දැන දැන දනන් රැවටූ ඊ.ටී.අයි. මගඩියේ අවසන් ජවනිකාව

    0
    4

    තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේදී රජයට හෝ මහ බැංකුවට කිසිදු මුදලක් වියදම්ව නැති බව මහ බැංකුව ප්‍රකාශ කර තිබුණි. බිඳවැටුණ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් සමාගම නව ආයෝජකයකු සොයා ගැනීමේ වැඩසටහන අනුව ඉදිරිපත් වූ සමාගම විසින් ලබාදී ඇති බිලියන 11ක මුදලින් රුපියල් බිලියන 10ක් තැන්පත්කරුවන්ට ගෙවීමට ඒ අනුව මහ බැංකුව ක්‍රියා කරන ලදී.

    සී/ස ඊ.ටී.අයි. ෆයිනෑන්ස් පුද්ගලික සමාගම හා සී/ස ස්වර්ණමහල් පුද්ගලික සමාගමේ රුපියල් බිලියන ගණනින් මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් 24,800කගේ දුක් අ‍ඳෝනා මධ්‍යයේ ඊට වගකිවයුත්තන් නීතිය ඉදිරියට පමුණුවා සිටියි.

    තම ව්‍යාපාරයන් කඩාවැටෙන බව දැන දැනම තැන්පත්කරුවන්ගෙන් මුදල් තැන්පතු එකතු කර ගැනීමට සූක්ෂ්ම ලෙස කටයුතු කර ඇති ඊ.ටී.අයි. හිටපු අධ්‍යක්ෂක මණ්ඩලය තම ව්‍යාපාර මහ බැංකුවේ ලියාපදිංචි බවට ඒත්තු ගැන්වීමට ජනතාව වෙත විවිධ අයුරින් රැවටිලි ඉදිරිපත් කර ඇත.

    ඒ අතර නොයෙකුත් අත්පත්‍රිකා බෙදාහරිමින් අවසන් මොහොත වන තෙක්ම මුදල් තැන්පත් කිරීමට තැන්පත්කරුවන් පොලඹවාගෙන ඇති ඊ.ටී.අයි. ආයතනය සූක්ෂ්ම ලෙස තැන්පත් එක්රැස්කර ගැනීමට කටයුතු කර තිබේ.

    අවසන් කාලය වන විට ඉතා ඉහළ පොලියක් ලබාදෙන බව සඳහන් නොයෙක් අත්පත්‍රිකා ද ඊ.ටී.අයි. ආයතනය විසින් ජනතාව වෙත බෙදාදීම සිදු කර තිබුණි.

    නමුත් වැඩිකල් යන්නට මත්තෙන් ඔවුන්ගේ කූට උපක්‍රම කෙරෙහි තැන්පත්කරුවන්ට ඉව වැටෙන්නට විය.

    තැන්පත්කරුවන් විසින් 2011 වසරේ සිටම ඊ.ටී.අයි. ආයතනයට විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනු ලැබීය. බිලියන ගණන් වූ තම තැන්පත් නැවත අත්පත් කර ගැනීම සඳහා තැන්පත්කරුවන් විසින් විවිධ උද්ඝෝෂණ හා විරෝධතා දියත් කරනු ලැබුවා.

    ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊ.ටී.අයි. ආයතනය තුළ සිදුව ඇති මෙම මූල්‍ය අක්‍රමිකතා සොයා බැලීම සඳහා 2020 වසරේ ජනවාරි මස 09 වැනිදා ජනාධිපති කොමිසමක් පත් කරන ලදී.

    විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් හා ජ්‍යෙෂ්ඨ බැංකුකරුවකු වන ඩී. එම්. ගුණසේකර යන මහත්වරු කටයුතු කළහ.

    ඒ අතරතුර තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම පැහැර හැර ඇති ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවන ලෙස මහ බැංකුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පසුගියදා ඉල්ලීමක් කර තිබුණි.

    සිය තැන්පතු ආපසු ගෙවන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කරන ලෙස ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳ වූ අවස්ථාවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නොවන ආයතන අංශය වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කරමින් සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එම ඉල්ලීම සිදු කර තිබුණි.

    ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ස්වාධීන සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා මහ බැංකුව කළ ඉල්ලීමට විරෝධය පළ කර තිබුණි.

    ඊ. ටි. අයි. සමාගමේ කටයුතු සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ වැදගත් කරුණු අනාවරණය වෙමින් පවතිද්දී මහ බැංකුව ඒවා යටපත් කිරීමේ අරමුණින් මෙම ඉල්ලීම සිදු කරන බව ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.

    මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවමත් විභාග වෙමින් පවතියි.

    මේ අතර මහ බැංකුවේ උපදෙස් පරිදි ඊ.ටී.අයි. හා ස්වර්ණමහල් ජුවලර්ස් පුද්ගලික ආයතනයේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවනට රුපියල් ලක්ෂ හයක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබාදීම පසුගිය වසරේ ජූලි මස 25 වැනිදා ආරම්භ කරන ලදී.

    තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේදී රජයට හෝ මහ බැංකුවට කිසිදු මුදලක් වියදම්ව නැති බව මහ බැංකුව ප්‍රකාශ කර තිබුණි.

    බිඳවැටුණ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් සමාගම නව ආයෝජකයකු සොයා ගැනීමේ වැඩසටහන අනුව ඉදිරිපත් වූ සමාගම විසින් ලබාදී ඇති බිලියන 11ක මුදලින් රුපියල් බිලියන 10ක් තැන්පත්කරුවන්ට ගෙවීමට ඒ අනුව මහ බැංකුව ක්‍රියා කරන ලදී.

    ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනය 2017 අගභාගයේ සිට මුහුණදුන් උග්‍ර ද්‍රවශීලතා අර්බුදය ඇතුළත්ව 2011 සිට එහි සිදුව ඇති විවිධ අක්‍රමිකතා සඳහා මහ බැංකුව විසින් විසඳුම් ලබා දීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබුණි.

    රුපියල් ලක්ෂ හයකට යටත්ව වන්දි මුදල් ලබාදීම සම්බන්ධයෙන් තැන්පත්කරුවන් අප්‍රසාදය පළ කර සිටි අතර, ඔවුන් සඳහන් කර සිටියේ ඉතා ඉහළ මුදලක් තැන්පත් කළ තැන්පත්කරුවන්හට ඉන් අසාධාරණයක් සිදුවන බවයි.

    මේ අතර ඊ.ටී.අයි. ආයතනය තුළ සිදු වූ අක්‍රමිකතාවන් සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පසුගිය වසරේ ඔක්තෝබර් මස 08 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර තිබුණි.

    එම වාර්තාව මඟින් නිර්දේශ කර ඇත්තේ ඊ.ටී.අයි. හා ස්වර්ණමහල් ජුවලර්ස් යන ආයතන විසින් මහජනතාවගේ මුදල් තැන්පතු ලබාගනිමින් ඒවා නැවත ලබා නොදීමෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දඬුවම් ලැබිය හැකි වැරැදි සිදු කර ඇති බවයි.

    ඒ සඳහා එම අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගන්නා ලෙසට ද නිර්දේශ කර තිබුණි.

    ඒ අනුව සී/ස ඊ.ටී.අයි. ෆයිනෑන්ස් පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අනාවරණය නොකරන ලද ගිණුම් පවත්වා ගනිමින් රුපියල් බිලියන 6.480ක මුදල් තැන්පතු නීති විරෝධීව ලබාගෙන ඇති බවත් සී/ස ස්වර්ණමහල් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචියක් නොමැතිව හා නිසි බලපත්‍ර රහිතව නීතියට පටහැනි ලෙස මහජනතාවගේ මුදල් තැන්පතු රුපියල් බිලියන 7.2ක් ලබාගෙන ඇති බවත් ජනාධිපති කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්කි අනුව හෙලිදරවු වන බව කොමිසමේ නිර්දේශයන්හි සඳහන් කර ඇත.

    ඒ අනුව මීට වගකිවයුත්තන්ට දඬුවම් නියම කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් අදාළ කොමිසන් වාර්තාව නීති පතිවරයා වෙත යොමු කරන ලදී.

    එම කොමිසන් වාර්තාව පරිශීලනය කිරීමෙන් අනතුරුව නීතිවිරෝධීව මුදල් තැන්පතු ලබා ගැනීම ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදු කර ඇති බවට තීරණය කරමින් අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබුණි.

    සී/ස ඊ.ටී.අයි. ෆයිනෑන්ස් පුද්ගලික සමාගමේ හිටපු සභාපතිනිය වන නැසීගිය සෝමා එදිරිසිංහ මහත්මිය සහ ඇගේ පවුලේ සාමාජිකයන් වන ජීවක හේමාල් එදිරිසිංහ, අංජලී දීපා එදිරිසිංහ, නාලක ප්‍රේමලාල් එදිරිසිංහ හා අසංක ශ්‍රීමාල් එදිරිසිංහ යන අධ්‍යක්ෂවරුන් නීති වි‍රෝධීව මහජනතාවගෙන් මුදල් තැන්පතු ලබා ගැනීමෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කර ඇති බව නීතිපතිවරයා තීරණය කරන ලදී.

    ඒ අනුව 2011 අංක 42 දරන මුදල් පනත හා ඊට පූර්වගාමී වූ පනත් යටතේ ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දණ්ඩනීති වරදක් සිදු කර ඇති බව ද නීතිපතිවරයා නිගමනය කරමින් ඔවුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ඉදිරියේදී අධි චෝදනා ගොනුකර නඩු පැවරීමට ද තීරණය කරන ලදී.

    විශේෂ ගිණුමක් අනුසාරයෙන් තැන්පත්කරුවන්ගේ මුදල් විශාල ලෙස විවිධ තැන්පත් හා ආයතන වෙත ගෙවීමෙන් සාපරාධී විශ්වාසය කඩකිරීම ද තැන්පතු මුදල් සාවද්‍ය පරිහරණය ද ඊ.ටී.අයි. අධ්‍යක්ෂවරුන් විසින් සිදු කර ඇති බව නීතිපතිවරයා තීරණය කර තිබුණි.

    නීතිපතිවරයා දුන් උපදෙස් මත රහස් පොලිසිය විසින් පෙරේදා (05) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වූ ජීවක හේමාල් එදිරිසිංහ, අංජලී දීපා එදිරිසිංහ හා අසංක ශ්‍රීමාල් එදිරිසිංහ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    පසුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන නාලක ප්‍රේමලාල් එදිරිසිංහ ඊයේ (06) පෙරවරුවේ රහස් පොලිසිය වෙත භාර වී තිබුණි.

    මොවුන් සියලුදෙනාගෙන් කටඋත්තර ලබා ගැනීම රහස් පොලිසිය විසින් ඊයේ (06) සිදු කරන ලද අතර, අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    තැන්පත්කරුවන් 24,800 කගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එක්ලක්ෂ විසිපන්දහසකට ආසන්න සංඛ්‍යාවකගේ ජීවිත අවුලෙන් අවුලට පත්කොට විනාශ මුඛයට ඇද දැමූ ඊට වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක වන ආකාරය දෙස දහස් ගණන් තැන්පත්කරුවෝ නෙත් යොමා සිටිති.

    කුමුදු හෙට්ටිආරච්චි

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here