිය බවත් ඒ අවට ගම්වාසීන් හට බීමට හෝ නෑමට හෝ නොහැකිව ළිං හාරා ගැනීමට සිදුවු බවත් ලග්ගල පැරැන්නෝ කියනවා. අදත් එම වතුර වළවල් දෙක දැක ගත හැකිය.තමා මරා දමන්නැයි ආරාධනා කළ හෙයින් හිස දැමූවල ‘ඉහළ ආරාධනා වළ’ ලෙසද කඳ දැමූ වළ ‘පහළ ආරාධනා වළ’ ලෙස ද තාමත් ප්‍රදේශවාසීහු හඳුන්වති.

    පසු කලෙක ඔහුට රැකවරණය දුන් ඇත්තන් හට ඉඩකඩම් සන්නස් ලෙස පැවරුනු බව ද කියැවේ. ආස්ථාන දෙවියෝ අදත් ලග්ගල ගැමියන්ගේ බුහුමණට පාත්‍ර වන්නේය.

    ලග්ගල ශාන්ති කර්මයන්හි කියැවෙන යාතිකාවක ඒ බව සඳහන් වන්නේ මෙසේය.

    ‘අයියයි මලයයි දෙන්නම සිටගෙන ලකමුල සෙවනේ දී.

    දෙන්න දැකුම් පඬුරුත් පුද දීලා ලකේගල ට පිට දී.

    යහන් ඇ‍ඳේ සැත පී දුටු සීනය තද වැර දී.

    ආස්ථාන දෙවිඳුට හදිකම් කෙරුවේ කඩුවෙල ඉඩමේ දී.‘

    ආස්ථාන කුමරුගේ රාජ්‍යත්ව උරුමය දිය කළ හැරි ආස්ථාන ගංඟාව හෙවත් රණමුරුඔය වත්මනේ ද වසර 408 ක් පැරණි එකී දුක්බර කථාව සඟවා ගනිමින් ගලා බසියි.

    නැතහොත් හෝ හඬ නඟා ගලා ගොස් ලග්ගල – කළු ගඟ ජලාශයට එක්ව අද වන විට සාරවත් කෙත් වතු පෝෂණය කරන්නේ රාජාභිෂේක කුමරකු ඝාතනය කළ රක්ත වර්ණ රුධිරය ද සඟවා ගනිමිනි.

    ඉන්දික අරුණ කුමාර

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here