යුද්ධ හමුදාවේ සංවර්ධන ක්‍රියාන්විතය

    0
    14

    අඹ අක්කර 500ක් වගා කිරීමට සූදානම් කර ඇති අතර ඉන් අක්කර 250ක් මේ වන විට වගා කර අවසන්ය. ඒ අපනයනය ඉලක්ක කර ගනිමිනි. යුද හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ අවශ්‍යතා වෙනුවෙන් බිත්තර සැපයීම සඳහා බිත්තර කිකිළියන් ලක්ෂයක ව්‍යාපෘතියක් ද යුද හමුදා කෘෂි අධ්‍යක්ෂ මණ්ඩලය ක්‍රියාත්මක කරයි. එසේම මිරිස් අක්කර 100ක්, කහ බීජ ලක්ෂයක් රෝපණය කළ කහ බීජ උද්‍යානයක් ද යුද හමුදාව ක්‍රියාත්මක කරයි.

    ඔවුහු දිවා රෑ නොතකති; අව් වැසි නොතකති. රට වෙනුවෙන් ඇස් මස් ලේ දන් දෙති. දහඩිය වගුරවති. යුද බිම පමණක් නොව කම්හල, වැඩබිම මෙන්ම ගොවිබිමද ඔවුන්ට එක සේ හුරුය. රටවෙනුවෙන් අවැසි තැන අවැසි මොහොතක පෙරට ඒන්නේ ද ඔවුන්මය. කොවිඩ් සටනේදී ඔවුහු පෙරට ආහ‍. මෙරට ජනතාව නිරෝධායනය යනු කුමක්දැයි පවා නොදන්නා කාලයේ ඔවුහු දිවා රෑ නොබලා නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකළහ. මෙයින් නොනැවතුණු ඔවුහු දින කිහිපයකින් කොරෝනා වයිරසයට ප්‍රතිකාර කරන්නට රෝහල් ඉදිකළහ. කොරෝනා වයිරසය ආසාදනය වූවන් නිරෝධායනය කිරීම, ආශ්‍රිතයින් සොයා යෑම, ගම්මාන හුදෙකලා කිරීම පමණක් නොව තවත් වගකීම් රැසක් ඔවුන් තම දෙවුර මත රඳවා ගත්හ. ඒ අන් කවරෙකුත් නොව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නායකත්වය දෙන ජාතියේ මෙන්ම දේශයේ ආරක්ෂකයින් ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි.

    මේ වන විට යුද්ධ හමුදාවට තවත් වගකීම් කිහිපයක්ම සෘජුවම ජනාධිපතිතුමා පවරන ලදී. ඒ අභියෝගද සුළුපටු ඒවා නොවේ. ජනාධිපතිතුමා මේ අභියෝග යුද්ධ හමුදාවටම පවරන්නේ ඔහු හිටපු දක්ෂ කීර්තිමත් හමුදා නිලධාරියෙක් වශයෙන් හමුදාවන්ගේ කාර්යශූරත්වය හොඳින්ම හඳුනන නිසාය. 

    තුරු මිතුරු නව රටක්

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයක් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කළ තුරු මිතුරු නව රටක් ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කදවුරු තුළ හා යුද්ධ හමුදා ගොවිපළවල ආහාර භෝග වගාව වර්ධනය කිරීම සිදුකෙරේ. දැනටමත් යුද හමුදාව තුළ අක්කර 1000 කට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක වගා කටයුතු සිදුකර ඇති අතර, තුරු මිතුරු නව රටක් ව්‍යාපෘතිය යටතේ තවත් අක්කර 1000 ක පමණ බිම් ප්‍රමාණයක වී ඇතුළු ධාන්‍ය වර්ග, අල භෝග හා එළවළු වගා කිරීමට කටයුතු යොදා ඇත.

    මෙහි දෙවැනි අදියරයේ දී අඩු ආදයම් ලාභී පවුල් සඳහා පැළ, තාක්‍ෂණික දැනුම හා අනෙකුත් අවශ්‍යතා සම්පාදනය කර ඔවුන්ගේ සහභාගීත්වයෙන් ගෙවතු වගාව සිදුකිරීමට සැලසුම් කර ඇත. මෙහිදි ආරක්‍ෂක සේනා මූලස්ථාන අධික්‍ෂණය යටතේ ඒ ඒ ප්‍රදේශවල ප්‍රදේශීය ලේකම්වරුන්, ග්‍රාමනිලධාරීන් සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් මාර්ගයෙන් අඩු ආදායම් ලාභී පවුල් හදුනාගැනීම සිදුවන අතර ඔවුන් වෙත අවශ්‍ය පැළ, තාක්‍ෂණික දැනුම හා අනෙකුත් අවශ්‍යතා ලබාදීම සිදුවේ.ඒසේම ඔවුන්ට අවශ්‍යය. මුලික කෘෂිකාර්මික යෙදවුම් හා කෘෂි උපදේශනය ලබාදීමටද කටයුතු කරනු ලැබේ.

    එසේම මේ වන විට යුද්ධ හමුදා කෘෂිකර්ම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දේශීය පොල් අවශ්‍යතාවන සැපිරීම සහ අපනයනය ඉලක්ක කර ගනිමින් පොල් අක්කර 100ක් වගා කිරීමේ ව්‍යෘපෘතිය ආරම්භ කර ඇති අතර ඉන් පොල් අක්කර 250 ක් මේවන විට වගා කර අවසන්ය.

    එසේම අඹ අක්කර 500ක් වගා කිරීමට සූදානම් කර ඇති අතර ඉන් අක්කර 250ක් මේවන විට වගා කර අවසන්ය. ඒ අපනයනය ඉලක්ක කර ගනිමිනි. යුද හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ අවශ්‍යතාවන් වෙනුවෙන් බිත්තර සැපයීම වෙනුවෙන් බිත්තර කිකිළියන් ලක්ෂයක ව්‍යාපෘතියක්ද යුද හමුදා කෘෂි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරයි. එසේම මිරිස් අක්කර 100ක්, කහ බීජ ලක්ෂයක් රෝපණය කළ කහ බීජ උද්‍යානයක්ද යුද හමුදාව විසින් ක්‍රියාත්මකකරයි.

    යුද්ධ හමුදා ගොවිපළ

    මිරිස් අක්කර 200 ව්‍යාපෘතියේ මූලික කටයුතු මෙවන විට ආරම්භ කර ඇති අතර ඒ වෙනුවෙන් රජයෙන් රුපියල් ලක්ෂ 700ක මුදලක් ලබා දීමට නියමිතව ඇත. ඒ අනුව කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපළ ආශ්‍රිතව අක්කර 100ක්, මැණික් ෆාම් සහ ආඩියාපුලියන්කුලම ආශ්‍රිතවට අක්කර 50 බැඟින් තවත් අක්කර 100ක්ද මිරිස් වගාව වෙනුවෙන් යොදාගැනිමට නියමිතය. 

    දේශිය බීජ කහ අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් රුපියල් මිලියන 4 ක් වටිනා කහ පැළ 100,000 ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. ව්‍යාපෘතියේ දෙවන අදියර වශයෙන් බලල්ල පිහිටි යුද්ධ හමුදා ගොවිපළේදීත් තෙවන අදියර රඹකැන්ඔය ප්‍රදේශයෙදීත් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

    5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකාය අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඒකාබද්ධව අම්බලන්ගොඩ කොහිලවගුරවත්ත ගොවිපොළ ආශ්‍රිතව බීජ කහ වගා කිරීමේ ව්‍යාපෘතියේ මූලික අදියර ඔක්තෝබර් 02 දින ආරම්භ කළ අතර, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා කිරීම සිදුකෙරේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ යෝජනාවක් සහ සංකල්පයක් අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය සමඟ එක්ව නගරයේ රථවාහන තදබදය අවම කිරීමට පියවර ගත්තේය. ඒ අනුව නව පියවරක් වශයෙන් කොළඹ නගරයට රථවාහන පිවිසෙන / පිටවෙන ස්ථානවලට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සාමාජිකයින් යෙදවීමට යුද්ධ හමුදාව පෙරමුණ ගත්හ. දිවයින පුරා මෙතෙක් සිදු වූ විශාලතම වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සාමාන්‍ය ජනතාව සමඟ අත්වැල් බැඳගනිමින් ආරම්භ කරනු ලැබුවේද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවය. එසේම ස්වාභාවික ආපදා අවස්ථාවකදී පෙරට එන්නේද යුද්ධ හමුදාවයි.

    ඒ අනුව අතිගරු ජනාධිපතිතුමන් පසුගිය දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ සංචාරයන් අතරතුර නිරීක්‍ෂණය වූ විවිධ දුෂ්කරතා සහිත පාසල්වලට දැඩිව දැනී ඇති අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරිමේ භාරදූර කටයුත්තද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භාර දී දැනට නොබෝ දිනක් ගත වී ඇත.

    ඒ අනුව 12 කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් සහ 12 වන ඉංජිනේරු සේවා බළකායේ භටපිරිස් විසින් දැරණියගල සිරි සමන් ජාතික විද්‍යාල ක්‍රීඩාපිටියත් සහ 12 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් සහ තුන්වන ජාතික ආරක්ෂක බලමුණ භටපිරිස් විසින් මිද්දෙණිය කනිෂ්ඨ විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලය පිළිසකර කිරිමේ වැඩකටයුතු සිදු කර සම්පූර්ණයෙන් නිම කර ඇත.

    ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය

    එසේම යුද්ධ හමුදාපතිතුමාගේ උපදෙස් මත 18 ගැමුණු හේවා බලකාය සහ 10 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් මොනරාගල ප්‍රදේශයේ පිහිටා ඇති මඩුල්ල මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාපිටිය නවීකරණය කිරිමේ කටයුතු ආරම්භ කර ඇත. ඊට අමතරව, 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ 11 වන කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හඟුරන්කෙත පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය, ක්‍රීඩාගාරය නවීකරණය සහ ගුවන් පාලමක් ඉදිකිරීමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇත.

    එසේම කුලියාපිටිය දුම්මලසූරිය ජේ.ආර්. ජයවර්ධන මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය හා ක්‍රීඩාගාරයේ අලුත්වැඩියා කිරිමේ කටයුතු 11 වැනි කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් සිදුකරමින් පවති. 

    එසේම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ යුද්ධ හමුදා සාමාජිකයන්, 9 වැනි සිංහ රෙජිමේන්තු සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තු සාමාජිකයන් විසින් තණමල්විල ජාතික පාසල් ක්‍රීඩා පිටියට පිවිසෙන මාර්ගය, රැස්වීම් භූමිය සැකසීම සහ ශ්‍රවණාගාරය අලුත්වැඩියා කිරීමේ කටයුතු වල නිරතවී සිටි. මීට අමතරව මහියංගණ ජාතික පාසලේ ක්‍රීඩාපිටිය නවිකරණය කිරීම ද මේවන විට සිදුකරමින් පවතී.

    මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය තවත් පුළුල් කරමින් අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සෘජු අධීක්ෂණ්ය මත යුද්ධ හමුදා භටපිරිස් විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල අබලන්ව ඇති මාර්ග ප්‍රතිසංස්කරණ කිරිමේ කටයුතු ද ආරම්භ කර තිබේ.

    ජාතිය ගොඩනැඟීමේ වැඩ සටහන් යටතේ වැඩසිටිකන්ද පන්සල වැව ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම මේවන විට අතහැර දමා තිබෙන තණමල්විල දෙමටපඳුරුවැව පිළිසකර කර වැව්බැම්ම සකස්කිරීමේ කටයුත්ත 15 වැනි කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ආරම්භ කර ඇත. මීට අමතරව තවත් වැව් දෙකක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය. ඒ දකුණු පළාත් වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේය.

    ඒ අනුව, 5 වන කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් කොළවෙනිගම – ලංකාගම මාර්ගය පිළිසකර කිරිම ආරම්භ කර මාර්ගය දෙපස බැම්ම කපා පුළුල් කිරිමේ කටයුතුවල නිරත වෙමින් සිටි.

    11 වන කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් රත්නපුර අයගම – කලවාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමින් මාර්ගය දෙපස භූමිය යන්ත්‍ර සුත්‍ර යොදා ගනිමින් පිළිසකර කිරිමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවති. ඒ හා සමගාමීව, 12 වන කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් ගාල්ල, නෙළුව – ලංකාගම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරඇත‍.

    එසේම පල්ලෙගොඩ 5 කණුව මාර්ගය අසල පල්ලිය සිය පල්ලෙගොඩ දෙසට ඇති මාර්ගය, තුන්දොළ කර්මාන්ත ශාලාව අසල සිට උහන්ඕවිට දක්වා මාර්ගය, බටහේන මිල්ලගහවිල මාර්ගය, කොස්ගහදෙණිය මාර්ගයේ සිට පල්ලෙගොඩ නොළුම් උයන මාර්ගය මෙන්ම දෙහිගස්මුල්ල සිට හැළඹ දක්වා මාර්ගයත් ජාතිය ගොඩනැඟීමේ කාර්යය සේනාංකය මේ වන විටත් ආරම්භ කර ඇත. 

    එපමණක්ද නොව පසුගිය දෙසැම්බරයේ නේපාලයේ දී පැවති දකුණූ ආසියානු ක්‍රීඩා තරඟාවලියේ ශ්‍රී ලංකාව රන්පදක්කම් 40 ක්, රිදී පදක්කම් 83ක් සහ ලෝකඩ පදක්කම් 128 ක් සමඟින් පදක්කම් 251 ක් ලබා පදක්කම් සටහනේ තෙවැනි තැන ලබා ගත් අවස්ථාවේ මලළ ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකාව ලබාගත් පදක්කම් 15න් 14ක්ම දිනා ගන්නේ යුදහමුදා ක්‍රීඩකයින්ය. සමස්ත පදක්කම් සටහන ගත්විට ශ්‍රී ලංකාව දිනාගත් රන්පදක්කම් 40 න් 19 ක්, රිදි පදක්කම් 83න් 29ක්, ලෝකඩ පදක්කම් 128න් 37ක් දිනා ගන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රීඩකයින්ය. ඒ අනුව සමස්ත පදක්කම් 251 න් 85ක්ම දිනා ගන්නේ යුදහමුදා ක්‍රීඩකයින්ය.

    ඩ්‍රෝන රෙජිමේන්තුව

    මේ සියලු කටයුතු රට වෙනුවෙන් සිදුකරමින් සිටින අතර තුර යුද්ධ හමුදාවට තවත් සුවිශේෂි දිනයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පළමු ඩ්‍රෝන රෙජිමේන්තුව පිහිටුවීම පසුගිය 12 වැනිදා යුද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් සිදු කෙරුණි. ඒ බත්තරමුල්ල යුද්ධ හමුදා මූලස්ථානයේදීයි.

    නවීනතම ඩ්‍රෝන යානාවලින් සමන්විත මෙම රෙජිමේන්තුව ඉදිරි කාලයේ දී ඇතිවිය හැකි ආපදා සහ ව්‍යසන තත්ත්වවලදී යුද්ධ හමුදාවේ කටයුතු පහසු කරගැනීම වෙනුවෙන් සිය මෙහෙවර ඉටු කිරීමට නියමිතය. 

    මෙහෙයුම් මට්ටමේ සුපරීක්‍ෂණය, නිරවද්‍ය ඉලක්ක ලබාගැනීම සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත ඩ්‍රෝන රෙජිමේන්තුවක් හඳුන්වා දීමට තීරණය වූයේ මේවන විට යුද්ධ හමුදාවේ ක්‍රියාත්මක 2020-2025 උපායමාර්ගික සැලැස්මට අනුකූලවය. මෙම නව රෙජිමේන්තුව නවීන තාක්ෂණයෙන් සන්නද්ධ අධි තාක්‍ෂණික කැමරා සක්‍රීය ඩ්‍රෝන, කෙටි හා මධ්‍යම දුර යූඒවී යානාවලින් සමන්විතය.

    මේ සියල්ල ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඉටු කරනු ලබන්නේ ජාතියේ ආරක්ෂකයා වශයෙන් ජාතිය වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් ඉටුකිරීම වෙනුවෙනි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සෘජු අධීක්ෂණය යටතේ මේ සියලු කටයුතු සිදුකරද්දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තමන්ගේ ප්‍රාථමික රාජකාරිය වන දේශය ආරක්ෂා කරමින් මව්බිමේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමේ වගකිමද නොපිරිහෙළා ඉටු කරන බව අවිවාදයෙන්ම සිහිපත් කළ යුතුය.‍

    අපේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් දිවි දෙවැනි නොකොට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා යුධ හමුදාව මෙරටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට කෘෂිකර්මාන්තයට පණ දෙන්නේ අභිමානවත් ජාතියක් නඟා සිටුවීමටය. තවද දුෂ්කර ගම්මානවල පාසල්, මංමාවත් ඉඳිකරමින් ගෙන යන යෝධ සංවර්ධන ක්‍රියාවලියේ දැවැන්ත ශක්තිය වී ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව බව මේ මොහොතේ සිහිපත් කරනුයේ දැඩි අභිමානයෙනි.

    දිලංක ගුණ­ති­ලක

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here