සංජීවනී සමඟ සංවේදී පැයක්

0
37
ජනවාරි 7, 2021

‘සංජීවනි සමඟ සංවේදී පැයක්‘ අපි අහගෙන හිටියා. මේ පැය සංවේදීම තමයි. ඒ සංවේදි කම කොයි තරම්ද කියනවා නම් පැය ගතවුණේ විනාඩි ගනණකින් කියලයි හිතුණේ. සමහරු තමන්ගේ ජිවිතේ ගැන කියන කතන්දර අහනකොට අපිට ජීවිතේ තියෙන්නේ කොයි තරම් අවම ගැටලුද කියලා හිතෙනවා. මේ හැමෝගෙම ජිවිතේ අපිට ඉගෙන ගන්න කොයි තරම් පාඩම් තියෙනවද කියලත් හිතෙනවා. පැයක් නොවෙයි අපි පැය දෙක තුනක්ම කතා කළා. ඒ තුළ ජීවිතේ ගැන, රැකියාව ගැන පවුල් ජීවිතේ ගැන, ආදරණීය සබඳතා ගැන බොහොමයක් තොරතුරු තිබුණා. අපේ හමුවට ඈ සම්බන්ධ වුණේ බොහොම ආදරණීයව. ඈ සංජීවනී වීරසිංහ. ඈ දැන් ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක්.

 

‘ මේ දවස්වල මම ගුවන් විදුලියේ කරන සංජීවනි සමඟ සංවේදි පැයක් වැඩසටහන හරිම ජනපි‍්‍රියයි. මේ වැඩසටහනින් බොහෝ විට අපි කරන්නේ අපේ අනාගත පරපුරට, අපේ ශ්‍රාවකයන්ට අලුතින් හිතන්න , අලුතින් ජිවත්වෙන්න ශක්තියක් වෙන එක.අපි දන්නවා අද විවිධ ප්‍රශ්නවලට , කරදරවලට මුහුණ දුන්න පිරිස් ජීවිතේ එපා වෙලා ඉන්න විදිය. විවිධ ප්‍රශ්න නිසා මිනිස්සු තැවෙමින් ජීවත් වෙනවා. සමාජයේ ගෞරවනීය චරිත ඔස්සේ අපි කරන්නේ ඔවුන්ගේ ආකල්ප සුබවාදිව සකස් කර ගැනීමට උත්තේජනයක් සපයන එක.

ඇත්තටම මම මේ වැඩ සටහනට එක්කර ගන්නේ මේ රටේ කීර්ති නාමයක් රැන්දූ, මට හදවතට එකඟව ගෞරවනීය යැයි ආමන්ත්‍රණය කළ හැකි පුද්ගල චරිත. අපි මේ රටට ආදරය කරන පුරවැසියන් විදියට අපටත් යුතුකමක් , වගකීමක් තිබෙනවා අපි යෙදිලා ඉන්න වෘත්තීය පැත්තෙන් කිසියම් හෝ මෙහෙවරක් රට වෙනුවෙන් කරන්න. මම මගේ නිවේදන කාර්යය පැත්තෙන් සමාජයට යම් යහපත් පණිවිඩයක් ගෙන දෙන මෙවැනි වැඩසටහනක් කරන්න හිතුවේ ඒ නිසයි. ඇත්තටම දැන් මමත් නොහිතුව විදියට මේ වැඩසටහන ගොඩක් ජනපි‍්‍රය වෙලා තියෙනවා. සමහර ගෞරවනීය පුද්ගල චරිත කෝල් කරලා මේ වැඩසටහනට ඔවුන් සම්බන්ධ කර ගන්නේ කවදද කියලත් අහනවා.‘

සංජිවනී විරසිංහ ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් වශයෙන් වැඩ බාර ගත්තේ පසුගිය මාර්තු මාසයේදී පමණ. එතැන් සිට ඇය මේ දක්වා මේ ආයතනයේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්නට විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කළා. බොහෝ විට මේ තනතුර ඇය බාර ගන්නා විට නොයෙක් දෙනා ගේ විවේචනයන්ටද භාජනය වුණා. මේ විවේචන සියල්ලම පසෙක ලමින් ඇය සිය කාර්යභාරය මැනැවින් ඉටු කරන්නට කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ගුවන් විදුලිය අද යම්කිසි ප්‍රබෝධයකින් කටයුතු කිරීම පිළිබඳ ඇය සිය සතුට පළකළා.

‘ගුවන්විදුලියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතිගරු ජනාධිපති තුමා හමු වූ අවස්ථාවේ එතුමා කළ සුවිශේෂ ප්‍රකාශය පිළිබඳ මම අතිශයින්ම සතුටට පත්වුණා. එතුමා කිව්වේ ගුවන් විදුලිය ආණ්ඩුවේ හොරණෑවක් කරන්න එපා කියලයි. මේක එතුමන් පොදුවේ ජනමාධ්‍ය ඔස්සේ කියපු දෙයක් නොවෙයි. පෞද්ගලිකව අපිට කිව්ව කාරණාවක්. ඒ නිසා අපිට ලොකු ශක්තියක් වුණා ගුවන් විදුලියේ දිශානතිය වෙනස් අතකට යොමු කර ගන්න. එතුමාගේ කතා බහේදී කියවුණා උදේට සේවකයන්ට ටිකක් කතා කරන්න කියලා. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න කියලා. ඉතින් ඒ වෙනුවෙන් මම මට කළ හැකි කාර්ය භාර්ය කරන්න කැප වෙනවා. මේ කියන කාරණාව නම් සමහර විට කවුරුත් විශ්වාස කරන එකකුත් නෑ. නමුත් මේක තමයි සැබෑ තත්ත්වය. මම මේ පත්වීම බාර අරන් දැන් මාස 10 ට ආසන්නයි. මේ වනතුරු මම මට දෙන පෙට්‍රල් එලවන්ස් එක විතරයි අරන් තියෙන්නේ. ඒක ගන්නේ මම මගේ වාහනෙන් යන නිසා. ඒ ඇරුණම මම වෙන රුපියලක් වත් ගුවන්විදුලියෙන් ගන්නේ නෑ. ‘

සංජිවනීට ගුවන්විදුලියත් සමඟ තිබෙන්නේ ආදරණීය බැඳීමක්. ඇය මේ අභිමානවත් ගොඩනැඟිල්ලට මුලින්ම යන්නේ කුඩා ළදැරියකව. ඒ ගුවන්විදුලි ගායිකාවක වු ඇගේ ආදරණීය මව සමඟ . එහෙම බලන කොට ඇයට ගුවන් විදුලිය මව හා සමානයි. ගුවන් විදුලියට ගිය ගමන්ම ඇය කළේ මාර්තු මුල යෙදුන කාන්තා දිනය නිමිත්තෙන් ගිතයක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා ඇය ගුවන්විදුලියේම වැඩකරන දිරිය කාන්තා ළඳුන් සහභාගි කර ගැනීම සුවිශේෂි සිද්ධියක් වුණා.

‘ඇත්තටම මේ වැඩේට මම අත ගැහුවේ මගේ වියදමින් . මගේ එක දුරකතන ඇමතුමකට සංවේදි වුණ බොහෝ පිරිස් මට සතපහක් ගන්නේ නැතුව වැඩ කරලා දෙන්න ඉදිරිපත් වුණා. ඒ අනුව ප්‍රියන්ත නාවලගේ සංගීතවත් කරපු උදය පි‍්‍රයන්ත කංකානම්ගේ ලියපු ගීතය අපි කළා. මේ සඳහා අපි ගුවන්විදුලියේ වැඩ කරපු සහ වැඩ කරන බොහෝ කාන්තාවන් සම්බන්ධ කර ගත්තා.

ඒ එක්කම අපි ගුවන්විදුලියට නිව් මිඩියා යුනිට් එකක් ආරම්භ කළා. අපිට තරග කරන්න තියෙන්නේ එෆ් එම් නාලිකා එක්ක තමයි. නමුත් එහෙම කියලා අපි පුරා දශක ගණනාවක් තිස්සේ රැකගෙන ආපු ගුවන්විදුලියේ ගෞරවය විනාශ වෙන විදියට අපිට කටයුතු කරන්න බෑ. අපිට හිතුමතේ භාෂාව පාවිච්චි කරන්න බෑ. අපි ඉන්න තැනින් පහළට බහින්නේ නැතුව, අපේ ගුණ සුවඳ ආරක්ෂා කරගෙන නව මාධ්‍ය සංකල්පයට අපි කොහොමද මුහුණ දෙන්නේ කියන කාරණාවක් එක්ක අපි විශේෂ පුහුණු අවස්ථා ලබා දෙමින් මේ ක්‍රමය කි‍්‍රයාත්මක කළා. ‘

සංජිවනී සිය ජිවන ගමන් මඟ ක්‍රමවත්ව විධිමත්ව සකසා ගත්තියක් . ඇය කලාව ඇසුරේ වැඩෙන ජිවිතයට යහ ගුණ දම් එකතු කර ගත් තැනැත්තියක්. මේ යහ ගුණ දම් සියල්ල සිය මව් පිය උරුමයෙන්ම ඇයට ලැබුණක් බව තරයේම විශ්වාස කරන්නියක්. නව යොවුන් සුරූපි යෞවනියකව වැඩෙද්දීත් ඇය සිය මව්පියන්ගෙන් දුරස්ව කටයුතු නොකළ බව අදටත් ඇය සිහිපත් කරන්නේ මහත් බැතිබරව.

අදටත් මට මතක් වෙනවා ඉස්සර මම සංගීත සංදර්ශනයකට යන්න සුදානම් වුණාම මගේ ඇඳුම් පැළඳුම් පිළිබඳ මගේ අම්මයි තාත්තයි උනන්දු වුණ හැටි. ඔවුන් කවදාවත් මට අනවශ්‍ය විදියේ ඇඟ පේන ඇඳුම් අඳීන්න දුන්නේ නෑ. අපි හැදුණේ ලැජ්ජ බය ඇතුව. අපේ අම්මා කවදාවත් මට පිරිමි කෙනෙක්ගේ කරට උඩින් අතදාගෙන ඉන්න පින්තූර ගන්න දුන්නේ නෑ.අම්මා කිව්වේ කවදහරි විවාහ වුණ දවසක ඔය පින්තූරයකින් හරි වරදක් වෙන්න පුළුවන් කියලයි.

ඇයට ආදරණිය ජීවිතයකට පාර පෙන්නපු, ඒ වගේම මව්පිය උරුමයෙන්ම කලාව තිළිණ කරපු මේ ආදරණීය අම්මා එනම් ජනපි‍්‍රය ගායිකා චන්ද්‍රා ද සිල්වා වීරසිංහ අද ඉන්නේ ඉතාමත්ම අසාධ්‍ය තත්ත්වයේ. පසුගිය මාසයේදිත් ඇය ඇමරිකාවට ගොස් සිය මව් මෙන්ම දෑසවන් දරුවන් දෙදෙනාද බලා කියා පැමිණියා.

අපේ අම්මා දැන් ඩිමෙන්ෂීයා කියන රෝගි තත්ත්වයෙන් පෙළෙන්නියක්. ඇයට ඇගේ මතක ක්‍රම ක්‍රමයෙන් දැන් අමතක වී ගෙන යනවා. මේ පාර මම ගියාම අම්මේ පොඩි දුව ආවා කිව්වම ‘පොපියුලර්’ කියලා විතරක් කිව්වා. මගේ අම්මව සනීප කරන්න දැන් ලෝකේ කොහේවත් බෙහෙතක් නෑ. ඒ ගැන මට අති විශාල කනගාටුවක් තියෙනවා. නමුත් කරන්න දෙයක් නෑ

‘මගේ දරුවෝ දෙන්න ඉන්නෙත් ඇමරිකාවේ. ඒ දෙන්නම ඒහේ ඉගෙන ගන්නවා. මේ දෙන්නම ඇමරිකාවේ හිටියට හොඳට සිංහල කතාකරන යහපත් දරුවෝ දෙන්නෙක්. එයාපෝර්ට් එකෙන් බහිනකොටම දණ ගහලා වඳීන සිංහල කම අමතක නොකරන දරුවෝ දෙන්නෙක්. මගේ ජීවිතේ දිහා ආපස්සට හිතත්දි මේ තරම් සහනදායි ජිවිතයක් මට ලැබුණේ මගේ සැමියා සුසන්ත නිසා. අපි දෙන්න විවාහ වෙලා දැන් අවුරුදු 22 ක් . මේ කාලය ඇතුළත අපි දෙන්නා අතර සැකය අවිශ්වාසය කියන දේවල් කවදාවත් ගොඩ නැඟිලා නෑ.මට සමාජ සත්කාර කරන්න, මට කලාවේ නියැළෙන්න මේ සියලු දේවල් මම සන්සුන් මනසකින් කරන්නේ ස්වාමියාගේ ආදරයත් එක්ක.

ඇය ආදරණිය බිරිඳක්. දයාබර මවක්. ඒ වගේම ආදරණිය දියණියක් සොයුරියක් ලෙසින් පවුලේ සබඳතා ළෙන්ගතුව පවත්වා ගත්තියක්. මේ සියල්ල සමඟ ඇය රටට ආදරය කරන කාන්තාවක්. මේ දිරිය ළඳට කලාවත්, සමාජ සේවයත් සිය වෘත්තීය ජීවිතයක් සමඟ, රටට වැඩක් කරන්නට ශක්තිය ධෛර්ය මේ සමඟ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here