සිව කුමරුගේ පුතා සංඝයාට පිදූ ලෙනගල ලෙන් විහාරය

    0
    15

    මහාචාර්ය පරණවිතානයන් පවසන්නේ “එක් ඉඩමක් අනුදි නම් ගමේ හා තවත් කොටසක් බතෂ නගරයේ” ඇති බවයි. මෙම විහාරයේ වටිනාම වස්තුව වන්නේ මෙම සෙල්ලිපියයි

    ජීවිතය විඳවනවාට වඩා ජීවිතය විඳීම ඉතාම පහසුය. අප කළ යුත්තේ කෙටි කැපකිරීමකි. ඒ සඳහා ගතයුත්තේ ද කෙටි කලකි. ජීවිතය විඳීමට බොහෝ අය බොහෝ දේ සිදු කරයි. ඒ ඔවුන් ජීවිතයට ලද හර පද්ධතිය අනුවය. බොහෝ අය උරුමයට පෙම් බඳිති. ඒ අපේ මුතුන් මිත්තන් මේ මිහිමත ඉතිරි කර ගිය ශේෂයන් දැක, ඒ කැපකිරීම් දැක සතුටු විය හැකි සිතක් ඇත්තන්ය. එමඟින් ඔවුන් ජීවිතයට ලබන නිර්ව්‍යාජ සහනය අසීමිතව නිහඬව ළගාකර ගනී. මෙරට ජාතික උරුමය විඳින්නකුට සබරගමුව පළාතෙන් ලැබෙන සහය අසීමිතය. කෙටි ගමනාන්තයකින් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට යටත් විජිත යුගයේ අවසානය දක්වාම අඛණ්ඩ ඉතිහාසයක මිහිර විඳින්නට වාසනාව ලැබී තිබේ. කුතුහලයක් දනවන උරුම ස්ථානයක් පිළිබඳව කන වැකුණු විට එය සොයායන්නට සිත පෙලඹෙන්නේ නිරායාසයෙනි.

    එදින සෙනසුරාදා දිනයකි. අවිවේකී දින චර්යාවට විරාමයක් ගන්නට ඇවිදින්න යාමට මා සිත උනන්දු කළේ පුරාවිද්‍යාවට කිසිඳු සබඳකමක් නොමැති එහෙත් අතීතයට පෙම් බඳින මිතුරෙකි. ඔහුගේ ඉල්ලීම වූයේ ලෙනගල ලෙන් විහාරය බැලීමට හොඳම දිනය එදින බවය.

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගයෙන් වරකාපොළට පැමිණි අප බසයෙන් බැස්සේ වරකාපොළ කරවනැල්ල අතුරු මාර්ගයේ ගමන් ගන්නා බසයකින් කොටියාකුඹුර දෙසට ඇති මගෙන් ලෙනගලට පිවිසීමට ය. එම මාර්ගයේ පැමිණීමෙන් පමණක් නොව නෙලුන්දෙණිය හන්දියෙන් ඇති ගලපිඩමඩ කිවුල්දෙණිය මාර්ගයෙන් ද මෙම විහාරස්ථානයට පැමිණීමට හැකි බව දැනගත්තේ බසයේ කොන්දොස්තර ගෙනි.

    ඊට අමතරව අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ කන්නන්තොට පාලම අසලින් වම්පසට ඇති ගලපිටමඩ මාර්ගයෙන් ද පැමිණ ලෙනගල පුරාවිද්‍යා ස්ථානයට පැමිණිය හැකිය.

    තවමත් තරමක් ග්‍රාමීය පරිසරය ඉතිරිවූ කලාපයක පිහිටි මෙම විහාරයට තදාසන්න කලාපයෙන් ගමන් ගන්නාවිට ඇඟට දැනෙන සිසිලස හා සිතට දැනෙන සැනසුම අප පුදුමයට පත් කළේය. කඳු ශිඛර, ඇළ මාර්ග හා කෙත් යායන් මැදින් වැටී ඇති මඟ සිත දැහැන්ගත කරන්නේ සුන්දර බව නිසාමය. බිම්මලක් ඉහළට එසවුණාක් මෙන් ඈතින් දුටු ලෙනගල විහාරස්ථානයට පිවිසෙන්නට අපට ගතවූයේ කෑගල්ල සිට පැය 2 කට ආසන්න කාලයකි.

    ලෙනගල ලෙන් පියස්ස ආසන්නයට පිවිසෙන්නට මත්තෙන් වූයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සවිකර ඇති අවවාදාත්මක පුවරු කීපයකි. අවවාදයන්ගෙන් මිනිසුන් දැනුවත් කරන්නට සිදුව ඇත්තේ මෙරට ජාතික උරුමයේ වටිනාකම බිඳක් හෝ නොමදත් පාපතර මිනිසුන් ද අතළොස්සක් සිටින නිසාය. එසේ නොවන්නට මෙම උරුමය රැකගැනීම අපහසු කරුණක් ද නොවේ.

    ලෙනගල විහාරයට පැමිණි සිටි අයෙක් හා මා කතාවට එක් වූයේ විහාරය පිළිබඳව අතීතය දැනගැනීම රසවත් යැයි සිතට දැනුණ නිසාය. ඔහු පවසන්නේ මෙම විහාරයේ මුල් නිර්මාණකරු වලගම්බා රජු බවය. මා ඔහු සමඟ ඒ පිළිබඳව තර්ක කිරීමට නොපෙලඹුණේ බොහෝ ලෙන් විහාර හා වලගම්බා රජතුමාගේ නාමය ගෑවී ඇති නිසාය. මෙරට වලගම්බා රජ සමයේදී දමිළයන්ට එරෙහිව යුද වැදීමට සේනා හා යුද බල ඇණි සූදානම් කළ රජු මෙම ස්ථානයේ රැඳී සිටියේ සල්ගල ප්‍රදේශය මුල් කරගෙන බව ඔහු ජනප්‍රවාදයක් මතක් කර දුන්නේය.

    අප අතීතය ගැන කියවන්නේ ලිඛිත හෝ අලිඛිත මූලාශ්‍ර පදනම් කරගනිමිනි. එසේත් නොමැතිනම් ජනප්‍රවාද පදනම් කරගනිමිනි. භෞතිකවාදීව අතීතය පිළිබඳව යමක් කිව හැකිනම් ඒ පුරාවිද්‍යාත්මකවය. සෑම තොරතුරකම යම් සත්‍යතාවයක් තිබිය හැකි නිසා ජනප්‍රවාද ද අපට ඉවතලිය නොහැකිය.

    මා කතාවට වැටී සිටින අතර මිතුරා ලෙනගල ඉහළට නැඟී ආපසු එමින් සිටි අතර උස්වූ ගල මතට අවට බොහෝ දුරක් පෙනෙන බවත් රුවන්වැල්ල, කරවනැල්ල, අඟුරුවැල්ල, ඒ අතරින් විශේෂයෙන් දැකගත හැකි බවත් පැවසීමෙන් පෙර කියූ යුද සේනා සංවිධානය කිරීමට හා ස්වාභාවික ආරක්ෂිත මධ්‍යස්ථානයක් ලෙසට කටයුතු කළ හැකි ස්ථානයක් ලෙසින් භාවිතා කිරීම නිවැරැදියැයි මට හැඟුණි. ඔහුගේ කතාවෙන් මට වැටහුණේ ඉහළ සිට බලන්නකුට අවටින් දැකගත හැකි චමත්කාරය අත් නොවිඳ යාමට කිසිවකුටත් බැරි බවය. තාක්ෂණික ශක්තියක් නොමැති අතීතයේදී විවිධ අවශ්‍යතාවයන් සඳහා භූමිය නිරීක්ෂණය කිරීමට බොහෝ දුරක් පෙනෙන උස් භූමි වෙත පැමිණීමට පැරැන්නන් පුරුදුවී සිටින්නට ඇත.

    ලෙනගල විහාරයට ඇතුළු වීමට මත්තෙන් අප ලෙනෙහි ඉදිරිපස සිට සොයා බැලුවේ බෙල් මහතා සඳහන් කර තිබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ දීර්ඝතම සෙල්ලිපිය ඇත්තේ කොතැන ද කියාය. වැඩි වෙහෙසක් නොගෙන නෙත් නතර වූයේ වැසි ජලය ලෙන තුළට ඒම වළක්වන කටාරමට මදක් පහළින් වූ බ්‍රාහ්මීය අකුරු පෙළ අසලය. අප දුටු ආකාරයට අඟල් පහකට ආසන්න විශ්කම්භයකින් යුතු අක්ෂර, අඟලකට ආසන්න ගැඹුරකින් ගල් පර්වතය මත පසාරුකර නෙළා ඇත. පුදුමය නම් අඩි 40 කට ආසන්න උසක් ඇති කටාරමත්, ඊට යාබද සෙල්ලිපියත් නෙළන්නට මෙහි නිර්මාණකරුවන් කොයිතරම් නම් වෙහෙස වන්නට ඇතිද කියාය.

    මෙවැනි කාර්යයක් නිම කරගැනීමට වර්තමානයේදී නම් යකඩ භාවිතා කරමින් තැනු විශේෂ උපකරණ අපමණය. අතීතයේ ද දැව හෝ වෙනත් කුමන හෝ පලංචි ක්‍රමයක් යොදා ගෙන ගල් වඩුවන් එම කාර්යය සිදු කරනු අයුරු මාගේ මනසින් සිහිගන්වන්නට උත්සාහ කළේ එය ඒ තරම් පහසු කටයුත්තක් නොවන නිසා ය.

    ලෙනගල සෙල් ලිපිය පිළිබඳව මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ගේ සෙල්ලිපි සංග්‍රහය නම් ග්‍රන්ථයේ දක්වා ඇත්තේ සාමාන්‍ය සෙල්ලිපිවල සඳහන් පරිදිම යම් ලෙන් පූජාකිරීමක් පිළිබඳව ඇති අදහසම මෙහිද වූ බවය. එහි දක්වන පරිදි “දුහතර කුමරුගේ පුත්‍රවූද සිව කුමරුගේ පුත්‍රවූ දුහතර කුමරුට අයත් සුන්දර නමැති ලෙන පැමිණි නොපැමිණි සිව් දිගින් වඩින සංඝයාට පූජා කළ බවක්” කියා තිබේ.

    සෙල් ලිපියේ ඉහළම අකුරු පෙළ තනි පෙළට අක්ෂර 47 කින් යුතු විය. එම ස්ථානයේම දකුණු පසට වන්නට තවත් කෙටි අකුරු පෙළක් දැකගත හැකි අතර පසුකාලීන ඉදිකිරීමක් නිසා ඒවා තරමක් ආවරණය වීම කනගාටුදායක ය. මහාචාර්ය පරණවිතානගේ කියවීම් අනුව “එක් ඉඩමක් අනුදි නම් ගමේ හා තවත් කොටසක් බතෂ නගරයේ” ඇති බවකි. මෙම විහාරයේ වටිනාම වස්තුව වන්නේ මෙම සෙල්ලිපියයි.

    එච්. සී. පී. බෙල් මහතා මෙම විහාරස්ථානය කෑගලු දිස්ත්‍රික්කයේ විශාලතම ලෙන ලෙසින් දක්වා ඇත්තේය. ඔහුගේ වාර්තාවන්ට අනුව විහාර ත්‍රිත්වයකින් යුතුව ඉදි කර ඇති විහාරය වර්ෂ 1879-1980 කාලයේදී ප්‍රතිසංස්කරණය කළ බවට වූ සටහන සැබෑ බවක් මාහට ද සිතුණේ සිතුවම් දුටු පමනිණි. පැරණි සිතුවම්වල නිර්මාණාත්මක ලක්ෂණයන්ට හානි නොවන අයුරින් එහි වූ කලාත්මක බව හා වර්ණ සංයුතිය ආරක්ෂා වන ලෙසින් එම කාර්ය සිදුව ඇති බව එදා බෙල් මහතා වාර්තාකර ඇත.

    අඩි 70 ක් පමණ දිග මහනුවර යුගයේ ඉදිකරන්නට ඇතැයි සිතිය හැකි අභ්‍යන්තර විහාර ගෘහයන් ගල්, මැටි, හා හුණු යොදා ගෙන ගොඩනඟා ඇති බව පතුරු ගැලවී ගිය තැන් දෙස බැලීමෙන් අපට පැහැදිලි විය. විහාර මන්දිර තුනක් ලෙනගල ලෙන තුළ දැකගත හැකිය. අප පළමුවෙන්ම ඇතුළු වූයේ මහා විහාරයටය. පළමු විහාරයට ඇතුළු වන විටම ඇත්තේ මල් ලියකම්වලින් සමන්විත ගලින් නිමවූ උළුවස්සකි. උළුවස්සේ උඩ කොටසේ දේව රූපයක් නෙළා තිබෙනු දැකගත හැකිය.

    ඉන් ඇතුළු වූ පසුව අපට එක්වරම දිස්වූයේ අඩි 29 ක් පමණ දිග සැතපෙන බුදු පිළිමයකි. කසාවත පෙරවූ එම පිළිමය මහනුවර යුගයේ ඉදි කරන්නට ඇතැයි නිර්මාණ ලක්ෂණවලින් දැකිය හැකිය. විහාරයේ බිත්ති සියල්ලක්ම අලංකාරවූ සිත්තම්, දේවරූප. නවග්‍රහයන්, ජාතක කතා වස්තූන් ගෙන් පිරී තිබෙනු දැකගත හැකිය.

    දෙවන විහාරයේ ප්‍රමාණය පළමු විහාරයෙන් අර්ධයක් පමණ වෙයි. එහිවූ ගල් උළුවස්ස ද අලංකාර කැටයම් යොදා ඇති අතර ඇතුළත පිළිමය අඩි 3 අඟල් 6 ක් පමණ වෙයි. මීට අමතරව මෙහි සිවිලිම චිත්‍රවලින් අලංකාර කර ඇති අතර ජාතක කතා සිත්තම් සැමගේ අවධානය දිනා ගනී. තෙවැනි විහාරයේ උළුවස්ස ද ගලින් නිමකර ඇත්තේ කැටයම් සහිතවය. මෙම විහාරයේ ද පිටුපස බිත්තියට ඉදිරියෙන් වූ පිළිමයක් දැකගත හැකිය. ‍ෙදාරටුවට ඉහළින් වූ මකර තොරණක් හා ‍ෙදාරටුව දෙපස වාමන රූ දැකගත හැකිය. මෙහි වම්පස බිත්තියේ සමන් දේව රූපයත් දකුණු බිත්තියේ කතරගම දේව රූපයත් තරමක ගුප්ත හැඟීමක් අප සිත් තුළ ජනිත කළේය.

     

     

    එච්. එම්. සමන් කුමාර ඇරෑගම

    පුරාවිද්‍යා පර්යේෂණ සහකාර (කැණීම්)

    සීතාවක

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here