ගත සිත නිවන උණු දිය බුබුළ

    0
    41

    අපේ රටේ වැඩි දෙනෙක් අවුරුද්දට සැරයක් දෙසැරයක් හරි කතරගම යනවා. ඒ යන ගමන් ටිකක් රස්නෙ වතුර ටිකක් නාගෙන යන්න නම් කවුරුත් කැමති වේවි. ඇඟේ පතේ අමාරුවටත් එක්ක රස්නෙ වතුර නාන්න හොඳම තැන තමයි මදුනාගල මහපැලැස්ස උණු දිය උල්පත.

    කොළඹ – කතරගම පාරේ තංගල්ල පහුකරලා නෝනාගම හන්දියෙන් රත්නපුර පාරේ පදලංගලට ඇවිල්ලා සූරියවැව පාරේ කිලෝමීටර් 05ක් විතර ගිය ගමන් මේ කියන මදුනාගල උණු දිය උල්පත්වලට එන්න පුළුවන්. එහෙම නැත්නම් තිස්ස, හම්බන්තොට පහු කරලා මිරිජ්ජවිල ඉඳලා අඩි සීය පාරේ සූරියවැවට ඇවිත් පදලංගල හරහා මදුනාගලට එන්නත් පුළුවන්.

    අපේ රටේ වගේම ලෝකෙ විවිධ ප්‍රදේශවලත් උණු දිය උල්පත් බහුලව දකින්නට ලැබෙනවා. කැනඩාවේ රොකී කඳුකර උද්‍යානය, අමෙරිකාවේ යෙලෝස්ටෝන් උද්‍යානය, ඕස්ට්‍රේලියාවේ රාජකීය උද්‍යානයෙත් මේ වගේ උල්පත් තිබෙනවා.

    කොහොම වුණත් අපේ රටේ එකම ස්ථානයේ උණු දිය උල්පත් බහුලව පිහිටලා නැතත් රටේ තැන් 09ක උණු දිය උල්පත් දැකගන්න පුළුවන්.

    ගෝමරන්කඩවල රන්කිරිය පොලොන්නරුවේ නෙළුම් වැව මහ ඔය, පදියතලාවේ මාරන්ගල, අම්පාරේ කිවුලේගම, මහඔය කපුරැල්ල, වහව සහ මදුනාගල තමයි මේ උණු දිය උල්පත් පිහිටලා තිබෙන්නේ.

    මදුනාගල මහපැලැස්ස පාලනය වෙන්නේ දකුණු පළාත් සභාවෙන්. සභාවෙන් ප්‍රවේශ පත්‍රයක් ගන්න ඕනේ ඇතුළු වෙන්න.

    මුලින්ම දැක්කාම නම් හිතෙන්නේ මෙතැන මල්වත්තක් කියලා. ඒ තරමටම ක්‍රමවත්ව මේ ස්ථානය නඩත්තු කරගෙන යනවා

    මේ උණු වතුර ළිං ගැන තොරතුරු ටිකක් හොයලා බැලුවම තමයි දැනගන්න පුළුවන් වුණේ ඒ අවට පරිසරයේ තියෙන උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයකින් යුතුව ජලය ගලාගෙන එන උල්පත් තියෙනවා කියලා. ඒ උල්පත්වලට තමයි උණු දිය උල්පත් කියන්නේ. මේ උණු දිය උල්පත් ඇති වෙන්න ක්‍රම තුනක් තියෙනවා කියලත් දැන ගත්තා. පළමු වෙනි එක තමයි පෘථිවි අභ්‍යන්තරයේ තියෙන පැළුම් දිගේ ජලය ගමන් කරද්දී ජලය වැඩි උෂ්ණත්වයකට ළං වෙනවා. උෂ්ණත්වය වැඩි වෙන කොට ජලයේ ඝනත්වය අඩු වන නිසා ජලය නැවත පෘථිවිය මතුපිටට පැමිණෙනවා කියලා. මේ නිසාත් උණු දිය උල්පත් ඇති වෙන්න පුළුවන්.

    තවත් ක්‍රමයක් තමයි පෘථිවි අභ්‍යන්තරයට ආසන්නයේ ද්‍රව්‍ය පිහිටන මැග්මා කුටීර ඇති විම. ඒ පැළුම් ඔස්සේ ඒ ආසන්නයට යන ජලය රත් වෙනවා. රත් වූ ජලය පෙර පරිදිම පොළොව මතුපිටට පැමිණීම නිසා උණු දිය උල්පත් නිර්මාණය වෙන්න පුළුවන්.

    ඒ වගේම පොළොව අභ්‍යන්තරයේ ඇති පාෂාණවල ඇති විකිරණශීලි ද්‍රව්‍ය මඟින් පිට කරන විකිරණ හේතුවෙනුත් පොළොව අභ්‍යන්තරයේ ඇති ජලය රත් වී පෙර පරිදිම පොළොව මතුපිටට පැමිණීමට පුළුවන්. ඉතින් ඔන්න ඔය ක්‍රම තුන අනුව තමයි උණු දිය උල්පත් නිර්මාණය වෙන්නේ.මේ මදුනාගල මහපැලැස්ස උණු දිය උල්පතේ ප්‍රධාන උණු දිය ළිඳත් එක්කම ළිං පහක් වටේට පිහිටලා තියනවා. වැඩිම රස්නයක් තියෙන්නේ ප්‍රධාන ළිඳේ. අනිත් ළිංවල රස්නෙ එකකට එකක් වෙනස්.

    කතාවක් තියෙනවා උණු වතුර ළිඳකින් නා ගත්තාම සමේ රෝගවලටත් හොඳයි කියලා. ඒ කතාවේ යම් ඇත්තක් තියෙනවා. උණු දිය ළිංවලින් එන ජලයේ රසායනික ද්‍රව්‍ය රාශියක් අන්තර්ගතයි කියලා තමයි කියන්නේ. මේ මදුනාගල මහපැලැස්ස උණු දිය ළිඳෙත් රසායනික ද්‍රව්‍ය 18ක් අඩංගු බවයි දැනගන්න ලැබුණේ. ක්ලෝරයිඩ්, සෝඩියම්, කැල්සියම් වගේම සල්පේට් වැඩි ප්‍රමාණයක් මෙහි තියෙනවා. හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ කාබන් ඩයොක්සයිඩ් යන වායු වර්ගත් මේ වතුරවල අඩංගුයිලූ. ඉතින් එහෙම බලන කොට නා ගත්තාම ගුණයක් නැතුව තියෙයිද ? සාමාන්‍යයෙන් මදුනාගල මහපැලැස්ස උණුදිය උල්පතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 44ක් කියලා තමයි කියන්නේ. පී එච් අගය 7.1 යි.

    ඉතින් ඕක තමයි මදුනාගල උණු දිය උල්පත් ගැන විස්තරය. ඔබටත් පුළුවන් කතරගම යන ගමන් අතරමං නොවී අර ඉස්සෙල්ලා කියපු පාර දිගේ ගිහින් මේ උණුදිය උල්පත් බලලා නාගෙන එන්න.

     

     

    ප්‍රභාත් විතානාච්චි

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here