රග්බි තේරීම් කමිටුව අලුත් වෙයි

0
19
Author(s): 
ෆවුස් මොහොමඩ්

ජාතික රග්බි තේරීම් කමිටුවේ සභාපති ලෙස අශෝක ජයසේන මහතා පත් කර ඇත. සාමාජිකයන් 5 දෙනකුගෙන් සමන්විත ජාතික රග්බි කමිටුවට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව පත් වූ නව තේරීම් කමිටුවට රොහාන් අබේකෝන්, ලෙස්ලි ද සිල්වා, කපිල ශ්‍රී නෝටන් සහ හේමන්ත යටවර මහත්වරු ඇතුළත් වෙති.

ආනන්ද විදුහලෙන් බිහි වූ විශිෂ්ට ක්‍රීඩකයකු වන අශෝක ජයසේන මහතා එම විදුහලෙන් ජාතික රග්බි කණ්ඩායමට එක් වූ පළමු ක්‍රීඩකයා ද වේ. ඔහු මුල් කාලීනව පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ අතර, පසුව මහනුවර ක්‍රීඩා සමාජයට එක් විය. වසර 1989 සිට 2002 දක්වා කාලය තුළ ජාතික කණ්ඩායමේ ප්‍රබල දෙවැනි පෙළ ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කළ ජයසේන මහතා 1998 සිට 2001 දක්වා ජාතික 15 සාමාජික රග්බි පිලේ නායකත්වය දැරුවේය. වසර 2000 දී ජපානයේ පැවැති ඒෂියාඩ් රග්බි ශූරතාවලියට එක් වූ ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙසත් ඔහු කටයුතු කළේය.

මෙවර රග්බි තේරීම් කමිටුවට ඇතුළත්ව සිටින රොහාන් අබේකොන් මහතා මීට පෙර අවස්ථා කිහිපයදීම ජාතික රග්බි තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර, සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරග බිමේ දස්කම් පෑවේය. තේරීම් කමිටුවට ඇතුළත්ව සිටින ලෙස්ලි ද සිල්වා සහ හේමන්ත යටවර මහත්වරු ද පොලිස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ප්‍රබල ක්‍රීඩකයෝ වෙති. නව තේරීම් කමිටුවේ තවත් සාමාජිකයකු වන කපිල ශ්‍රී නෝටන් මහතා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here