බස්නාහිර හැර රට පුරා ක්‍රීඩා කටයුතු යළි ආරම්භ කිරීමට තීරණය කරයි

0
15
Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

තනි තනිව ඉසවුවල ක්‍රීඩා තරගාවලි පැවැත්වීමටත් සූදානම්

බස්නාහිර පළාත වැනි කොරෝනා වැඩි අවදානමක් සහිත පළාත් සහ දැනට කොරෝනා වසංගත රෝග තත්ත්වය පැතිරී ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය වෙයි. කොරෝනා වසංගත රෝග තත්ත්වය හමුවේ සියලු ක්‍රීඩාවල පුහුණු කටයුතු ආරම්භ කර පවත්වාගෙන යෑම හා තරගාවලි පැවැත්වීමේ හැකියාව සොයා බැලීම සම්බන්ධ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹ තිබේ.

එමෙන්ම තනි තනිව කරන ක්‍රීඩා සහ අවදානම් තත්ත්වය අඩු ක්‍රීඩා සඳහා තරගාවලි පැවැත්වීමට තීරණය කළ අතර, අනෙකුත් වැඩි අවදානමක් සහිත ක්‍රීඩා සහ ඒවායේ තරගාවලි පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මසකට පසු නැවත සමාලෝචනය කිරීමෙන් අනතුරුව තීරණයක් ගැනීමට සාකච්ඡාවේදී එකඟ වී ඇත.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍ර‍වර්ධන රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට අදාල අමාත්‍යාංශවල හා ජාතික ක්‍රීඩා කවුන්සිලයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

පසුගිය වසරකට ආසන්න කාලයක් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුව හා තරගකාරීත්වය අහිමිවී ගිය හෙයින් කොරෝනා අභියෝග මැද ඉතා ඉක්මණින් ක්‍රීඩාව නගා සිටුවීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය. කොරෝනා වසංගත තත්ත්වය යටතේ වුවද ව්‍යායාම සහ ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ කිරීමේ වැදගත්කම එහිදී සාකච්ඡාවූ අතර රට තුළ පවතින තත්ත්වය සහ ප්‍රාදේශීය වශයෙන් පවතින තත්ත්වයන් සලකා බලමින් පියවරෙන් පියවර ක්‍රීඩා කටයුතු ව්‍යාප්ත කරගැනීමට සැලසුම් සකස් කෙරුණි.

ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව හා කොරෝනා වසංගතයෙන් ආරක්ෂාකාරී වන පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුම්වත් කරමින් යළි ක්‍රීඩා කටයුතු ආරම්භ කිරීමට සාකච්ඡාවට එක් වූ සියලු පාර්ශව අවධානය යොමු කළහ.

කෙසේ වුවද සැලසුම්කර ඇති පරිදි ක්‍රීඩා කටයුතු පවත්වාගෙන යාමේ දී මව්පියන්ට, ගුරුවරුන්ට, පුහුණුකරුවන්ට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එක හා සමාන වගකීමක් ඇති බැවින් ඉදිරි දින කිහිපය තුළදී ක්‍රීඩා කටයුතු ආරක්ෂාකාරීව ආරම්භ කළ යුතු ආකාරය පිළිබඳව නිසි සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සකස් කිරීමට තීරණයවී ඇත. ක්‍රීඩා කටයුතු ආරම්භ කිරීමට සූදානම්වන සියලු පාර්ශව වෙත එය ඉතා ඉක්මනින් ලබාදීමට ද තීරණය කෙරුණි.

කොරෝනා අභියෝග ජයගෙන නව වසරේ නව ක්‍රීඩා සංස්කෘතියක් තුලින් රටේ ජාතික ආර්ථිකය නංවාලීමට ක්‍රීඩා අමාත්‍යාංශය අරමුණු කර ගෙන ඇති අතර සකස් කොට ඇති නව වැඩසටහන් දියත්කොට වඩා වේගවත්ව ක්‍රියාවට නැංවීම අපේක්ෂාව වී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මනා සම්බන්ධීකරණයෙන් ක්‍රීඩාවේ මුලාරම්භය වන පාසල කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඒවායේ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු වේගවත් කිරීම, අන්තර්ජාතික තලයට මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ මූලික අත්තිවාරමක් ලෙස ක්‍රීඩා විශ්ව විද්‍යාලය සම්පූර්ණ කිරීම, ඉතිහාසයේ මුල්වරට සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා පරිශ්‍රයේ ‘ක්‍රිකට් ක්‍රීඩා‘ ද්වි භාෂා නව ජාතික පාසල ආරම්භ කර සංවර්ධනය කිරීම ඇතුළු බලාපොරොත්තු රැසක් මේ වසරේ ක්‍රියාත්මක වනු ඇත. ක්‍රීඩා පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය, නව ක්‍රීඩා පාසල් ආරම්භ කිරීම, ක්‍රීඩා ශිෂ්‍යාධාර හා අනෙකුත් දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්වූ ඇමැති මණ්ඩල සංදේශයට මේ වනවිටත් කැබිනට් අනුමැතිය හිමිව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here