රජ බිසව හා සබැඳි රාජ රහස

    0
    12

     

    සිංහල රජ සිරිත හා බැඳී ගෙතී තිබූ අති රහස්‍ය රහස වූයේ රජ බිසව හා සබැඳි රාජ රහස්ය. රජ කිරුළ දරන පුරුෂ කුමරු සැම විට උභය කුල පාරිශුද්ධ රාජ කුමරියක් සරණ පවා ගැනීමම රජ සිරිත පූර්ණ කිරීමේ චිරාගත විනය නියමය ය. රජ තෙමේ රජ කිරුළ ද, මඟුල් කඩුව ද, මඟුල් ඇතු ද, මංගල බිසව ද, පේරැස් මුද්ද ද,රාජ කකුධයන් ද, ජය කොන්තය ද, රන් පන්හිඳ ද, රාජ අසුන ද, හිමි කර ගත යුත්තේ පාරිශුද්ධවය ය. මේ කිසිවක් කිළිටි වු වස්තූන් නොවිය යුතු ය.

    මේ රාජ මංගල වස්තූන් අතර ජීව මංගල වස්තූන් වන්නේ දෙකකි. එනම් මංගල බිසව සහ මඟුල් ඇතු ය. පාරිශුද්ධත්වය උපරිමයෙන් අනූන විය යුත්තේ ද මංගල බිසව සහ මඟුල් ඇතු අරබයා ය. එහිදී රාජ උරුම කුමරුට හෝ කුමරියට උපත දෙන මව් කුස වන බැවින් මංගල බිසව වු කලී සතර උභය කුල පාරිශුද්ධ විය යුත්තේ ය. එමෙන්ම ඇගේ කුමරි බඹසර රාජ වෙදාණන් විසින් සෛද්ධාන්තිකව සනාථ කර ‘’මිණි මෙවුල් දම’’ පළඳවා සහතික කර තිබිය යුතු ය.

    සිංහල මංගල බිසව සමඟ තවත් රහස් භාණ්ඩයක් සිංහල රජ සිරිතින් බිහිව ඇත්තේ එ‍ෙලසිනි. එබැවින් ‘’මිණිමෙවුල් දම‘’ හෙවත් ‘’මිණි මෙවුල‘’ දෙස ඉතිහාස පිය සටහන් සොයා බලන්නට සිත් දුනි. සිංහල රාජ බිසවගේ කුමරි බඹසර සමඟ බැඳී මෙකී අතිරහස සිංහල රාජ සිරිත විෂයෙහි ගූඨම රහස් වන්නේ ය. මංගල බිසවගේ කුමරි බඹසර පරික්ෂා කර සනාථ කළ යුතු ය. නමුත් එයට මත්තේ රාජ වෙදතුමාණන් එය පරික්ෂා කළේ කෙසේද යන්න විමසා බැලිය යුතු ය.

    ඒ පිණිස ඉතිහාසයට වැද දිගු ගමනක් පිය මැන යන්නට වූවෙමි. එකල්හි රාජ කුමරියගේ බඹසර සිරිත් හා බැඳී වෙලී ගිය අතීත රසමුසු රස ගුලා කතාලතා නෙත ගැටී සිත අසිරිමත් සිහින අතර සැරිසරන්නට විය. මේ කුමරි බඹසර සැරිසරනිය සමඟ සිත වැදී තිබූ විමංසා තතු නිමිත්ත වුයේ ‘’මිණි මෙවුල් දම‘’ හෙවත් ‘’මිණි මෙවුල‘’ වටහා ගැනීම ය.

    මිණි මෙවුල් දම රාජකීය වෙද උතුමාණන් විසින් උභය කුල පාරිශුද්ධ මංගල බිසව් කුමරිය වෙත පැළඳීම මහත් රාජකීය රහස් උත්සවයකි. මිණි මෙවුල පැළඳීම සඳහා පැවති එම රාජකීය උත්සවය රාජ කුල ස්ත්‍රීන්ට පමණක් සීමා වු අතර, එයට එක් වන එකම පූරුෂයා වූයේ වෙදාණන් පමණි. රජ දූ කුමරියගේ පියතුමාණන්ට පවා එකී මිණි මෙවුල් දම කුමර බඹසරයට ආරෝපිත කරන මංගල්‍යය තහනම් වේ. ඒත් අපූරුව සිංහල රාජ ස්ත්‍රියගේ පාරිශුද්ධ රාජ සිරිත සඳහා කිසිවිටක ස්ත්‍රී ‍ෙවෙද්‍යවරියක් භාවිත නොවීමේ පුදුම සිරිතය. ඒ ස්ත්‍රීවාදීත්වය නිසා ස්ත්‍රී වෛද්‍යවරියන් රාජ දූ කුමරියන්ගේ කුමරි බඹසර පිළිබඳ සැබෑව වසන් කරනු ඇතැයි වු අනුමානය නිසා වුවා ද, නොවේනම් සිංහල වෛද්‍ය සිද්ධාන්ත හෝ නැකැත් නියාම අනුව පේ වීමක් වූවාදැ යි නුතන අපි නොදනිමු.

    කෙසේ හෝ නමුත් ‘’මිණි මෙවුල් මංගල්‍යය’’ රහස් ඔසු සමූහයක් ද, රහස් පානයක් හා රහස් අවුළුපත් වලින් ද සුසැදී අමුතු මංගල්‍යයකි. සිංහල රාජ කුමරුට තම අභිනව බිසව මංගල බිසව ලෙස අභිෂේක කර ගැනීමට නිමිත්ත ලැබෙන්නේ මිණි මෙවුල් මංගල්‍යයට පසුවය.

    ‘’මිණි මෙවුල් දම‘’ ගැන රසාලිප්ත ගී කවිය හමුවන්නේ කව්සිළුමිණෙහි ය. එහි මෙසේ වේ.

    දවන රිසි තමා – පබවත දස්නට කලක්

    පුළුලූකුළෙහි දිමුත් හර – මිණි මෙවුලේ කැසැ රැඳැ වූ

    රාජ කුමරියගේ මේ රාජකීය රහස් ආභරණය රනින් නිමවන්නකි. රාජ කුමරියගේ රහසඟයට පළඳවන මිණි මෙවුල මධුර නාදයකින් හෙබි වූවකී. එනම් කුමරියගේ අගපසඟ යම් පුරුෂයකුට අත්පත් වන කල මිණි මෙවුල නාද දෙන ලෙස තැනූවකි. මෙකී රාජාභරණය කුමරියගේ ස්ත්‍රී නිමිත්ත සමඟ පළඳන ආකාරය නූතන අපට වටහා ගැන්මට තතු ඇද්දැයි විමසන්න වීමි.

    කව්සිළුමිණ පබවත කුමරියගේ මිණි මෙවුල අරබයා ගොතා බැඳ ඇති පද ඇසුරෙන් වැටහෙන්නේ එය ඈ උකුලෙහි රඳවා යෝනි රහසඟ හා බැඳී තිබූ සේයාවකි.

    එමෙන්ම මිණි මෙවුල්දම හෙවත් මිණි මෙවුල කුමරියගේ වස්ත්‍රයට යටින් පළඳින්නට ඇති බව පැහැදිළිය. එනමුත් ‘මිණි මෙවුල් මංගල්‍යය’ පැවැත්වු කල රාජ බිසව් අපේක්ෂක කුමරියගේ වස්ත්‍රය උඩින්ද මිණි මෙවුලක් පළඳවා තිබු බෑව් අතීත තතු විත්ති අතර වේ. ඒ ඇය වඩාත් සූරක්ෂිත කිරීම පිරිස සමාජ සලකුණක් ලෙස වන්නට ඇත. මේ අනුව රාජ කුමරිය මංගල බිසව් වී මංගල සිරි යහනෙහි සැතපෙන්නීය.

    එවිට රාජ කුමරු සිරි යහනට සැපත් වන කල රාජ කුමරිය සියලු වස්ත්‍ර උනා දමා මිණි මෙවුල් දමින් පමණක් සැරසී සිටින්නීය. රාජ කුමරු ස්වකීය මංගල කුමරියගේ සිරුර නිරුවත් කරන්නේ මිණි මෙවුල ඉවත් කර දැමීමෙනි. රාජ කුමරුද රාජ කුමරිය ද සම්භෝග රතී සුව පහන් කළ පසු රාජ කුමර තෙමේ ඇය නහවා සුවඳ පැන් ගල්වන්නේ ය.

    පසුව මිණි මෙවුල ‘’මකරන්ද තෛලය’’ ගල්වා නැවත තම මංගල බිසවගේ රහසඟ පැළඳවීම රාජ රාග සිරිතය. එතැන් පටන් රජ තෙමේ ද, රාජ බිසව්ගේ ද රාග සිරිත බැඳී පවතින්නේ මෙ‍ෙලස ය. රාජ බිසව තම ස්වාමියා නැති කල්හි සැම විට මිණි මෙවුල පළඳවා තම රහසඟ සරසා තබා ගත යුතුය. එලෙසම මිණි මෙවුලින් රහසඟ සරසා නොතැබූ බිසව් නිසාවෙන් ලක් රාජ සිහසුන මහත් වියවුලට බඳුන් වූ අවස්ථාව ද වේ. එවන් කැත කතුන් නිසා සිංහල රජ සිරිත දූෂිතව වනචර වූ අතීතයක් ද ඇත්තේය.

    සිංහල ඉතිහාසඥයන් මිණි මෙවුල අරබයා එළිපිට කතිකාවතකට රිසි නොවේ. මෙතරම් විවෘත ලෞකික සිරිතකින් සෝබමාන ජාතික සංස්කෘතිය ද එයට බැඳී ඇති රාග සිරිත් සමුදායක ගෞරවණීය උරුමකරුවන් මෙලෙස නිහඬ වීම ද පළ කරන්නේ මවිතයකි.

    මිණි මෙවුල ද උභය රාජ කුමරිය ද බඹසර සිරිත ද රාජ කුමරුගේ රාග සිරිත ද පිළිබඳ විමසා බැලීමකට අතීතවාදීන් බිය වී ඇති සේයාවක් ද පෙනේ. සිංහල පොළෝ ගැබ කැණ බොහෝ අතීත ආභරණය සොයා ගත් පුරාවිද්‍යාඥයන්ට මිණි මෙවුල් දමක් හමු නොවී ඇත්තේ මන්ද? විජය රජතුමාණන්ගේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා දක්වා අපට රාජ සිරිත් එකසිය අනූ හයදෙනෙක් වෙති. ඉන් අනුලා රැජිණ, සීවලී රැජිණ, ලීලාවතී රැජිණ, අත්හල විට පුරුෂ රජුන් එකසිය අනු තුනකි. එනම් ලක් රාජ ඉතිහාසයේ මිණි මෙවුල් මංගල්‍යයන් එකසිය අනූ තුනක් සිදු වී තිබිය යුත්තේ ය.

    ඒ අනුව සිංහල රජ කුමරියන් එකසිය අනූ තිදෙනෙක් පැළඳි මිණි මෙවුල් ලක් පොළෝ තලේ කොහි හෝ තිබිය යුතු ය. රජු ද, බිසව ද, ඒ හා බැඳුනු රාජ වෙදාණන් ද, මෙම සරාග ආභරණය තැනූ ශිල්පියා ද, නිර්මාපකයන් ද, ඉතිහාසයෙන් නැගිටුවා ගත හැක්කේ එවිට ය. එබැවින් රජු ද බිසව ද රාජ වෙදාණන් ද, රාජ ශිල්පියා ද, රාජ නිර්මාණවේදියා ද සුරක්ෂිත කළ මේ රාජකීය රහස් ආභරණය රන් ලෝහයෙන් තැනූ නීල මුතුහරයක් සහිත වුවකි.

    මේ සියලු මිණි මෙවුල් දම් සතුරු බල මුළු සොරා ගත්තා විය නොහැක. එබැවින් ඉතිහාස පොළෝ ගැබට වැද සොයා ගත යුතු අනගි රහස් ආභරණය මෙය ය.

    මිණි මෙවුල් දම පිළිබඳ මෙම චිරාගත චාරිත්‍රය වෙනත් මානයකින් හමුවන අවස්ථාවන්ද වේ. ඒ පණ්ඩුකාභය රජ දවසට පෙර පැවති චාරිත්‍රයක් සමඟය. එම චාරිත්‍රය පණ්ඩුකාභය රජුගේ ග්‍රාම රාජ්‍ය දේශපාලන දර්ශනයේද පිළිගෙන ඇත. එනම් ”මුණ්ඩ මාණික්‍ය” පැළැන්ඳීමය. ඒ අනුව පෙ‍ෙනනුයේ උත්තර භාරතීය සංකල්පය ලෙස රනින් කල මිණි මෙවුල භාවිතාවට එන්නට මත්තෙන් මාණික්‍යයෙන් කළ ආභරණයක් රාජකීය බිසවුන්ගේ ස්ත්‍රී නිමිත්ත සුරක්ෂා කළ බවය. මෙහිදී විශේෂයෙන්ම මතුව පෙනෙන කරුණකී. ඒ රකුස් ලියන් දේව ලියන් හා යක්ෂ ලියන් ලෙස අතීත ජන වංශ මෙම කරුණට බැඳී තබා ගත් වාරිත්‍ර හා සිරිත්ය. ලක්දිව ජන වංශ අතර ස්ත්‍රී වංශ නාම කිහිපයක් හමු වේ. ඒ පයෝධරියන්, කලස් වංශිකයන් සහ ඒක පයෝධරියන් සහ නීල පයෝධරියන් හා රන්වන් පයෝධරියන් ලෙසය. සීගිරි කාශ්‍යප කුමරු විසින් තම ජාතික චින්තාව බිහි කර ගැනීමේදී මෙම වංශ පදනම් තබා ගත්තේය. ඒ අනුව මෙම අතීතම ස්ත්‍රී වංශ, තම යෝනිමය අනුහාසාත්මක වටිනාකම් තීව්‍ර කර ගැනීමට මුණ්ඩ මාණික්‍ය භාවිත කොට ඇත. රක්ත මාණික්‍ය, නීල මාණික්‍ය සහ දඹ මාණික්‍ය මුණ්ඩ මාණික්‍ය නිර්මාණයට භාවිත කර ඇත. මුණ්ඩ මාණික්‍ය පැළඳීමේ චාරිත්‍රවත් ප්‍රතික්ෂේප වීම සැබවින්ම ලංකාවේ දේශපාලන බල අරගලය පසුපස ඇති ඇත්ත කතාවකි.

    කුවණ්ණා බිසව රාජ්‍යයෙන් පිටමං වී මධුරා බිසව අනුයුක්ත වීම මෙම කතාවේ ආරම්භය ය. මුණ්ඩ මාණික්‍ය පිළිබඳ විත්ති සහ ජන අන්දර මිසක ලිඛිත අන්දර ශේෂ වී නැත. මුණ්ඩ මාණික්‍ය පැළඳි අවසන් බිසව ලෙස වාර්තා වනුයේ මුටසීව රජතුමාගේ මල්මද බිසවය. ඒ අනුව මිණිමෙවුල් දම අග බිසවගේ යෝනි සැරසිල්ල වන විට මුණ්ඩ මාණික්‍ය මල්මද බිසවගේ නිමිති අනුහාසාත්මක අලංකාරය වී ඇත.

    කෙසේ නමුත් මුටසීව රජතුමාගේ දෙටු පුත්‍රයා වූ ශේෂ පබ්බත කුමරුට තම පියාගේ කිරුළ හිමි වී නැත. ඒ වෙනුවට ඔහුගේ බාල සොයුරු තිස්ස කුමරු රජ වන්නේය. ඒ දේවානම්පියතිස්ස රජුය. මල්ලී රජ වීමත් සමඟ ශේෂ පබ්බත කුමරු රාජ්‍ය ක්‍රමය අතහැර හුදී ජන කුමරෙකු ලෙස සාමාජීය වේ. ජන අන්දර ඔහු නම් කරනුයේ ”තනේගල කුමරු” ලෙසය. රජකම අතහැර දැමූ සාලිය කුමරුට හිමි වූ ජනප්‍රිය ඉතිහාස ඉඩ තනේගල කුමරුට හිමිවී නැත. මේ නිහඬ බව කුමක්ද ? වෙන කිසිවක් නොව මුණ්ඩ මාණික්‍ය බිසව් සහ මිණි මෙවුල් බිසව් අතර අරගලය. නොවේ නම් මල්මද බිසව් සහ අග බිසවුන් අතර රාග ඊර්ෂ්‍යාවේ පටලැවිල්ලය. ඒ පටලැවිල්ල ඉතිහාසය තුළද පටලැවී ඇත. මිණි මෙවුල් දම සොයන විට මුණ්ඩ මාණික්‍ය ඉතිහාස රහස් දොරින් පැන එන්නේ එබැවිනි.

    සීගිරි කාශ්‍යප රජුගේ දියණියන් දෙදෙනා මුණ්ඩ මාණික්‍යය පැළැඳි රාජ කුමරියන් ලෙස හඳුනාගත හැකි අන්තිමයන්ය. මුගලන් කුමරු සීගිරි රාජ්‍ය උදුරා ගත් සැණින් කාශ්‍යප දියණියන් දෙදෙනා වූ උපුලී සහ බෝධී අතුරුදහන් වී ඇත.

    ඉතිහාසය ඒ ගැන තවමත් නිහඬය. ඉතිහාස පතුලම සොයන කවුරුත් මෙම ශ්‍රේෂ්ඨ නරවර දියණියන් ගැන සිතා බලාවත් නැත. ඉතින් මිණිමෙවුල් විසින් මුණ්ඩ මාණික්‍ය අභිභවන දේශපාලන අරගලය මෙතරම් ගැඹුරුය. සැබැවින්ම කාශ්‍යප මුගලන් ගැටුම නිර්මාණය වන්නේද මෙම පාදම භූමියේය. එනම් භින්න මාතික සමාන මාතික ලෙස ගාම්භීර වදනකින් ඉතිහාසකරුවා වර්ගීකරණය කරන බිසව් දෙවර්ගය මෙයය. එනම් භින්න මාතිකාවන් මුණ්ඩ මාණික්‍යන්ය. සමාන මාතිකා මිණිමෙවුල්දම්ය. කාශ්‍යපගේ මව කලස් දේවියද මුගලන් මව් ශ්වේත දේවියද මෙම රාග පටලැවිල්ලේ ඓතිහාසික ප්‍රකාශනය ය. එය හැඩී වැඩී එකට සිටි කුමරුන් දෙදෙනා භේද ගැනීමේ ආගමික අන්තවාද දක්වා ප්‍රසාරණය වනුයේ පසුවය. ඒ පසු යුගය විසින් මුණ්ඩ මාණික්‍යය ලක් වංශ කතාවෙන් අතුගා දමා ඇත. මිණිමෙවුල්දම යට සහ මුණ්ඩ මණික්‍ය යට ලියැවී සුරැකී ඇත්තේ ස්ත්‍රීත්වයේ කතාව පමණක් නොවේ. එය ලක්දිව සැබෑ ජන ආධ්‍යාත්මයේ පතුල දැකිය හැකි අමුතු කැඩපතය. ඒ ගැන මතු කතා බහකට සිත යොමු කොට යළි මිණි මෙවුල් දම වෙත කතාව යොමු කරනු රිසිය.

    මිණි මෙවුල ලක් රාජ වංශයේ ස්ත්‍රී කතාව ද අවදි කරන අපූරු නිමිත්තය. එමෙන්ම සිංහල වෙද ශාස්ත්‍රයේ ස්ත්‍රී වෙද රහස් හෙළි කරන තෝතැන්න ය. එලෙසම සිංහල නැකැත් කලාවේ නැකැත් රහස් සොයා යෑමට උපතය. එබැවින් මිණි මෙවුල නොපමාව පරික්ෂාවට බඳුන්විය යුත්තේ යැයි සිතමි.

    මිණි මෙවුල පිළිබඳ රහස ක්‍රි.ව. 1919 දක්වා ශේෂව ඇත්තේ ය. මෙරට සුවිශේෂී ප්‍රභූ කුමරියකට මිණි මෙවුල පැළැන්දූ මිණි මෙවුල් මංගල්‍යයක් එම වසරේ දී සිදු වී ඇති බැවින්, ලක් රාජ රහස් ගොනුවේ ඇති මේ රාජ රහස සපුරා වටහා සොයා පාදා ගැනීම අසීරු ද නොවේ.

    මේ දක්වා විද්‍යමාන වන වෛද්‍ය ග්‍රන්ථ ගණනාවක මිණි මෙවුල් දමට අදාළ වෙද සිරිත ද ලිය වී ඇත. ක්‍රි.ව. 1919 දී මෙරට සිදු වී ඇති මිණි මෙවුල් මංගල්‍යයට සම්බන්ධ අසිරිමත් වු සිදු වීමකි. එනම් එකී රාජකීය සිරිත පණ ගැන්වීමට සිංහල භික්ෂුන් වහන්සේ නමක් දී ඇති දායකත්වය ය. මිණි මෙවුල හා බැඳුණු වෙද සිද්ධාන්ත පරපුරෙන් පරපුර හිමිව අවසානයේ හිමිව තිබී ඇත්තේ මෙකී වෙද පඬිවර හිමිපාණන්ට ය. උන්වහන්සේ ක්‍රි.පූ. 547 දී ඇරඹි මිණිමෙවුල් මංගල්‍යය නොනැසී රැක ගැනීම උදෙසා ක්‍රි.ව. 1919 දී එක්ව ඇත්තේ සිය සිවුර හැර දමාය. උන්වහන්සේගේ වෙද පොත අදත් සුරැකිව ඇත්තේය. එනමුත් ශාස්ත්‍ර වංචනිකයන් ගැවසී ගත් රටක ශාස්ත්‍ර නිදහසක් අහිමි සමාජයක මේ අනගි දැනුමට කුමක් වේදැයි සිතුන කල හද කම්පා වේ. අන් අතකින් සරාගය පහන් සුව සාධන විචිත්‍ර ශික්ෂීත සිරිත් විසිතුරක් කළ ජාතික උරුමයක නූතනයන් කුමරි බඹසර බිඳ වනචරයන් වී ඇති කළ මිණි මෙවුල් මංගල්‍යය ගැන කෙසේ වටහා දෙන්න ද? ‘’මිණි මෙවුල් දම’’ ලක් බිමින් උස් මුදුනක ශාස්ත්‍ර කතා බහේ කේන්ද්‍රීය නිමිත්ත විය යුත්තේ එබැවිණි.

    සුජිත් අක්කරවත්ත

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here