තුරුම්පු නැතිව දිනන්න බෑ

0
19
Author(s): 
ෆවුස් මොහොමඩ්

ආබාධවලට ලක් වීමෙන් ප්‍රබලතම තුරුම්පු කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදුවීම දෙවැනි ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්වීමට බලපෑ බව ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේය. ජොහැනස්බර්ග් නුවර වොන්ඩර්ස් පිටියේදී කඩුලු 10කින් දෙවැනි ටෙස්ට් තරගය පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා මේ බව කියා සිටියේය.

‘ක්‍රීඩකයන් රැසක් ආබාධවලට ලක් වුණා. මං හිතන්නේ ඒක තමයි විශාලතම බලපෑම දෙවැනි ටෙස්ට් තරගයේ පරාජයට. හොඳම ක්‍රීඩකයන් 6ක්, 7ක් පමණ අහිමි වීම සෙසු ක්‍රීඩකයන්ගේ මානසිකත්වය පහත වැටීමටත් බලපෑවා.’ ඔහු කීවේය.

‘නායකයා හැටියට දෙවැනි තරගයේ ප්‍රතිඵලය ගැන මම ඉතා කනගාටුවට පත් වුණා. නමුත් ජාතික කණ්ඩායමේ අනාගතයට ඉතා වටිනා යොවුන් ක්‍රීඩකයන් කිහිපදෙනකු සොයා ගැනීමට හැකිවීම සතුටක්. විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු හා වනිඳු හසරංග ඉතා හොඳින් ක්‍රීඩා කළා. අනික් කාරණය අපි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී මෙතෙක් ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකානු භූමියේ ටෙස්ට් ඉනිමක රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමත්, දෙවැනි ටෙස්ට් තරගය පැවැති වොන්ඩර්ස් පිටියේ දී ශ්‍රී ලංකා පිල පළමු වරට ඉනිමක ලකුණු 200 සීමාව පසු කිරීමට සමත්වීමත් සතුටක්.’

මේ තරගයේ දෙවැනි ඉනිමේදී සිය 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරිමට දිමුත් කරුණාරත්න සමත් වූ අතර, තරගය පරාජයෙන් බේරාගැනීමට එය ඉවහල් වූවා නම් එය විශාල සතුටක් වන්නට තිබූ බවත් ඔහු සඳහන් කළේය.

‘වැඩි කාලයක් ජෛව බුබුළු ආරක්ෂිත වළල්ලේ කොටු වී සිටීමට සිදුවීම ඉතා දුෂ්කර කටයුත්තක්’ දිමුත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here