මරණයට මඟ පාදන ශෝකය!

    0
    14
    Author(s): 
    සුමේධා නවරත්න

    වර්තමානයේ අප වඩා දුක් වන්නේ නිසල වූ කයක් නිසාම ද? එක්ව වෙසෙන්නන් නිසා අපි මොන තරම් නම් ශෝකභරිත වන්නෙමු ද? ඒ නිසාම අපි මොහොතින් මොහොත මිය යමින් නොසිටින්නෙමු ද?

    අවමංගල්‍යය සමඟම ශෝකය 
    අවසාන විය යුත්තේය 
    ශෝකභරිත ජීවිතය 
    දැරිය නොහැකි දෙයකි 

    උපදේශකයා හෙවත් සිරාක් 38:19

    විටෙක බයිබලය සිත්හි ඇති කරන්නේ සැනසීමකි; තර්කයකි; විමතියකි; සාමයකි. එකිනෙකාට එය දැනෙන විදිය වෙනස් විය හැකිය. එමෙන්ම එම හැඟීම් සහ සිතිවිල්ල පොතකින් පොතකට, පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට, වගන්තියෙන් වගන්තියට වෙනස් විය හැකිය. උපදේශකයා හෙවත් සිරාක් කෘතියෙහි උක්ත වගන්තිය දෙස බලන්න. අපට හැඟෙන්නේ කුමක්ද? එකී වදන් මොන තරම් නම් යථාර්ථවාදීද?

    විලාපය

    විලාපය නම් තේමාව යටතේ උපදේශකයා අපට ජීවිතය පිළිබඳ යථාර්ථය මෙනෙහි කරන අයුරු ඔබ මේ වන විටද කියවා තිබෙන්නට පුළුවන. මරණය මොන තරම් නම් ස්වාභාවික සංසිද්ධියක්ද, අප එයට මුහුණ දිය යුතු වන්නේ කෙසේද යනාදි කරුණු පිළිබඳ බයිබලය අපූරුවට අපට කරුණු පැහැදිලි කර දෙයි. එහිදී විලාපය මොන ශෝකය සෝදා යැවීමට ඉවහල් කර ගත හැකිද යන්නත් කරුණු පෙන්වා දෙයි.

    “මාගේ පුත්‍රය, මළ අයකු සඳහා 
    කදුළු හෙළන්න 
    ඔබගේ ශෝකය ප්‍රකාශ කිරීමට 
    විලාප නගන්න”

    විලාපය සටහන ආරම්භ වන්නේ එලෙසය. ශෝකය නමැති ගණ අඳුර දුරු කරන පහනක් ලෙස විලාපය අපට දැනෙන්නේය. යමකුගේ කය නිසල වූ විට, අපි මහත් කම්පනයට පත් වන්නෙමු. විටෙක එය හදිසි නිසලවීමක් නම්, එය විශ්වාස කරන්නට අපි කාලයක් ගන්නෙමු. එය ස්ථිර කර ගන්නට වූ පසු අපි විලාප තබමු.

    මෙරට සුප්‍රසිද්ධ ගායිකාවක පුවත්පතකට දී තිබූ සාකච්ඡාවක් කියවන්නට ලැබුණේ අහම්බෙනි. ඇයගේ පුතණුවන් යුද්ධයේදී මිය ගිය අතර, එය ඇයට ආරංචි වන්නේ ඇය විදෙස්ගතව සිටි අවස්ථාවකය. ඒ වේදනාව යටපත් කරගත් ඇය, මවුබිමට පැමිණි පසුද විලාප නොනැඟුවාය. එහෙත් හදවත වේදනාවෙන් මිරිකිණි. අවසන් ප්‍රතිඵලය වූයේ ඇයගේ කටහඬ නැවතීමය. ඇයගේ උච්ඡ ස්වරය ඇයට අහිමි විය. නැවත ගී ගයන්නට උත්සාහ දැරූ විට ඇය ඊට අපොහොසත් වූවාය. අවසානයේදී ප්‍රධාන රටවල් තුනකට ඇය පියාඹා යන්නේ නැති වූ හඬ සොයා ගැනීමටය. ඇයගේ හඬ නැති වී යෑමට හේතුවක් සොයා ගැනීමට වෛද්‍ය විද්‍යාවට නොහැකි විය. කෙසේ වුවද බොහෝ කලක් ගතව ඇය ගී ගයන්නට වූවාය. එහෙත් සුපුරුදු ස්වරය ගැනීමට නොහැකි විය. එමෙන්ම පෙර මෙන් එකදිගට ගයන්නට ඇයට නොහැකි විය. ගී තුන හතරකට පසු ඇයට ගයන්නට වෙහෙසය; හඬ දුර්වල වන්නේය.

    එසේ වූයේ කෙසේද? සිය පුත්‍ර වියෝව වෙනුවෙන් ඇය සිතෙහි උපන් ශෝක ගංගාව ශබ්දයෙන් ගලා යෑමට ඇය ඉඩ නොදීමය. උපදේශකයා අපට දෙන උපදෙස බලන්න. අපගේ ශෝකය විලාපයේ උණුසුම් දිය දහරෙන් සෝදා හැරිය යුතුය.

    “මහත් ශෝකයෙන් වැලපෙන්න. 
    උද්යෝගයෙන් විලාපය කියන්න. 
    මළ තැනැත්තාට යෝග්‍ය විලාපය පවත්වන්න… 
    ඉන් පසු ඔබේ ශෝකයෙන් 
    සැනසීම ලබන්න”

    සිතෙහි නැගෙන වේදනාව නිදහසේ මුදා හරින ලෙස උපදේශකයා අපට පවසන්නේය. “මළ තැනැත්තාට යෝග්‍ය විලාපය පවත්වන්න.” මේ වදන්වල ගැඹුර ගැන සිතන්න. අප මළ තැනැත්තා ගැන විලාප තබන්නේ අවබෝධයෙන්ද යන්න ගැන අප අපවම අවදි කරන වාක්‍යයකි ඒ. ජීවත්ව සිටින කල අප ඔහුව අවබෝධ කරගත්තේද, ඔහු සමඟ ජීවිතය බෙදාගෙන ඇත්තේද යන්න සිතීමට මේ වාක්‍ය අපට රුකුල් දෙන්නේය. එසේ නොවී තිබුණ හොත්, අප ඔහු වෙනුවෙන් නගන්නේ නොගැලපෙන විලාපයකි. ඒ විලාපය එවිට අනවබෝධයේ විලාපයක් වනු ඇත. එපමණක් නොවේ; අප නගන විලාපය ඔහුට හෝ ඇයට නොගැළපෙන බව, ඔහු ගැන අවබෝධයෙන් සිටින අයකුට දැනේ නම්, ඒ අසා සිටින්නා අප ගැනද ශෝක වනු ඇත. කෙසේ වුවද, අප අපගේ ශෝකය විලාප ස්වරූපයෙන් හෝ මුදා හැරිය යුතුය. ඇතැම් විට අපට නිසල වූ දේහයක් සක්‍රීයව පෙනෙන්නට ගන්නේ එකී ස්වරූපයට පත් වූ පසු විය හැකිය. අප වෙනුවෙන් ඔහු බොහෝ දේ කළ බව මෙන්ම නොකළ බව වුවද අපට පෙනී යන්නේ ඒ නිසල ස්වරූපය අනුව විය හැකිය. කෙසේ වුවද අපේ සිත් දවන කවරකුගේ හෝ නිසල වීම වෙනුවෙන් ඇති වන ශෝකය සඟවා ගැනීම නොකළ යුතුය. එය පිටාර ගැලීමට ඉඩ දිය යුතුමය. එසේ නොවුණහොත් සිදු වන්නේ කුමක්ද යන්න වග කතුවරයා සඳහන් කරන්නේ මෙලෙසිනි.

    මන්ද ශෝකය ක්‍රමයෙන් 
    මරණයට මඟ පාදන හෙයිනි 
    දුකින් පිරුණු හෘදය 
    ඔබේ ශක්තිය හීන කරන්නේය

    මේ වගන්ති දෙස බලන්න. මේ මොන තරම් නම් සත්‍යයක්ද? වර්තමානයේ අප වඩා දුක් වන්නේ නිසල වූ කයක් නිසාම ද? එක්ව වෙසෙන්නන් නිසා අපි මොන තරම් නම් ශෝකභරිත වන්නෙමු ද? ඒ නිසාම අපි මොහොතින් මොහොත මිය යමින් නොසිටින්නෙමු ද? වර්තමානයේ පිළිකා වැනි රෝගවලින් මනුෂ්‍යා බෙහෙවින් අසරණ තත්ත්වයට පත්වෙමින් සිටින බව අමුතුවෙන් විය කිව යුතු නොවේ. පිළිකාවලට ආහාර පාන හේතුවක් බව ප්‍රධාන වශයෙන් කියැවෙයි. එහි සත්‍යතාවක් ඇති මුත්, දැඩි ශෝකය ඊට එක් ප්‍රධාන හේතුවක් බව ඔබ දන්නෙහිද? උපදේශකයාගේ මේ වැකි දෙස බලන්න. “දුකින් පිරුණු හෘදය, ඔබේ ශක්තිය හීන කරන්නේය.” මේ මොන තරම් නම් සත්‍යයක්ද? ශෝකය ශරීරයේ ප්‍රතිශක්තිකරණය හීන කරන්නේය. එවිට අප රෝගී වන්නේය. “මන්ද ශෝකය ක්‍රමයෙන් මරණයට මඟ පාදන හෙයිනි” යනුවෙන් උපදේශකයා පවසන මේ සත්‍ය දෙස බලන්න. මෙය අප වටහා ගන්නේ කෙසේද? කවදාද?

    “තැන්පත් කරනු ලැබූ පසු 
    ඔහු ගැන ස්මරණයද 
    තැන්පත් වන්නට 
    ඉඩ හරින්න 
    ඔහුගේ පණ පහ වී ගිය පසු 
    ඔහු සම්බන්ධයෙන් 
    ළත නොවන්න”

    “විලාපය” තේමාව අවසන් වන්නේ එලෙසය. මෙහිදී මගේ ජීවිත අත්දැකීමක් කෙටියෙන් ලියමි. විවාහ වූ අලුත ඉතා තරුණ බිරියකගේ සැමියා හදිසි අනතුරකින් මිය ගියේ ඇය දැඩි කම්පනයකට පත් කරමිනි. ඇය නැගූ විලාප මගේ දෙසවන් අතරින් රිංගා විත් මගේ අනාගතය ගැනද භයංකර සිහින මැව්වේය. ඒ විලාපය අතිශය තියුණු විය; සැමියාගේ මරණයට වඩා ඒ විලාපය ශෝකී වූ බව මට දැනු‍ණේ මරණයට සහභාගී වූ අය ශෝභරිතව ඇය දෙස බලා හුන් අයුරු දුටු විටය. දේහය පිටු පසින් සිහිසුන් වෙමින්, නැගිටිමින් මිනී පිටියට ආ ඇය සියල්ල අවසන් වූ පසු ටික වේලාවක් තනිව මිනීවල මත හිඳ ගෙන සිටියාය. අපි ඈතින් සිට ඇය දෙස කම්පිතව බලා සිටියෙමු. “වැඩි කලක් යන්නට නොගොස් මේ යුවතිය මිය යයි” යැයි ඇය දෙස බලා සිටි බොහෝ දෙනා කීහ. ටික වේලාවකින් ඇය විසිර ගිය කෙස් කලඹ බැඳ ගත්තාය; කදුළු පිස ගත්තාය. ඥාතින්ගේ වාරුවෙන් මිනී පිටියට ගිය ඇය, කිසිවකුගේ වාරුවකින් තොරව නිවෙසට ආවාය. මිය ගිය සැමියාගේ හදිසි අනතුර ගැන, උපකාර කළ අය ගැන කඳුළක් නොනංවා විස්තර කතා කළාය; හොඳින් ආහාර පාන ගත්තාය. ඇය වටා සිටි අයට කම්පන දෙකකි. එකක් මළගෙයි කම්පනය. අනෙක තමන් බලාපොරොත්තු වූ පරිදි ඇය දිගින්දිගට තබා එක පැය භාගයක් වේදනාවෙන් ගත නොකිරීමය. අවසානයේ මිය ගිය සැමියාට වඩා ඇය ගැන දුක් වූ බව පෙන්වූ ඥාතීහු සහ හිතවත්හු ඇය ගැන විස්මය පළ කළහ; විස්මය අවසන් කර අවමන් කරන්නට වූහ; විවිධ කයි කතාන්දර කියන්නට වූහ. ඇය විශිෂ්ට යැයි පැවසූ මමද ඔවුන්ගේ දෝෂාරෝපණයට ලක් වුණෙමි. කාලයාගේ අවෑමෙන් ඇය විවාහ වූවාය; දරුවන් ලැබුවාය. ඇයට ගැරහූ අයටද උපකාර කරමින් ජීවිතය අදටත් යහතින් ගෙවන්නීය.

    ඇයට තිබූ ඒ ශක්තිය ආදර්ශයට ගනු විනා ඇයට ගැරහීම නොකළ යුතුව තිබිණි. නමුත් ඒ ශක්තිය බලා සිටි අයට ඔරොත්තු නොදුන්නේය. එහෙත් බයිබලය අපට කියා දෙන්නේ ඒ ශක්තියයි. ඇයට වඩා හොඳින් බයිබලය කියවා තිබූ, ජීවිත අත්දැකීම් තිබූ, වයස්ගතවූවන්ට නොතිබූ ශක්තිය අපට ආදර්ශයක් නොවේද?

    බයිබලය අපට දී ඇති පණිවිඩ රාශියකි. ඒ ගැන ඉඳහිට හෝ මෙනෙහි කරන්න හෝ අපට හැකි නම්, ජීවිතය මීට වඩා පහසු වනු ඇත.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here