පෘතුගීසීන් හැදූ කොළඹ කොටුව ලන්දේසීහු බිඳ දමති

    0
    18

    හරියටම මීට වසර 150කට පෙර එනම්, 1870 වනවිටත් අප අද දකින කොළඹ නගරය පවුරකින් වට කළ “කොටුව”කි. ගස් වැල්, මල්වතු, දිගු ඇළ මාර්ග, කාල තුවක්කු හා නගරය වටා උස් ප්‍රාකාරයක් එදා දක්නට ලැබිණි. කොටුව දුම්රිය ස්ථානය, ලේක්හවුස් ආසන්නය දක්වාම බේරේ වැව පිහිටා තිබිණි. අද දක්නට ලැබෙන විසල් මහාමාර්ග හෝ අහස සිඹින මහල් ගොඩනැගිලි වෙනුවට එදා තැන තැන දක්නට සිටියේ ආයුධ සන්නද්ධ ඉංග්‍රීසි සොල්දාදුවන්ය. පරංගීන් මෙරටට පා තැබුවේ 1505 දීය. ඒ හරියටම මීට වසර 515කට පෙරය. පරංගීන් ලංකාවට පැමිණ උණ බට යොදා මැටි වරිච්චියෙන් හැදූ ප්‍රාකාරයද, එය කඩා දමා ලන්දේසීන් තැනූ කොටු පවුර ද අද දක්නට නැත. මීට වසර 150කට පෙර ලන්දේසි කොටුව කඩා ඉවත් කර කොළඹ නගරය පුළුල් කළේ ඉංග්‍රීසි ආණ්ඩුවේ මෙරට සිටි හර්කියුලීස් රොබින්සන් (පසුව රොස්මීඩ් සාමි) ආණ්ඩුකාරයා ය.

    1505 දී මෙරටට පා තැබූ පෘතුගීසීන්ගේ බලය වඩාත් තහවුරු වූයේ බුවනෙකබා රජුගේ මුනුපුරු ධර්මපාල කුමරු කෝට්ටේ රජු ලෙස අභිෂේක ලැබූ පසුවය. පෘතුගීසීන් මුලින්ම කළේ කෝට්ටේ රජු හමුවී සාකච්ඡා කිරීමය.

    තමන්ට අවශ්‍ය වන්නේ මෙරට සතුරන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ගෙරි සමක ප්‍රමාණයේ බිම් කැබැල්ලක් පමණක් බව පෘතුගීසීහු රජුට පැවසූහ. ඒ අනුව කොළඹට ආ පෘතුගීසීහු ගෙරි හමක් ගෙන ඉතා සිහින් නූල් ප්‍රමාණයකට ඉරා දිගු හම් නූලක් තනා බලකොටුවක් ඉදි කිරීමට නූල් ඇදීම කළහ.

    මේ පිළිබඳව රජු පෘතුගීසීන්ගෙන් ප්‍රශ්න කළ විට ඔවුන් පවසා ඇත්තේ ගෙරි හමෙන් ඉරා ගත් නූල් ප්‍රමාණය මිස තමන් වැඩිපුර භූමියක් අල්ලා නොගත් බවයි.

    කපටි නුවණක් ඇති විදේශිකයන් සමඟ අමනාප වීම එවකට කොළඹ වෙළෙඳාම් කළ මුස්ලිම්වරුන්ට වාසිදායක වේ යැයි සිතූ රජු පෘතුගීසී ජාතික ෆර්නාවෝ කොට්රිම්ට කොළඹ වෙළෙඳ ගබඩාවක් හා බලකොටුවක් ඉදිකිරීම සඳහා ගෙරි හමක භූමියක් ලබා දුන් බව පිළිගෙන නිහඬ විය.

    ලොරෙන්සෝ ද අල්මේදාගේ උපදෙස් පරිදි වරායේ නිරිත දිග දිය කඩනය අසල මුල්ම වෙළෙඳ ගබඩාව ඉදි කළ පෘතුගීසීහු පාප්තුමාගේ ප්‍රකාශයට අනුව කොළඹ භාර සාන්තුවරයා ලෙස ඊට ‘ශාන්ත ලෝරන්ස්’ ලෙස නම් කළහ. ශාන්ත ලෝරන්ස් වෙනුවෙන් කැප කළ කුඩා පල්ලියක් මෙහි ඉදි කළ අතර එය මෙරට පිහිටුවූ මුල්ම කතෝලික පල්ලිය යැයි විශ්වාස කෙරේ.

    වරාය දෙසට මුහුණලා තිබූ විශාල ගල් පොත්තක 1505 දී පෘතුගීසි ලාංඡනය කෙටූ අතර ඉංග්‍රීසි පාලන යුගයේදී එය හමුවූයේ වරාය පොලිසියට අයත් ගොඩනැගිල්ලක් කඩා බිම හෙළද්දීය. 1898 වසරේදී මෙය හමුවූ අතර එම ගල බරින් ටොන් 27ක් පමණ විය. පසු කලෙක එය කොළඹ ගෝඩ්න් උද්‍යානයට ගෙන ගොස් තැන්පත් කර තිබිණි. මුස්ලිම් වෙළෙඳුන් පෘතුගීසීන්ගේ වෙළෙඳ ගබඩාවට කිහිපවරක්ම ගිනි තැබූ නිසා ඔවුන් විශාල ප්‍රාකාරයක් ඉදිකිරීම ඇරඹුවේ 1518දීය.

    පෘතුගීසි කපිතාන් ඩුඅර්ටිකා මෙරටට පැමිණ වරායෙන් වටවූ පෙදෙසක් ඇතුළුව ගාලු මුවදොර, යෝර්ක් වීදිය සහ කැනල් රෝ ඇතුළත් පෙදෙස වටා නව කොටුවක් තැනවීය.

    පෘතුගීසීන් තැනූ මේ කොටුව ලන්දේසි සහ ඉංග්‍රීසි පාලන යුගවලදී සීමාවන් වෙනස් කර ඇත. පෘතුගීසීන්ගේ කොටුව අට්ටාල 12කින් යුතු විය. ඉතිහාසඥ රිබෙයිරෝ සඳහන් කර ඇත්තේ පැති හයකින් යුතු ප්‍රමාණයෙන් කුඩා මේ අට්ටාල වැඩි අමාරුවකින් තොරව ගොඩ නැඟූ ඒවා බවය.

    පෘතුගීසි කොටුව උණ ගස් යොදා මැටි වරිච්චි ගසා තනි පේලියට තනා තිබුණද එය ස්වදේශික ප්‍රහාරවලට ඔරොත්තු දෙන තරම් ශක්තිමත් බව සඳහන්ය. කොටුවේ එක් කෙළවරක පිහිටි වැවකින් දිය අගල් අවසන්වී ඇති අතර ගොඩබිමින් ආ දිය අගලක් ද වැවට සම්බන්ධකොට තිබිණි.

    පෘතුගීසීන්ගේ කොටුව වටා කාලතුවක්කු 237ක් සවි කෙරිණි. ඒවා රාත්තල් 10 සිට 38 දක්වා බරැති විය. ඒ ප්‍රාකාරය මත කුඩා මාර්ගයක් වූයෙන් සෙබ‍ළෙකුට බිමට නොබැස පවුර වටා ගමන් කළ හැකි විය. පසු කලෙක ධර්මපාල රජු ආරක්ෂාව පතා පෘතුගීසි රැකවරණයට ගියේ මේ කොටුව තුළටය.

    කොළඹ බලකොටුවක් තනා වරාය ආරක්ෂා කිරීම ගැනත් ඔවුන්ගේ හැසිරීම් රටාව ගැනත් නිරන්තරයෙන්ම සැක සිතමින් සිටි දේශීය ජනතාව (හත්වැනි බුවනෙකබාහු රජ සමයේදී) එනම් 1524 දී මේ පරංගි කොටුවට ප්‍රහාරයක් එල්ල කර බිඳ දැමූ බවද සඳහන් වෙයි.

    සීතාවක රාජසිංහ රජුද 1561 දී පෘතුගීසීන් සමඟ මුල්ලේරියාවේදී බිහිසුණු යුද්ධයක පැටලැවිණි. කෝට්ටේ හැර දමා පෘතුගීසීන් ධර්මපාල රජු සමඟ කොළඹට යළි පසු බැස ගියේ ඉන් පසුවය.

    දොන් ජුවන් ධර්මපාල කෝට්ටේ රාජ්‍යය පෘතුගාල රජයට තෑගි ඔප්පුවකින් පවරනු ලැබුවේ 1597 මැයි 27 වැනිදාය. ඉන් පසුව 1656 දක්වා මෙරට පෘතුගීසි ආණ්ඩුව පැවතුණේ ඉන්දියාවේ ගෝවේ සිටි විසුරේ (ප්‍රතිරාජයා) යටතේය. මෙරට පෘතුගීසි ආණ්ඩුවේ ප්‍රධානියා වූයේ කපිතාන් ජනරාල් දොන් ජෙරොනිමෝද අසවේදුය. ඔහු 1594 සිට 1613 දක්වා මෙරට ප්‍රධානියා විය.

    මොහුගේ සහායට ආණ්ඩුවේ ආදායම් භාරව වෙඩෝර් ද පැසෙන්ඩා නම් තනතුරක් දැරූ නිලධාරියෙක්ද, ඔවිඩෝර් නමින් අධිකරණය භාර නිලධාරියෙක්ද පත් කර තිබිණි. ඉන් පසුවත් කොළඹ නගරය ශාන්ත ලෝරන්ස් නමින්ම පැවතුණු අතර කොළඹ නගරය පාලනය කෙරුණේ ‘චෙම්බර්’ නම් සභාවක් මඟිනි.

    ක්‍රමයෙන් පෘතුගීසීහු මීගමුව, කළුතර, ගාල්ල, ත්‍රිකුණාමලය, අඟුරුවාතොට, මඩකලපුව, යාපනය යන ස්ථානවලද කොටු පවුරු තැනූහ. කොළඹ කොටුවේ ප්‍රධාන දොරටුව ශාන්ත ජෝන් මුර අට්ටාලය අසල ඉදිකර තිබිණි.

    වෙරළේ සිට කොටුවට පිවිසිය හැකි වූයේ වර්තමාන එලිසබෙත් ජැටිය අසල සාගර මුවදොරිනි. ශාන්ත ලෝරන්ස් අට්ටාලය මුවදොර නැම්මේ පිහිටි අතර ශාන්ත කෲස් අට්ටාලය පිහිටියේ මුහුදට නෙරා ගිය තුඩුවේය.

    රේගු දොරටුව අසල වරායෙන් පිටවන අ‍ෙයකුට කොඩිගහ වීදිය සමීපයේදී සන්තියාගෝ සහ ශා, අගොස්තීනු පවුරු අට්ටාල දැකගත හැකි විය. මීට වසර කිහිපයකට කලින් දක්නට ලැබුණු කොටුවේ ඇචිලන් බැරැක්ක කෙළවරේ ශාන්ත අන්තෝනියෝ මුර අට්ටාලය විය. බැරැක්කය අනෙක් කෙළවරේ ශා. ජෙරනිමෝ අටල්ල පිහිටියේය. කොටුව දුමරිය ස්ථානය ඉදිරිපිට කන්සැප්ෂන් මුර අට්ටාලය තිබූ අතර වත්මන් පිටකොටුවේ ඝන්ඨාර කුලුන අසල ශා. එස්තාවෝ අටල්ල විය.

    වර්ෂ 1580 සිටම පෘතුගීසීන් වරින් වර ස්වදේශිකයන්ගේ ප්‍රහාරවලට ලක්වෙමින් කොළඹ කොටු පවුර හා අට්ටාල ගොඩනඟමින්, අලුත්වැඩියා කරමින් හා වෙනස් කරමින් ආණ්ඩුකරුවන් 23 දෙනකුගේ පාලනය ගෙන යාමට සහාය දුන්නේය.

    එනමුත් 1640 වසර වන විට ලන්දේසීන් මෙරටට ගොඩබැස සිටියහ. මේ වනවිට කෝට්ටේ රාජධානිය අවසන් වී සීතාවක රජ පරපුරද අවසන්ව ගොසිනි. සෙංකඩගල රජ කළේ දෙවැනි රාජසිංහ රජුය. ඔහුගේ අභිලාෂය වී තිබුණේ පෘතුගීසීන් පලවා හැර ලංකාද්වීපයේම පාලනය සියතට ගැනීමය.

    සිංහලේ රජු ලන්දේසීන්ගේ සහාය ඉල්ලීම ලන්දේසීන්ගේ වෙළෙඳ අභිප්‍රාය ඉටුකර ගැනීමට පහසු මඟක් විය. මෙනිසා සිංහල සේනාව සමඟ එක්වූ ලන්දේසීහු පෘතුගීසීන්ගේ බළකොටුවලට පහර දෙමින් පෘතුගීසීහු වියපත් කළහ.

    ඩී. ක්වේරෝස් ලේඛකයා දක්වන අන්දමට පෘතුගීසි පාලනයේ අවසන් යුගයේදී කොළඹ කොටුවේ පිහිටි මුර අට්ටාල සහ ඒවා භාරව සිටි ආරක්ෂක නිලධාරීන් මෙසේය.

    නිකාලෝ මෝරා ද බ්‍රිටෝ මුලදී කොටුවේ ‘ශාන්ත‍ ජොවාවෝ’ දොරටුව අසලත් පසුව මුර අට්ටාලය පාමුලත්, මැනුවෙල් කොරෙයාද බැරෝස් ‘ජොවාවෝ’ මුර අට්ටාලත්, ලොරෙන්සෝ ෆෙරෙයිරා ද බ්‍රිටෝ ‘ශාන්ත ටෙවාවෝ’ අටල්ලේත්, ෆ්‍රැන්සිස්කෝ ගුර්ජා‍වෝ ෆියල්හෝ ‘ශාන්ත සෙබස්ටියාවෝ’ මුර අටල්ලේත්, ජෙරනිමෝ ද ලුසේනා ටැවරස් (පසුව ලුවිස් ටැවෙරා ද කුන්හා) ‘මැඩ්‍රේ ද ඩියස්’ අටල්ලේත්, ඩොමිංගෝ පෙයික්සොටෝ, ‘කොන්සේකාවෝ’ මුර අටල්ලේත්, අෆොන්සෝ කාවල්හෝද සෞසා ‘ජෙරනිමෝ’ අටල්ලේත්, මැනුවෙල් කාවන්හෝ ද අන්හයා ‘ශාන්ත අන්තෝනියෝ’ අටල්ලේත්, මැනුවෙල් නූනස් ‘ශාන්ත ලා‍හෝ’ අට්ටාලයේ මාපන දොරටුවේත්, ඕවිදර් ලුවී ද ක්වින්ටල් ‘ශාන්ත ඕගස්ටිනෝ’ මුර අට්ටාලයේත් ආරක්ෂක කටයුතුවල නිරත වූහ.

    මීට අමතරව අන්තෝනියෝ ද සිල්වා ‘ශාන්ත ලොරන්සෝ’ මුර අටල්ල භාරව ක්‍රියා කළේය. ගැස්පර් ද අරෝජෝ පෙරෙයිරා ‘ශාන්ත කෲස්’ අටල්ලේත්, මැනුවෙල් කල්දේරා ‘මැට්රිස්’ කොටුවේත් ඔහුත් සමඟ මැනුවෙල් කල්දේරා, ද බ්‍රිටෝ, ඇන්ඩ්‍රේද සේක්සස් ද සිල්වා, සතර කෝරළේ දිසාව සහ මැනුවෙල් ද ගිල් ගැස්පෝ සමඟ මීගමුවේ භට පිරිසක් ශාන්ත ෆ්‍රැන්සිස්කෝ බළකොටුවේ රාජකාරිවල නිරතව සිටියහ.

    “ජෙවාවෝ කොසෙල්හෝ” ක්වීන්ස් දොරටුවේ සත් කෝරළේ දිසාවත්, හේවාවෝ බේන් හා කර්ඩෝසා – ශාන්ත ජෙරනිමෝ සිට ශාන්ත අන්තෝනියෝ අටල්ල දක්වා ප්‍රාකාරය මතත් සේවයේ නිරතව සිටියහ. ගැස්පර් ෆිගේරා ද සර්පා සහ අන්තෝනියෝ ද මේලෝ ද කැස්ත්‍රෝ “ශාන්ත ජොවාවෝ” මුරඅට්ටාලය පාමුල ආරක්ෂක කටයුතුවල නිරතව සිටියහ.

    1655 අගෝස්තුවේ පෘතුගීසි නව කපිතාන් ජනරාල් අන්ටෝනියෝ ද සෞසා කුටිඤ්ඤෝ ලංකාවට ගොඩ බැස්සේය. එම සැප්තැම්බර් 15 වැනිදා මාරවිල සහ හලාවත අතර මුහුදේ ඈතින් ලන්දේසි අතිරේක සේනා සහිත නැව් දක්නට ලැබිණි.

    ඇම්ස්ටර්ඩෑම්හි ජෙරාඩ් හල්ෆ්ට්ගේ නායකත්වයෙන් යුතු විශාල නැව් 18ක් හා කුඩා නැව් 8කින් යුද අවි සහ තුන්දහසක ලන්දේසි සේනාවක් ලංකාවට ගොඩ බැස්සේය. මේ වනවිට භටයන් 800 කින් සැදී මුළු පෘතුගීසි සේනාවෙන් 300ක් කළුතර සේවයේ යොදවා සිටියහ.

    කාලතුවක්කු භට පිරිස පෘතුගීසීන් 20ගෙන් හා ආසියාතිකයන් 10කින් යුතු විය. ඔවුන් සියලු දෙනා ආධුනිකයන් වූ අතර බර කාලතුවක්කු 150ක් සහ කුඩා කාලතුවක්කු කිහිපයක්ද ඔවුන් භාරයේ විය. ‘ශාන්ත එස්ටාවෝ’ සහ ‘ශාන්ත ජොවායෝ’ මුර අට්ටාල දෙකේ හැර එවන් අන් තැනක නවීන කාලතුවක්කු නොවීය.

    කෙසේ වුවත් ලන්දේසීහු මෝදරට ළඟාවී පෘතුගීසීන්ට එරෙහිව ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පලා යාමට පෘතුගීසීන්ට සිදු විය. ඒ වන විට පෘතුගීසීන් සතු සේනාංක ගණන 18ක් විය. එක් සේනාංකයක සිටියේ 20 – 25 අතර භට පිරිසකි.

    ඒ වනවිට වෙරළ තෙක් විහිදී ගිය කොටුවේ උල් ඉණිවලින් තැනූ ශක්තිමත් දඬුවැටකින් ආවරණය කර තිබූ අතර එය ප්‍රාකාරයකින් ‘ශාන්ත එස්ටෙවාවෝ’ මුර අටල්ලට සම්බන්ධ කර තිබිණි. දිය අගල ඇරඹුණේ ඒ අසලිනි. මුර අටල්ල උඩ කාලතුවක්කු 16ක් රඳවා තිබිණි. මෙම ප්‍රදේශය වර්තමාන පිටකොටුවේ ඝන්ඨාර කුලුන (කයිමන් දොරකඩට) ආසන්නයේ තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

    ඔගස්තියානු කන්‍යාරාමය පිහිටි කඳුගැටය නගරයේ හොඳම ආරක්ෂක පවුර වූ හෙයින් එම පරිශ්‍රයේ පෘතුගීසීන්ගේ ප්‍රධාන වෙඩි බෙහෙත් ගබඩාව පිහිටුවා තිබිණි.

    ලන්දේසීහු තම කාලතුවක්කු සේනාංක ශාන්ත තෝමස් කන්දේ පිහිටු වූහ. ඒ වනවිට ඔවුහු වුල්වෙන්දාල් සහ ශාන්ත සෙබස්තියාවෝ යනුවෙන් හැඳින්වූ අගෝවා ද ලූපෝ පූජකාරාමවල ලැඟුම්ගෙන සිටියහ. හල්ෆ්ට් පහසුකම් සහිත නිවෙසක ලැඟුම් ගත් අතර එම ප්‍රදේශය හල්ෆ්ට්ඩෝප් නමින් හැඳින්විණි.

    1655 ඔක්තෝබර් මාසයේදී ලන්දේසි කාලතුවක්කුවලින් කොළඹ කොටුවේ පෘතුගීසි බළකොටුවේ පවුරු කීපයක් බිඳ වැටුණේය. ප්‍රහාරවලින් දැඩි හානි සිදුවූයේ ශාන්ත ජෙවාවෝ මුර අටල්ලටය.

    නොවැම්බර් 03 වැනිදා ලන්දේසීහු ශාන්ත ෆ්‍රැන්සිස්කෝ සේවියර් පෘතුගීසි මුරපොළට කෙළින්ම මුහුණලා වෙරළ අද්දර කාලතුවක්කු සේනාංකයක් ස්ථාන ගත කළහ. ඉන්පසු ලන්දේසීහු ශාන්ත එස්ටෙවාවෝ මුර කපොල්ලට කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමෙන් කොටුවට බරපතල හානි සිදුවිය.

    රාජසිංහ රජුගේත් ඉන්දියා – ඕලන්ද සමාගමේත් නාමයෙන් යටත්වන ලෙස දන්වා පෘතුගීසි කපිතාන් ජනරාල් ඇන්ටෝනියෝ ද සෞසා කුටිඤ්ඤෝ වෙත හසුනක් යැවුවත් ඔහු ඊට පිළිතුරු එවා තිබුණේ යටත් විය යුතු සාධාරණ හේතු තමන්ට නොපෙනෙන තාක් යටත් නොවන බවයි.

    ඉන් තෙදිනකට පසුද කොටුවට ප්‍රහාරයක් එල්ල කෙරිණි. ලන්දේසි සේනාංක 3ක් ශාන්ත ෆ්‍රැන්සිස්කෝ සේවියර්, ශාන්ත හේවාවෝ සහ ක්වීන්ස් ගේට් යන මුරපොළවලට පහර දීමට පිටත්ව ගියහ. කොටුව මතට නැගීම සඳහා ඔවුන් සතුව ඉණිමං ද තිබිණි.

    ශාන්ත කෲස් මුරපොළ දෙසට යාත්‍රා කළ කුඩා නැව් හතරින් එකක් වූ එන්ඩුසන් නැවෙන් පෘතුගීසි මුරපොළට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කෙරිණි. එහෙත් පෘතුගීසීන්ගේ ප්‍රහාරවලින් එන්ඩුසන් නැවට හානිවී ගිලී ගියේය.

    කොටු පවුරට හේත්තු කළ ඉණිමංවලින් ඉහළට නැගි ලන්දේසීහු කොටුව තුළට අත්බෝම්බ ගැසූහ. මෙනිසා කොරාකා මුරපොළ ගිනි ජාලාවක් බවට පත්විය. රැජිනගේ දොරටුවට (ක්වීන්ස් ගේට්) ප්‍රහාර එල්ල කිරීම ජනරාල් හල්ෆ්ට්ගේ මූලිකත්වයෙන් සංවිධානය විය. එනමුත් ඔහුගේ සේනාංකයට පෘතුගීසීන්ගෙන් එස්ටෙවාවෝ සහ සෙබස්තියන් මැරේඩ් ද ඩියෝස් අටලුවලින් දැඩි වෙඩි ප්‍රහාරයක් එල්ල කෙරිණි.

    ලන්දේසීන් දොරටුවට ළංවෙත්ම දෙපස සැඟවූ කාලතුවක්කු දෙකකින් එකවර වෙඩි ප්‍රහාරයක් එල්ල වීම නිසා ලන්දේසීහු සන්ත්‍රාසයට පත් වූහ. ඉන් ලන්දේසීහු විශාල පිරිසක් ද මිය ගියහ.

    සාවෝ හේවාවෝ මුරපොළ තමන් අල්ලා ගත් නිසා තමන්ට සහාය වන්නැයි හල්ෆ්ට් කෑ ගසා කීවත් පෘතුගීසි ප්‍රහාරයෙන් අන්දමන්දව සිටි ලන්දේසි සෙබළු පලා යන්නට වූහ. වෙඩි වරුසාවක් ඔවුන් මත පතිත වූ අතර හල්ෆ්ට්ගේ පාදයකට ද වෙඩිල්ලක් වැදිණි.

    ලන්දේසීන් 800ක් පමණ මේ ප්‍රහාරයෙන් මිය ගොස් ඇති අතර 500ක් පමණ දෙනා තුවාල ලැබ සිටියහ. සංග්‍රාමයෙන් පෘතුගීසීන් 30ක් පමණ මිය ගිය අතර 50ක් පමණ තුවාල ලැබූහ. (කොටුවේ ප්‍රහාරයට පෙර මග්ගොන ප්‍රදේශයට නායකත්වය දුන්) ෆෙලිසියෝ ලීසියෝ ද මිය ගොස් සිටියේය.

    දින කීපයක් නිහඬ වූ ලන්දේසීහු යළිත් වරක් කොටුවට පහර දීමට ප්‍රයත්නයක් දැරූහ. ලන්දේසීන් ක්‍රමයෙන් යළි කොටුවට ළංවෙද්දී කොටුව අවට ගම්වල පදිංචිකරුවන්ටද කොටුව තුළට ඒමට පෘතුගීසීන් අවසර දුන්නේය. එනිසා 1655 දෙසැම්බර් 12 වන විට කොටුව තුළ ආහාර හිඟයක් ඇති විය. ඒ අතර ලන්දේසීන් ශාන්ත එස්ටිවාවෝ දෙසට එල්ල කළ කාලතුවක්කු ප්‍රහාරවලින් එම මුරපොලේ පවුරු බිඳ වැටිණි. පෘතුගීසි සේනාවට ඉන් බරපතල හානි සිදු විය. කොටුවේ සිටි පෘතුගීසි ජනරාල් කුටිඤ්ඤෝගේ පුත් ෆර්නාවෝ මාටිස් ද ‍සෞසාගේ හිසට වෙඩි වැදී මිය ගියේය.

    ඊළඟ වසරේ (1656) ලන්දේසීහු කඩිනමින් රැජිණ දොරටුවට විරුද්ධ දෙසින් අගල් කැණීමක නිරත වූහ. ශාන්ත එස්ටෙවාවෝ මුර අටල්ල වැනසී තිබුණු හෙයින් එහි පෘතුගීසි සෙබළු දක්නට නොවීය. සුන්බුන් වූ මැඩ්‍රේද ඩියෝස් මුර අටල්ල වෙනුවට ඒ වනවිට දැව අටල්ලක් ඉදිකර තිබිණි. එම මාර්තුවේ ලන්දේසීහු ශාන්ත ජොවාවෝ මුරපොළට ඉදිරියෙන් කාලතුවක්කු ස්ථාපිත කළහ.

    මේ අතර කොළඹ කොටුවේ උණ, අතීසාරය, මහාමාරිය වැනි රෝග පැතිර ගිය අතර වසංගතය හා සාගතය ජනතාව වෙළා ගත්තේය. මේ හේතුවෙන් 1656 මාර්තු 15 සිට අප්‍රේල් 20 දක්වා මිය ගිය අයගේ සිරුරු වළලනු ලැබූ අතර ඉන් ගණන් ගැනුණු මළ සිරුරු සංඛ්‍යාව 22030ක් බව සඳහන් වෙයි. කොටුවේ මිනී මස් අනුභවය ද සුලබ දර්ශනයක් බවට පත්ව තිබිණි.

    ඇතිවී තිබූ තත්ත්වය පෘතුගීසි ජනරාල්වරයා ගෝවේ ප්‍රතිරාජයාට දැනුම් දුන්නේය. අප්‍රේල් 10 දායින් පසු කොටුව තවදුරටත් අල්ලාගෙන සිටීම කළ නොහැකි බව ද එම පණිවුඩයේ සඳහන් කර තිබිණි.

    මැයි 9 වැනිදා වන විට පෘතුගීසි කොටුව තුළ ඉතිරිව තිබුණේ දින 8කට ප්‍රමාණවත් ආහාර පමණි. එහි තිබූ වෙඩි උණ්ඩ සෑහුනේ පැය දෙකක සටනකට පමණි. මේ අතර ලන්දේසීහු ඔවුන්ගේ කාලතුවක්කු ශාන්ත හේවාවෝ මුරපොළ ඉදිරිපිට රඳවමින් සිටියහ. මේ වන විට කොටුව තුළ සිටි පෘතුගීසි හේවායන්ගෙන් අත් තුවක්කුවක්වත් හරිහැටි ඔසවාගත හැකි මට්ටමේ ශක්තියක් තිබූ කිසිවකු මුරපොළවල නොසිටියහ.

    තමන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා යටත් වීමට බොහෝ දෙනා කැමැත්තෙන් සිටින බව පෙනී ගිය බැවින් පෘතුගීසි ජනරාල්වරු දෙදෙනා ඇතුළු පාලක මණ්ඩලය ලන්දේසීහු සමඟ එකඟතාවයක් ඇතිකර ගැනීමට තීරණය කළහ.

    එම මැයි 10 වැනිදා කොටුවේ සුදු කොඩියක් එසැවිණි. පසු දින පෙරවරුවේ පෘතුගීසි නියෝජිතයෝ තිදෙනෙක් ලන්දේසි කඳවුරට ළඟා වූහ. ගාල්ලේ හිටපු කපිතාන් ලොරෙන්සෝ පෙරෙයිරාද බ්‍රිටෝ, ජෙරනිමෝ ද ලුසිනා ටැවරස් සහ නාගරික ලේකම් දියෝගෝ ලෙටාවෝද සෞසා එම තිදෙනාය.

    ඔවුන් යටත්වීමේ කොන්දේසි 14ක් ඇතුළත් ලේඛනය ලන්දේසීනට ඉදිරිපත් කළ අතර ඊට ප්‍රතියෝජනා මැයි 12 වැනිදා පෘතුගීසීන් වෙත යැවිණි. එමඟින් කියැවුණේ මැයි 13 වැනිදා නගරය යටත්විය යුතු බවය.

    යටත්වීමේ කොන්දේසියට අත්සන් තැබීම 1656 මැයි 12 දා මධ්‍යහ්නයේදී සිදු කෙරිණි. 1658 ජුනි 23 වැනිදා කොටුවේ අපස්වාමිදුවගේ දේවස්ථානයේ රැස්වූ ජයග්‍රාහී හමුදාව ස්තෝත්‍ර ගී ගයද්දී ලන්දේසි භටයන්ගේ රළු හඬ කොටුව හාත්පස ගිඟුම් දුන්නේය.

    ‍ඉන් වසර 25කට පමණ පසු ලන්දේසීහු පෘතුගීසි කොටුව යළි පිළිසකර කළහ. වර්තමාන පිටකොටුවේ හතරවැනි හරස් වීදියේ පැවති පෘතුගිසීන්ගේ බාහිර ප්‍රාකාරය අතහැර ඉන් පිටත පහත්බිම් යටකර බේරේ වැව කයිමන් දොරකඩ දක්වා පුළුල් කළහ.

    වර්තමාන ගෆූර් ගොඩනැගිල්ලට පිටුපසින් ‘ලේඩන්’, කෙලින් වීදියේ ‘ඩෙල්ෆේට්’, ට්‍රාන්ස්වර්ක්ස් ගොඩනැගිල්ල පිටුපස ‘හූන්’ , ඇචිලන් චතුරස්‍රයේ නැගෙනහිර කෙළවරේ ඉහළ ‘රොටර්ඩෑම්’, රැජින වීදියේ දකුණු කෙළවරේ ගාලු මුවදොර පිටුපස පෙනෙන පරිදි ‘මිඩ්ල්බර්ග්’, කොඩි ගහ වීදියේ ‘එන්කුයියන්’ සහ රේගුවේ ප්‍රධාන දොරටුව අසල ‘ඇම්ස්ටර්ඩෑම්’ යන නම් වලින් කොටු පවුරේ මුර අට්ටාල ඉදි කෙරිණි.

    කයිමන් දොරකඩ අසල පිහිටි පෘතුගීසීන්ගේ ශාන්ත එස්ටා‍වෝ අට්ටාලය ‘රාජසිංහ’ නමින් ලන්දේසීහු නම් කළහ. පෘතුගීසි කොටුව වෙනස් කර නගරයේ සීමා වෙනස් කළ ලන්දේසීන් කොටුවෙන් පිටත ප්‍රදේශය ‘පිටකොටුව’ බවට පත් කළේය. කොටුව සහ පිටකොටුව පෙදෙස් දෙක වෙන් වූයේ එළිමහන් පෙදෙසකිනි. ලන්දේසී යුගයේදී කොළඹ කොටුවේ විශාලත්වය අක්කර 40ක් පමණ වූ බව සඳහන්ය.

    ලන්දේසීන්ගෙන් පසු කොළඹ කොටුව ඉංග්‍රීසීන් යටතට පත්විය. 1870 දී ඉංග්‍රිසි ආණ්ඩුකාර හර්කියුලිස් ජී.ආර්. රොබින්සන් කොළඹ පවුරු පදනම් සියල්ල බිඳ හෙළුවේය. ඒ කොළඹ නගරය පුළුල් කිරීම සඳහා බව කියමිනි. එහෙත් ඉපැරණි කොටුවේ ඉතිරිවූ කොටස් කිහිපයක් ස්ථාන කිහිපයකදී අදත් දැක ගත හැකි වෙයි.

    බන්ධුල ගුණරත්න

     
     
     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here