ගිං ග‍ඟේ කිඹුලන් නැත්තේ තොටගමු හිමියන්ගේ මන්ත්‍රය නිසාද?

    0
    21

    ගිං ග‍ඟ ආශ්‍රිතව ක්‍රි.ව. 1480 – 1490 කාලයේ මිනී කන කිඹුලන් සිටි බව පැවසේ. එම කිඹුලන් මට්ටු වූයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ කිඹුල් මන්ත්‍රයෙන් බවත් සඳහන් වේ. කිඹුලෙක් පැනපු අවස්ථාවක කෙසේ හෝ හාමුදුරුවෝ කිඹුලාගෙන් බේරී ‍ෙගාස් පසුව ගල්කුට්ටි කිහිපයකට මතුරා ගිං ගඟට ගෙනත් දැමූ බවට ජනප්‍රවාදයකින් කියවේ. රාහුල හාමුදුරුවෝ කිඹුල් මන්ත්‍රය කොටලා ගිං ගඟට දැමූ බව පැවසෙන ගල්වලින් එකක් මේ වන විට බද්දේගම දුටුගැමුණු රජමහා විහාරයේ දක්නට ලැබේ.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් වන මහාචාර්ය මැන්දිස් රෝහණදීර විසින් ලියන ලද ‘‘බද්දේගම ගිං ගඟේ කිඹුල් මන්ත්‍රය සමඟ විශේෂ ඓතිහාසික ලේඛන හතක්’’ පොතේ මේ සෙල්ලිපිය ගැනත් ඒ සෙල්ලිපිය හමුවූ හැටිත් මනාව පැහැදිලි කර තිබේ.

    එහි ඇති ආකාරයට කිඹුල් මන්ත්‍රය කෙටූ ගල් කුට්ටිය ගිං ග‍ඟේ තිබී හමුවී ඇත්තේ සිවිල් නිලධාරියකු වූ ඇල්බට් විතානාච්චි නමැත්තාටය. ඒ 50 දශකයේ මුල් කාලයේදී ය. දිගු කාලයක් තිස්සේ පැවැති නියඟය හේතුවෙන් ගිං ග‍ඟේ වතුර මට්ටම පහත බැස තිබූ බැවින් ගමේ දරුවන් ග‍ඟේ නාමින් සිටින විට එක් දඟකාර ළමයකු ගඟ පතුලේ වූ ගලක ඔහුගේ කකුල ගැටීම නිසා තමා සමඟ නාමින් සිටි ඉතිරි ළමයින් සමග එම ගල ගොඩට ගෙන ගල මතු පිට කිසිවකුටත් කියවිය නොහැකි අකුරු වගයක් තිබෙන බව දැක ඔවුන් පුදුමයට පත්වී ඇත.

    මේ බව දැනගත් ඇල්බට් විතානාච්චි මහතා එතැනට ගොස් දළ වශයෙන් අඟල් 18 ක් දිග අපිළිවෙළට තිබූ ගල් කුට්ටියක් හමු වී ඇති අතර එය 14 හෝ 15 සියවසට අයත් අකුරු බව තේරුම් ගෙන එවකට පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය පරණවිතාන මහතාට මේ බව දැනුම්දී තිබේ. මේ පිළිබඳව ඇල්බට් විතානච්චි මහතා මහාචාර්ය මැන්දිස් රෝහණදීර මහතාට දැනුම් දීමෙන් පසු එවකට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා විශේෂ උපාධිය අවසාන වසරේ ශිෂ්‍යයකු ද කැටුව ගොස් අලුතින්ම ලබාගත් ස්පර්ශ ලාංඡන ද ගෙන අවිනිශ්චිත තැන්හි ඡායාරූප ගෙන ඇත. ඡායාරූප එකිනෙක සසඳමින් මේ අරුම පුදුම ලියවිල්ල නොවිසඳුණු කුතුහලයකින් යුතුව කියැවීමේ දුෂ්කර කාර්යය එක දිගටම තුන් මාසයක් තිස්සේ නියැළෙමින් වැදගත් පණිවුඩ කිහිපයක් රෝහණදීර මහතා සොයා ගෙන තිබේ.

    ඒ අනුව අදාළ කළුගල් කුට්ටිය ලිපියක් කොටනු සඳහාම කඩා සකස් කළ එකක් බව පෙනී ගොස් ඇත. තල්පත් ලිවීමේදී මෙන් බැඳි අකුරු බහුලව මෙහි දක්නට ලැබී ඇති බවත් ගල්කුට්ටියේ යට පැත්ත හැරෙන්නට අනෙක් පැති පහේම අකුරු කොටා ඇති බවත් අකුරුවල සාමාන්‍ය උස අඟල් දෙකක් තරම් වුවද ඉඩකඩ මදි තැන්වල අකුරු කිහිපයක් කුඩාවට කොටා ඇති බවටත් මහාචාර්යතුමාට දැකගන්නට හැකිවී තිබේ.

    තවත් තැන්වලදී අපිළිවෙළට ලියැවුණු අකුරු සොයා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට ද මහාචාර්යවරයාට සිදු වී ඇත. මෙම ගල් කුට්ටිය පිළිබඳව මැන්දිස් රෝහණදීර මහතා විස්තර කර ඇති ආකාරයට සෙල් ලිපියේ පළමු මුහුණත පිළිබඳව මෙසේ සඳහන් කර ඇත.

    අඟල් 06ක තරම් විශ්කම්භයක් සහිතව බොහෝදුරට ගැඹුරු රේඛාවෙන් ඇඳපු චමත්කාර සංකේතයක් වෙයි. එහි කෙමියේ සිට අඟල් දෙකක් තරමට වක දෙකේ මෝස්තරයෙන් පිටතට විහිදෙන රැස්වළල්ලක් දක්නට ඇත. සමස්ත සංකේතය නියත වශයෙන්ම සූර්යයා නිරූපණය කරයි. වෘත්තය හරි මැද තරමක් ලොකුවට හ්‍රීං යන්න ලියවී ඇත. ඒ වටා ඊට කුඩා ප්‍රමාණයට හ්‍රීං අකුරු තුනක් ඇත. රැස්වළල්ලට පිටත් තවත් හ්‍රීං අකුරක් දක්නට ඇත. වඩාත් විමසිල්ලෙන් බලන විට දකුණු පැත්තෙන් වළල්ලට පිවිස මැද ඇති ලොකු හ්‍රීං ඉස්පිල්ලට කොටන්න මෙන් ළංවෙන කුඩා මත්ස්‍යයන් දෙදෙනකු බඳු සංකේත දෙකක් දැකගත හැකිය. තවත් එක් සුවිශේෂී රූපයක් කෙරෙහි අවධානය යොමු කරන විට සූර්ය සංකේතයට දකුණින් අඟල් 02ක තරම් විශ්කම්භයකින් යුත් වෘත්තාකාර සටහනක් වෙයි. ඉතා සුපරීක්ෂාවෙන් බලන විට එය වක්කුළ කොට බැඳ දමා ඇති කිඹුලකුගේ රුවක් ලෙස පෙනී යයි. කිඹුලාගේ පිට ගැට හා ගොරහැඩි බව පිට රවුමෙන් මතුව පෙනෙනු ඇත. දිගටි හොම්බ යටිකුරුව ද එහා එකට තදව ගැටෙමින් ගොරහැඩිබාව උඩුකුරුවද තිබෙනු දැකිය හැක. රවුම මැදින් කිඹුල් බඩ ද කෙටි මහත කකුල් දෙකක් ද සලකුණුව තිබේ. බඩ මැදින් නූලක් මෙන් පහළට දිවෙන රේඛාවක් උඩට හැරුණු කොක්කක හැඩයෙන් කෙළවර වෙයි. මෙය කිඹුලකු වක්කුළ කර කඹයකින් බැඳ කණුවක ගැට ගසා ඇති ආකාරය නිරූපණය කරන බව ද අර්ථකථනය කළ හැකි බව මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතා සඳහන් කර ඇත.

    දෙවන මුහුණත තුළදී නියම මන්ත්‍රය ආරම්භ කර ඇත. සමතල මතුපිටෙහි ගැඹුරු සමාන්තර රේඛා අතර අඟල් දෙකක් තරමේ අකුරු සහිත පේළි දහයක් ඇති බවත්, අග පේළි දෙකේ අකුරු නිශ්චිත ලෙස කියවිය නොහැකි බවත්, අනෙක් පේළි අට පැහැදිලි බවත් හෙතෙම සඳහන් කර ඇත.

    තුන්වන මුහුණත තුළ අකුරු පේළි දාහතරක් ඇත. පස් වන පෙළේ අකුරු පමණක් අපැහැදිලිය. අනෙකුත් අකුරු පැහැදිලිව නිශ්චිතව කියවිය හැකි බව මැන්දිස් රෝහණධීර මහාචාර්යවරයා ඉහත කී පොතේ සඳහන් කර තිබේ.

    පස් වන මූහුණතෙහි අකුරු පේළි අටක් ඇති බව සඳහන් කර ඇත. සුපරීක්ෂාවෙන් කියවාගෙන යන විට යම්කිසි තැනක අකුරක් හෝ දෙකක් හෝ වචනයක් අමතකව හැලී ඇතැයි කෙනකුට සිතෙනු ඇත. එහෙත් තවදුරටත් කියවාගෙන යන විට ඒවා උඩ පෙළේ අග හෝ ඒ පෙළේ මැද ඉහළින් කුඩාවට එතනම කොටා ඇති බව පෙනී යනු ඇත.

    කෙසේ නමුත් මැන්දිස් රෝහණදීර මහතා ප්‍රකාශ කරන ආකාරයට පුරා අක්ෂර රූප ශාස්ත්‍ර ක්‍රමවේදවලට අනුව පරීක්ෂා කරන විට මෙහි අකුරුවල ලේඛන විධි පහසුවෙන්ම පහළොස් වන සියවසේ අගභාගයට අයත් යැයි නිගමනය කළ හැකිය.

    මහාචාර්ය සද්ධාමංගල කරුණාරත්න මහතා මෙම ගල් කුට්ටියේ සඳහන් පුරාණ අක්ෂර කියවමින් පැහැදිලි කර ඇත්තේ මෙහි අන්තර්ගතව ඇත්තේ ‘‘සබ්බේ බුද්ධා බලප්පත්තා’’ ගාථාව බවයි. තවද මෙම ගල් කුට්ටියේ එක් මුහුණතක ‘නමෝ අප බුදුන් මෑණියන් වහන්සේ කිරි මෑණි කිඹුල් දෙපුතු කිඹුල්ම හිමො මුනින්ද්‍රං මහා මුනිස සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානංච යං බලං අරහත්තා නංච’ ලෙස ද සඳහන් ව ඇති බවයි.

    ගිං ගඟ ආසන්න නිල්වලා ගඟ එදත් අදත් මිනී කන කිඹුලන් ගේ රජදහනකි. එසේනම් ගිං ගඟේ මිනී කන කිඹුලන් නැත්තේ රාහුල හිමියන්ගේ කිඹුල් මන්ත්‍රය නිසාද ?

    මේ පිළිබඳව සොයා බැලීමේදී දකුණු පළාත් පුරාවිද්‍යා කාර්යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ සහකාර බුද්ධි නාගොඩවිතාන මහතා පළ කළේ මෙවැනි අදහසකි.

    “මගේ අදහසේ හැටියට මෙම සෙල් ලිපිය ලියලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1480-1490 කාලවල. ක්‍රිස්තු වර්ෂ 1500ට කලින්. ඒ කාලේ ගිං ගඟේ කිඹුල්ලු ඉඳලා තියෙනවා කියලත් පුරාවිද්‍යා සාක්ෂි තියෙනවා. ඒ හින්දා තොටගමුවෙ රාහුල හාමුදුරුවන් විසින් කිඹුලන් මර්දනය කරන්න ලියපු මන්ත්‍රයක් තමයි මේ සෙල්ලිපියේ තියෙන්නේ”.

    මේ පිළිබඳව බද්දේගම දුටුගැමුණු රජමහා විහාරයේ දේවාලයේ කපු මහතා වන එස්. කේ. හේවාමාන්න මහතා විහාරයේ උඩ මළුවේ තියෙන විශාල නා ගසක් පෙන්වා මෙසේ අදහස් පළ කළේය.

    “මේ නා ගස ඉතා පැරණි එකක්. නා ගස මුල තමයි ඔය ගල තිබිලා තියෙන්නේ. අපේ මුතුන් මිත්තෝ කියන හැටියට ඒ කාලේ ගිං ගඟේ ඔරුවලට පාරුවලටත් කිඹුල්ලු පැනලා තියෙනවා. ඉස්සර කාලේ ගිං ගඟේ මිනී කන කිඹුල්ලු හිටිය බවත්” ඒ අය කියනවා. රාහුල හාමුදුරුවෝ ගිංගඟේ හිටපු කිඹුල්ලු මට්ටු කරන්න කිඹුල් මන්ත්‍රය මතුරපු ගල් දෙකක් තොටුපළ දෙකකට දාලා තියෙනවා. පස්සේ කාලෙදි තමයි මේ දේවල් හමුවෙලා තියෙන්නේ”. ඒ එකක් තමයි මේ පන්සලේ තියෙන්නේ යැයි පැවසීය. කෙසේ නමුත් පුරාවිද්‍යා සාක්ෂි අනුවත්, මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතාගේ මතය අනුවත්, මහාචාර්ය සද්ධාමංගල කරුණාරත්න මහතාගේ අදහස අනුවත් ගම්වාසීන්ගේ ජනප්‍රවාද දෙසත් බලන විට බද්දේගම දුටුගැමුණු රජමහා විහාරයේ ඇති සෙල්ලිපිය තොටගමුවෙ රාහුල හිමියන් විසින් ගිං ගඟේ කිඹුලන් මට්ටු කිරීමට කොටන ලද මන්ත්‍රයක් යන්න පැහැදිලි වේ.

    ප්‍රභාත් විතානාච්චි

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here