පාරමිතා විවරණ

    0
    16

    අප පසුගිය ලිපියෙන් ඔබට පෙන්වා දුන්නේ පූජාවලියේ සූවිසි විවරණ විවරණයයි. පූජාවලී සිව්වන පර්ච්ඡේදයෙහි එන පාරමිතා විවරණ පිළිබඳ අපූරු තොරතුරු කිහිපයක් අද සාකච්ඡාවට ලක් කෙරේ.

    පාරමී දහයකි. ඒවා බෝසත් ධර්ම ලෙසින් ද බුද්ධකාරක ධර්ම ලෙසින් ද විග්‍රහ වෙයි. බෝධිත්‍රය අතුරෙන් සංසාරයේ පර තෙර වූ නිවන පතා කරන්නා වූ කුශලයෝ පාරමී නම් වන බව රේරුකානේ චන්දවිමල හිමියෝ පාරමිතා ප්‍රකරණයෙහි දක්වති. බෝසත්වරුන් ගොඩ නැගෙන්නේ පාරමිතා ධර්ම ඔස්සේය. බෝසත්වරුන් ධර්මය සෙවූ පර්යේෂණ කාලය පාරමී දම් පිරූ කාලයයි. ජාතක පොත් වහන්සේ පුරා විවරණය කෙරෙන්නේ ද බෝසත්වරුන්ගේ පාරමිතා දිවි පෙවෙතයි. ජාතක කථාවක වැදගත්ම භාගය අතීත කථාවයි. නැතහොත් බෝසත් කථාවයි. එහි බෝසත් චරිතය කේන්ද්‍ර කොට ගෙතුණු කථා පුවත තුළ අවසාන විවරණය වන්නේ කිසියම් පාරමී ධර්මයක් ප්‍රකට කිරීමයි.

    පාරමිතා කථා හෙවත් බෝසත් කථා ඇසීම පැරණි සමාජයේ සිට වත්මන දක්වා ප්‍රියතාවෙන් සහ අභිරුචියෙන් කෙරෙන කාර්යයකි. විශේෂයෙන් අනුරාධපුර යුගයේ අග භාගය වන විට ලංකාවේ බෝසත් වන්දනය ජනප්‍රිය වන්නේ මහායාන අදහස් ප්‍රචලිත වීම නිසාය. අවලෝකිතේෂ්වර, නාථ, මෛත්‍රෙය වැනි බෝසතුන්ගේ ප්‍රතිමා ඉදි කොට වන්දනාවට ද ලක් විය. මෙයින් පෙනෙන්නේ පාරමිතා දර්ශනය ඉතා පැරණි කාලයෙහිම සමාජයේ අවධානයට ලක්වූ බවය.

    පාරමී ධර්ම දහයකි. එබැවින් ඒවා දස පාරමී නම් වෙයි. ඒවා පාරමී උප පාරමී පරමත්ථ පාරමී යනුවෙන් තිකොටසකට බෙදෙන අතර ඒ අනුව පාරමී තිහක් වෙයි. බාහිර සමාජය හා තමා අතර ඇති සම්බන්ධතා කැප කරමින් පාරමී සපිරීම පාරමී නම් වෙයි. වෙසතුරු භවයෙහි සියල්ල දන් දී පිරූ දාන පාරමිතාව මෙනි. තමාගේ ශාරීරික අවයව කෙරෙහි ඇති ඇල්ම නොතකා පාරමී දම් පිරීම උප පාරමී නම් වෙයි.

    ඡද්දන්ත ජාතකයෙහි බෝසත් ඇත්රජු තම දළ උගුලා ගන්නට ඉඩ දී පාරමී පිරීම මෙනි. තම ශරීරය පිළිබඳ ඇති ඇල්ම ද නොතකා පාරමී දම් පිරීම පරමත්ථ පාරමී වෙයි. සස ජාතකයේදී හාවෙකු වූ බෝසතාණන් තමා මරන්නට පැමිණි වැද්දාට ජීවිත පූජාව කළාක් මෙනි. අනෙක් පාරමී ධර්ම කෙරෙන් ද මෙසේමය.

    කෙසේ වෙතත් පාරමී ධර්ම යනු මානව ධර්ම දහයකි. බෞද්ධ සමාජයේ සදාචාර සංවර්ධනය විෂයෙහි පාරමී දම් විසින් කළ බලපෑම සුළුපටු නොවේ. පුද්ගලයාගේ ආධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම සමාජ දියුණුව විෂයෙහි ද පාරමිතා උසස් සංස්කෘතියක් සකසා තිබෙයි.

    දඹදෙණි සමාජ පසුබිමේ මානව ධර්ම පරිහානිය අතිමහත්ය. ධර්මධර සාහිත්‍යකරුවකු ලෙස බුදුපුත් හිමියන් සාරධර්ම ප්‍රතිෂ්ඨාපනයෙහිලා පාරමීධර්ම සමාජගත කිරීමෙහි වෑයමක් දැරූ බව පැහැදිලිය. සත්පුරුෂ සමාජයක මනුෂ්‍යයන් මෙවැනි බෝසත්වරුන් වීමේ උවමනාව උන්වහන්සේ දකිති. ඒ බැව් කෘතියෙහි මෙසේ දැක්වෙයි. බොහෝ සතුන් බෝධිසත්ව පාරමිතාවෙහි වීර්ය වඩවා බණ කීමෙහි අග පැමිණ තමන් කරා පැමිණි බොහෝ සත්පුරුෂයන් බුදු බැව් ප්‍රාර්ථනා කරවූ…..යනුවෙනි.

    එබැවින් තම කෘතියෙහි බෝසත් ධර්ම ප්‍රබලව සාකච්ඡාවට ගැනීම දැකිය හැකිය. පූජාවලියෙහි සිව්වන පරිච්ඡේදය පුරා විවරණය වන්නේ මෙම පාරමී විවරණයයි. කතුවරයා එය හඳුන්වන්නේ බෝධිසම්භාර පූජා කථා පරිච්ඡේදය නමිනි.

    මෙහි බෝසතුන්ගේ පාරමිතා පූජාවන් විවරණය කළ අයුරු කියවන්නාගේ පහන් සංවේගය උපදවයි. බුදු බවේ දුර්ලභ බව පසක් කරයි. ශාන්ත සිතුවිලි මවයි. පරිත්‍යාගයෙහි උත්තුංග බව වැටහෙයි. බුදුපුත් තෙරුන් මෙය ඉදිරිපත් කළ අයුරු බලන්න.

    මතු බුදුව මුළු ලොව දුකින් මුදවමියි පත පතා සස ජාතිකාදියෙහි දන් දුන් ඇඟ මස් කියම් නම් මහ පොළොවෙහි පස් මද ම යග මස් බොහෝමය. තවද යක්ෂ රාක්ෂසාදීන් දිළිඳු වෙස් මවා අවුත් ස්වාමීනි පිපාසිතයම්හ අපගේ පවස් ගිම් නිවව නර ලේ බොනු කැමැත්තම්හයි යාඥා කළ කල දරු කිරි දෙන මවක සේ ඒ දිළිඳුනට දුන් ලේ කියම් නම් සතර මහා සාගරයෙහි දිය මදම යල ලෙහෙබොහෝම ය. තවද නොයෙක් වාරයෙහි අන්ධයන් අවුත් භවත අපි ජාත්‍යයන්ධයම්හ. ලෝකාලෝකයක් නොම දුටුම්හ. කියා ඇස් ඉල්වූ කල තමා වැදූ දරුවන්ගේ ආපදාවන්හි කම්පිත වන මවක සේ උපුටා දුන් ඇස් කියම් නම් ආකාශ‍යෙහි තරු මදමය. දන් දුන් ඇස් බොහෝම ය. තවද, තාගේ තෙලෙ ඉස අපට දන් දී පියවලයි නින්දිත වූ බස් කී වේලෙහි ඔවුන් මුහුණ බලා සුරතල් කියන ප්‍රිය පුත්‍රයන් සේ එකණෙහිම මගුල් කඩුව ගෙන කපා දීපු මිණි ඔටුණු පළන් රජහිස් ගොඩ කියම් නම් මෙරගල් මිටිමය. ඉස් ගොඩ උස්මය. තවද, අපමණ ජාතියෙහි දිළිදුන් අවුත් අතින් මෙහෙකොට ගත නොහෙම්මය. තොපගේ තෙලෙ දරුවන් අපට ගැති කොට දෙවයි කියා යාඥා කළ කල දෙබසක් නොකියා වෙස්සන්තර ජාතකාදියෙහි ප්‍රිය දරුවන් බැඳ දුන් වැල් ගොඩ කියම් නම් මෙරගල් (මහාමේරුව) මිටිමය. වැල් ගොඩ උස්මය. තවද යාචකයන් අවුත් තොපගේ සිරිකත වන් රජකත අපට දෙවයි ඉල්වූ කල දෙබසක් නොකියා තමන්ගේ ප්‍රිය කාන්තාවන් බැඳ දුන් වැල් ගොඩ කියම් නම් මෙරගල් මිටිමය වැල්ගොඩ උස්මය. මෙසේ මාගේ ස්වාමිදරුවාණන් පිරූ පාරමිතා අපමණයහ.

    මෙම කියවීම අනුවේදනාත්මකය. බුදුගුණ නොදන්නාල බුදුන්ට ගරහන බුදුන් අතහැර අන්‍ය මතවාද සරණ යන මිනිසුනට බුදු කෙනකුගේ ශ්‍රේෂ්ඨත්වය කෙතරම් අපූරු ලෙසින් ඉදිරිපත් කර තිබේද. කතාකරුවා ඒ සඳහා යොදන උපමා දෙස බලන්න. කතුවරයාගේ ලේඛන රීතියෙහි උදාරත්වය බලන්න. ඔහුට දන් දුන් ඇඟ මස් ගැන කියන්නට පොළවේ පස් හැර ලොව අන් කිසිවක් නැත. දන් දුන් ලේ ගැන කියන්නට මහ සයුරෙහි දිය හැර අන් කිසිවක් නැත. එහි යෙදූ උපමාව දෙස බලන්න. දරුවන්ට කිරි දෙන මවක සේ ලේ දුන් බව කීමෙන් දානාධ්‍යාශය මැනවින් ප්‍රකට කෙරෙයි.

    ඇස් දන් දුන් තරම තරුවලට උපමා කරයි. හිස් දන් දුන්නේ සුරතල් බස් තෙපළන ප්‍රිය පුත්‍රයන් සෙයින්මය. දරුවන් සහ බිරින්දෑවරුන් දන් දෙන විට ගැට ගැසූ වැල් ගොඩ මහමෙර පරයා ගිය බව කියයි.

    මෙනයින් පූජාවලියේ අපූරු ලේඛනය ද පසක් වෙයි. මේවා අධ්‍යයනය නොකොට නවකථාකරුවකු කෙටිකථා කරුවකු බිහි විය හැකිද? මාධ්‍යකරුවකු ලේඛකයකු කවියකු විය හැකිද? නූතන ලේඛකයාට මෙවැනි සම්භාව්‍ය ලේඛනයකින් ලැබිය හැකි පූර්වාදර්ශ කවර තරම්දැයි බලන්න. එබැවින් මෙවන් කෘති අපට කියා දෙන්නේ දහම් මග පමණක් නොව අපගේ බස්වහරේ උතුම් බවමය.

    මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

    සිංහල අංශය

    කොළඹ විශ්වවිද්‍යාලය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here