පාරම්පරික වට්ටෝරුවකට පල්ප­යක් හදමු

    0
    33

    කහ

    අද කහ කුඩු නැතිවම බැරි ජනප්‍රිය කුළුබඩුවක් බවට පත් වී ඇති අතර කහ වියළිම සිදු කළ යුතුම ද යන්න පිළිබඳව මේ දිනවල වැඩි කතාබහක් සමාජයේ දක්නට ලැබේ.

    මේ පිළිබඳව පාඨක ඔබ වෙනුවෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ පසු අස්වනු තාක්ෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ) තුෂාරි ලියනගේ මහත්මියගේ උපදෙස් අනුව කහ පල්පය සකස් කර ගැනිම පිළිබදව විස්තරයක් ඔබ වෙත ගෙන ඒමට අපි අදහස් කළෙමු.

    අතීතයේදී අද මෙන් කහ කුඩු භාවිතයක් නොතිබූ අතර තම්බා වේළා ගත් කහ අල ගලේ අඹරා සකසා ගත් කහ ගුලිය තුනපහ භාජනයක තබා ගනිමින් භාවිතයට ගැනිණි. ඇඹරුම් ගලට සමු දීමත් සමඟ මුළුතැන් ගෙට පැමිණි ඇඹරුම් යන්ත්‍රවලට වියළි කහ අල ඇඹරීමට නොහැකිවීම නිසා කහ කුඩු භාවිතයට වත්මන් ගෘහිණිය හුරු විය.

    ඇත්තටම ඇයි අප කහ වේළන්නේ ?

    එයට හේතු කිහිපයකි. ඒවා නම්,

    1. කහ අස්වනු ලැබෙනුයේ වසරේ නිශ්චිත කාලයක බැවින් ලැබෙන අස්වැන්න වසර පුරාම භාවිතයට ගත හැකි පරිදි කල් තබා ගත හැකි පහසුම ක්‍රමය තම්බා වියළීම වීම

    2. තම්බා වියළා ගැනීම, සරල වීම හා සාම්ප්‍රදායික ක්‍රමයක් වීම

    3. කල් තබා ගැනීමේ ද්‍රව්‍ය යෙදීම අවශ්‍ය නොවීම

    එහෙත් කහ වියළන විට පවතින ප්‍රධාන අවාසිය නම් වියළි කහ කිලෝ ග්‍රෑම් 1ක් සාදා ගැනීමට අමු අල කිලෝ ග්‍රෑම් 6 ක් පමණ අවශ්‍ය වේ.

    කහ පල්පයක් සාදා ගත හැකි නම් අස්වැන්න එලෙසම භාවිතයට යෙදවිය හැකි නිසා මේ කහ හිඟ කාලයට කදිම විසඳුමක් වනු ඇත. එහෙත් කහ පල්ප සෑදීමේදී ඔබ අනුගමනය කරන ක්‍රියා පිළිවෙත අතිශය සෞඛ්‍ය ආරක්ෂිත විය යුතුය. එසේ නොමැති වුව හොත් ඔබගේ වටිනා කහ අස්වැන්න අපතේ යෑමට ඉඩ තිබේ. එමෙන්ම ඔබ ව්‍යපාරිකයකු ලෙස කහ පල්පය වෙළෙඳපොළට ඉදිරිපත් කරන්නේ නම් ඔබගේ පාරිභෝගිකයන් ඒ සදහා හුරු කරවා ගත යුතුය.

    එසේනම් කහ පල්පයක් සකසන ආකාරය බලමු.

    කහ පත්‍ර කහ පැහැවී වියළීමට පටන් ගත් විට එනම් සිටුවා මාස 9ක් පමණ ගත වූ පසුව කහ අල නැතිනම් රයිසෝම මෝරා ඇති අතර මේ අවස්ථාවේදී අස්වනු නෙළා ගත හැකිය. අස්වනු නෙළීමේදී රයිසෝමවලට හානි නොවන ලෙස උදලු මුල්ලුවක් හෝ සුදුසු යන්ත්‍රයක් ආධාරයෙන් ගලවා ගනී. ගෘහාශ්‍රිතව පොලිසැක් මලුවල වගා කරන ලද කහ අල ද පත්‍ර කහ වී වියැළෙන විට රයිසෝමවලට හානි නොවන ලෙස ගලවා ගනී.

    මෙම නිෂ්පාදනය කහ අල ගලවා පැය 24ක් 48ක් පමණ කාලයක් තුළ සිදු කිරීමෙන් වඩාත් සාර්ථක කහ පැහැයක් ගත හැකි වේ. පල්පය සැකසීමේදී හොදින් මෝරන ලද කහ අල ගෙන පස් ඉවත් කොට මුල් කපා ගන්න. ඉන් පසු කහ අල ඇඟිලි අල හා මවු අල වෙන් කර ගන්න. ඉන් පසු කහ අල මතුපිට ඇති වැලි හා මඩ ඉවත්වන තුරු හොඳින් අතුල්ලා සෝදා පිරිසුදු කර ගන්න. මෙහිදී කහ අල තැඹිලි පාටින් පිට පොත්ත දකින්නට ලැබෙන තෙක් පිරිසුදු කළ යුතුය. විශාල මවු අල දිග අතට දෙකට පලා ගන්න. ඉන්පසු ඇඟිලි අල හා මවු අල තම්බා ගන්න. කහ තැම්බීම සඳහා පහත ක්‍රමවලින් එක් ක්‍රමයක් අනුගමනය කළ හැකිය.

    1. නටන ජලයේ ගිල්වා විනාඩි 30ක් තැම්බීම හෝ

    2. හුමාල ජනකයක හෙවත් ස්ටීමරයක දමා විනාඩි 30ක් තැම්බීම හෝ

    3. පීඩන උදුනක (ප්‍රෙෂර් කුකරයක) විනාඩි 10ක් 15ක් පමණ තැම්බීම

    එවිට කහ අල කඩා බැලූ විට නූල් ඇදෙන තත්ත්වයට පත් වී ඇත. ඉන් පසු එම කහ අල පල්පර් යන්ත්‍රයක් හෝ ගෘහස්ථ බ්ලෙන්ඩරයක් ආධාරයෙන් ඉතා සියුම්ව අඹරා ගන්න. ඉන්පසු සැකසුණ පල්පර් ප්‍රමාණයේ බර කිරා ගන්න. කහ පල්පර් කිලෝ ග්‍රෑම් එකකට ලුණු කුඩු ග්‍රෑම් 100ක් හා සිට්‍රික් අම්ලය ග්‍රෑම් 1ක් එකතු කර එයට ජලය මිලිලිටර් 100ක් පමණ එකතුකර ළිප මත තබා මද ගින්නේ හොඳින් හැඳි ගාමින් විනාඩි 10ක් පමණ උයා ගන්න. ඉන් පසු ළිපෙන් බාගෙන අවශ්‍ය නම් අනුමත ආහාර කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් එකතු කර ජීවානුහරණය කළ බෝතල්වල අසුරා කහ පල්පය ලෙස නිවෙසේ භාවිතයට ගැනීමට පුළුවන.

     

    එම්. කීර්තිරත්න

     

    උපදෙස්

    තුෂාරි ලියනගේ

    සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ)

    පසු අස්වනු තාක්ෂණ අංශය

    මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානය – මාතලේ

    අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here