සමනල කන්ද වටා ගෙතුණු ජනප්‍රවාද

    0
    10

    බෞද්ධ සාහිත්‍යයට අනුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය සමන්තකූටයේ පිහිටුවා ඇති බව ප්‍රකටය. ගෞතම බුදුරජාණන් වහන්සේ තෙවැනිවර ලක්දිවට වැඩම කළ අවස්ථාවේදී සුමන සමන් දිව්‍යරාජයාගේ ඇරයුමින් සමනල පව්ව මුදුනේ උන්වහන්සේගේ පා සටහන පිහිටුවන ලදැයි බෞද්ධ ජනතාව අතර දැඩි විශ්වාසයක් පවතී.

    රාජාවලියට අනුව විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට පැමිණෙන අවස්ථාවේදී මුහුද මැදදී සමන්ගිර දැක ඇත. එය සංකේතයක් ලෙස තබාගෙන ලක්දිව වෙරළට සිය යාත්‍රාව පැදවූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

    සොළීන් පරදවා මුලින්ම පොලොන්නරුව අගනුවර කරගත් පළමුවැනි විජයබාහු රජු ශ්‍රී පාදස්ථානයට ගිලීමලේ සහ බඹරකොටුව ගම් පූජා කළ බව ද ප්‍රකටව පවතී.

    වට්ඨගාමිණී අභය රජතුමා මුලින්ම ශ්‍රී පාදය වන්දනාමාන කළ රජු ලෙස සිරිපා පුරාණය විමසීමේදී හෙළිවෙයි. ඉන් පසුව 4 වැනි මිහිඳු, ශ්‍රී සංඝබෝධි විජයබාහු, මහා පරාක්‍රමබාහු වැනි රජවරු මෙන්ම කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල, පණ්ඩිත පරාක්‍රමබාහු, බෝසත් විජයබාහු, 6 වැනි ශ්‍රී සංඝබෝධි පරාක්‍රමබාහු, වීරවික්‍රම වික්‍රමබාහු, විමලධර්මසූරිය, ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ වැනි එවකට සිටි රජවරු ද ශ්‍රී පාද පුදබිම වන්දනාමාන කළ රජවරු වූහ. ඒ අතර එම පුණ්‍ය භූමියේ උන්නතිය වෙනුවෙන් ද ඔවුහු විවිධ පින්කම්වල නිරත වූහ.

    රාජාවලියට අනුව පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා ශ්‍රී පාදය වැඳපුදා ගැනීමෙන් අනතුරුව සමනල කඳු මු‍දුනෙහි සමන් ‍දේවාලය ඉදිකර ඇත. ඉන් අනතුරුව කෝට්ටේ රාජධානිය හෙබවූ 6 වැනි පරාක්‍රමබාහු රජු විසින් විශාල ධනයක් වැයකර මෙහි ඉදිකර තිබූ සමන් දේවාලය නැවත ප්‍රතිසංස්කරණය කරවන ලදී.

    කතරගම පුද බිම සේම බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් බැතිමතුන්ගේ ගෞරව ආදරයට පත් එකම සිද්ධස්ථානය වන්නේ ද ශ්‍රී පාද පුදබිමයි. බෞද්ධයන් දැඩි විශ්වාසයකින් පුද සත්කාර කරන ශ්‍රී පාද පද්මයෙහි බුදුන්වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය ඇති බවට දැඩි විශ්වාසයක් පවතින අතර, ක්‍රි. ව. 639දී වජ්‍රබෝධි හිමියන් විසින් එම පුවත සනාථ කර ඇත. සිරිපතුල පිළිබඳව මුල්ම සටහන හමුවන්නේ එලෙසිනි.

    ඉන්පසුව ක්‍රි.ව. 851දී මෙම ස්ථානයට පැමිණි සුලෙයිමාන් සහ ක්‍රි:ව: 911 දී මෙහි පැමිණි අබුසෙයියාද්හසන් සඳහන් කළ හැකිය. ඉන්පසු ක්‍රි:ව: 129දී ඔරින්දෝ නම් වූ පූජකවරයකු ද ක්‍රි: ව: 1330 ඉබන්බතුතා ද ක්‍රි:ව: 1347දී ජර්මන් ජාතික ඩැනියෙල් පාර්තන්, ක්‍රි:ව: 1684දී වැලන්ටයින්, ක්‍රි:ව: 1737දී ඉංග්‍රීසි ජාතික ලුතිනන් හෙන්රි ජෝර්ජ් විලියම්, ක්‍රි: ව: 1815දී වෛද්‍ය ජෝන් ඩේව්, ක්‍රි: ව: 1817දී දොස්තර හෙන්රි මාෂල්, ක්‍රි:ව: 1819 දී අන්ධ සංචාරකයකු වූ ජේම්ස් හෝල්මන්, ක්‍රි:ව: 1830 සහ ක්‍රි: ව: 1831 සිට 1837 දක්වා ලංකාවේ ආණ්ඩුකාර ධුරය දැරූ ශ්‍රීමත් රොබට් විල්මට් හෝර්ටන් වැන්නවුන් මෙම පුදබිමට පැමිණ එහිදී අත්දුටු බොහෝ කරුණු කාරණා ලේඛනවල සටහන් කර ඇත.

    එසේම ග්‍රීක ඉතිහාසයේ සඳහන් වන්නේ ක්‍රි: පූ: 4 වැනි සියවසෙහි මහා ඇලෙක්සැන්ඩර් රජතුමා ද සිරිපා පුදබිම තරණය කර ඇති බවකි. චීන ජාතික ෆාහියන් හිමියන් ද සමනල කන්ද තරණය කළ බවට උන්වහන්සේ ලියන ලද සටහන්වල තිබී ඇති අතර, ඈත අතීතයේදී සමනල කන්ද අවට මිනිසුන් සිටි ජනාවාස තිබූ බවට ද උන්වහන්සේගේ ලේඛනවල සටහන්ව තිබී ඇත.

    පෙර රජ දවස සමන්තපාසාදිකා නම් වූ ග්‍රන්ථයේ සහ මහා වංශයේ ද සමනල කන්ද පිළිබඳව ලියැවී තිබීමෙන් පැහැදිලි වන්නේ සමනල කන්ද යනු අපේ පැරණි සාහිත්‍ය සමඟ බැඳී ඇති ඓතිහාසික පුරාවෘත්තයක් බවයි.

    බෞද්ධයන් හැරුණුකොට මේ රටේ අන්‍ය ආගමික බැතිමතුන් ද ශ්‍රී පාදය පිළිබඳව විවිධ මත පළ කරති. ඒ අනුව ක්‍රිස්තු භක්තිකයන්ගේ විශ්වාසය වී ඇත්තේ ශ්‍රී පාද පද්මයෙහි සටහන්ව ඇත්තේ ආදම්ගේ පාදය බවයි. ඒ අනුව ‘ඇඩම්ස් පීක්’ නැතිනම් ආදම්ගේ පාදය ලෙසින් එය ඔවුහු හඳුන්වති. එසේම ඉස්ලාම් භක්තිකයන් ශ්‍රී පාදය හඳුන්වන්නේ බබාදමලෙයි ලෙසටය. ශිව දෙවියන්ගේ පාදය එසේත් නැතිනම් ශිවන්ඔලි පාදම් නමින් හින්දු භක්තිකයන් ශ්‍රී පාදය හඳුන්වති. මේ ආකාරයට සෑම ආගමකටම අයත් යැයි විශ්වාසයක් ඇති ශ්‍රී පාද පුණ්‍ය භූමිය කතරගම පුදබිම සේම සර්ව ආගමික මධ්‍යස්ථානයක් ලෙස හැඳින්වීමට පුළුවන.

    රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ වන්දනා මානයටත් අසීමිත ගෞරවයටත් පාත්‍ර වූ ශ්‍රී පාදය සීතාවක රාජසිංහ රජු විසින් අරිට්ඨකී වෙණ්ඩු නම් වූ හින්දු පූජකයකුට පවරාදීමෙන් පසුව එම පුදබිම මුළුමනින්ම පරිහානියට පත් වූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. පුරා වසර 171ක් වැනි දිගුකාලයක් එම පරිහානිය පැවති ඇති අතර, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් මෙම පුදබිම නැවත හින්දුන්ගේ ග්‍රහණයෙන් මුදාගත් බව ද සඳහන් වෙයි.

    සිරිපතුල් පහස ලබන සමනල අඩවියට රැකවරණය ලබා දෙන්නේ සමන් දෙවියන් ලෙස සැලකේ. ශ්‍රී ලංකාවට රැකවරණය දෙන බවට විශ්වාසයක් පවතින සතර වරම් දෙවිවරුන්ගෙන් කෙනකු‍ ලෙස සමන් දෙවියන් බුහුමනට ලක්වේ. ඉතිරි තිදෙනා වන්නේ විෂ්ණු, කතරගම හා විභීෂණ දෙවිවරුන්ය. එසේම සමනල කන්දට ‘සමන්ත කූටය’, ‘සමන්ගිර’ ආදී නම්වලින් හැඳින්වීමෙන් පැහැදිලි වන්නේ එය සුමන සමන් දෙවියන්ගේ බල ප්‍රදේශය වන බවයි. සමන් දෙවියන් පිළිබඳව පවත්නා ජනප්‍රවාද රාශියකි.

    සිරිපා පුදබිම වටා ඇති ගම්වල නම් ඇසුරෙන් ද බොහෝ ජනප්‍රවාද පවතී. උදාහරණයක් ලෙස ‘ගිලීමලේ’ කන්ද යනු ගිලාබැස්ස කන්දයි. මේ නම යෙදී ඇත්තේ මෙතැනට ගියවිට සිරිපා කන්ද නොපෙනී ගිය නිසාය. එහෙත් ඊට අදාළ තවත් ජන කතාවක් ඇත.

    පුරාතනයෙහි ‘කුණුදිය’ පව්වට නැඟුණු මිනිස්සු විශාල පිට්ටනියක් බඳු එහි මුදුනෙහි දැවැන්ත ගිනිගොඩක් ගැසීම සිරිතක් කොට ගත්හ. මෙම ගිනිමැලය කෙතරම් විශාල වූවාද කී‍වොත් රත්නපුර දිසාවේ ගිලීමලේ ගමට පවා එම ගිනිමැලය දිස්වී ඇත. මෙම ගමට නම ආවේණික වූයේ ජනප්‍රවාදයට අනුව මෙම ගිනිමැලය නිසාය. ගිනිමැලේ පසුව ‘ගිලීමලේ’ විය. එම ගිනිමැලයේ රස්නය ‘එරත්න’ ගමට පවා දැනී ඇත. එම ගමේ නමද සැදී ඇත්තේ එම රස්නය ආභාසයෙනි. ඒ රස්නය පසුව එරත්නය විය. සිරිපා අඩවිය අවට ගම්වල නම් සැදී ඇත්තේ ජනප්‍රවාදයේ එන විවිධ සිදුවීම් මූලික කරගෙන බව පැහැදිලිය.

    සිරිපා කන්දේදී ඉතා කලාතුරකින් ඝණ්ටාරයක හඬක් වැනි ශබ්දයක් පැතිරයන බව පැවසේ. බොහෝවිට එමඟින් අසුබ පණිවිඩයක් ගෙනෙයි. ඒ හඬ කලින් අසා ඇති අය ඉන් බියට පත්වෙයි. අවසන් වරට කන්දෙන් පණිවිඩයක් නිකුත් වූයේ ශ්‍රී පාදස්ථානයේ ප්‍රධාන සංඝනායක වහන්සේ අපවත් වන අනාවැකිය බව තමන්ට භික්ෂූන් වහන්සේ නමක් පැවසූ බව ‘ආර්. එල්. බ්‍රොහියර්’ සිය කෘතියේ (‘Seening Ceylon’) සඳහන් කර තිබේ.

    අවාරයේ කිසිවකු සිරිපා කරුණා කරන්නේ නැත. ඒ අවාරයේදී සැඩ සුළං, වැසි හා කුණාටු, අකුණු සර බහුලව පවතින බැවිනි. එහෙත් අවාරයේ සිරිපා හිමයේ මුරකරුවන් සිය රාජකාරි කටයුතුවල යෙදෙන බව ප්‍රකටය. එහෙත් මෙම මුරකරුවන් කිසිවකු සිරිපා කරුණා නොකළොත් ඇතැම් දිනවලදී හිමිදිරි පාන්දර සිරිපා පද්මය මත මල් පූජා කර ඇති බව දැක ඇත.

    මෙම අසිරිමත් සිදුවීම ඉර සේවයට හෝරාවක් පමණ පෙරදී සිදුවන බවද ප්‍රකටය. එසේම එම අවස්ථාවට පෙර සැඩ සුළං හමන අතර, විශාල නඩයක් එන ශබ්දය ඇසෙන බවද මුරක‍රුවෝ පවසති.

    එක්තරා දිනක ඉතාමත් උපශාන්ත පෙනුමෙන් යුත් පැවිදි උතුමකු අවාරයේදී සිරිපතුල වෙත පැමිණ තෙල්, මල්, පහන් පූජා කර දැහැනට සමවැදී පැයක් පමණ හිඳ නැවත ආපසු යද්දී මුරකරු විසින් මහත් භක්තියකින් යුතුව උන්වහන්සේට දහවල් දානය පිරිනමා ඇත. දානය වැළඳු එම භික්ෂූන් වහන්සේ මුරකරුට පින්දී පඩිපෙළ ළඟදී මුරකරුට සමුදී ඇත. මොහොතකින් ආපසු හැරී බැලූ මුරකරුට කිසිවකු එහි සිටින අයුරු දැක නැත. ඉන් මුරකරු මහත් විපිලිසරයට පත්වූ බව කියැවේ.

    මෙවැනි බොහෝ කරුණු කාරණා රැසක් සමනල අඩවිය වටා ගෙතී ඇත. කෙසේ වෙතත් තවත් සියවස් ගණනාවක් මේ පින්බිම ලක්වැසියන්ගේ මෙන්ම ලෝකවාසී ජනතාවගේ ගෞරවයට හා වන්දනීයත්වයට පත්වනු ඒකාන්තය.

     

    රත්නසිරි පතිරණ

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here