හද බඳිනා හදඟනාව

    0
    31
    යහන් ගල

    මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු අපේ අතීත උරුමයන් රැසක් නිදන්ගතව ඇති ප්‍රදේශයකි. සිංහල රජ සමය තෙක් දිවෙන අතීත උරුමයන් රැසක් මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසක අදටත් වැළලී ඇතැයි එම ගම්මානවල ජනතාව පවසති.

    නකලස් කඳුකරයේ මහ වනය මැද පිහිටි උඩගල දෙබොක්ක ගම්මානය මෙන්ම දුටු ගැමුණු රජුගේ සෙන්පතියකුගෙන් රන් දුන්නක් පරිත්‍යාග ලෙස ලැබීමෙන් ආරම්භවිනැයි සැලකෙන රන්දුනු මුදියන්සේලාගේ පරපුරෙන් පැවත එන ගලමුදුන ගම්මානය එවැනි වූ අතීත උරුමයන් රැසකට නෑකම් කියන්නා වූ ගම්මාන දෙකකි.

    සිංහල ගති සිරිත්, පාරම්පරික ජීවන රටාවන් මෙන්ම සොබා දහමේ අසිරිය අඩුවක් නැතිව අදටත් විඳ ගත හැකි උඩගල දෙබොක්ක ගම්මානය මෙන්ම ගලමුදුන ගම්මානය අදටත් ලෝකයා වෙත නිරාවරණය වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි.

    සොබාදහමේ අපූරු ආස්වාදයන් ඉහළින්ම භුක්ති විඳිය හැකි වූ මෙම අපූරු ගම්මානවලට යෑමට ඇත්තේ මහ වන මැද ගස් ගල් මතින් දිවෙන අඩි පාරකිනි. දිය කඳුරු, දොළ පාරවල් හරහා පාලම් නැති කිලෝමීටර් 6-7ක් තරම් දිගු වූ මාර්ගයන් සහිත මෙම ගම්මානවලට පිටස්තරයන් පැමිණෙන්නේ බොහෝ කලාතුරකිනි. ඒ නිසාම මෙම ගම්මාන සම්බන්ධයෙන් මෙන්ම ගමේ යටගියාව හෝ උරුමයන් සම්බන්ධයෙන් ද අදටත් ඇත්තේ සැඟවුණු මතකයන්ය.

    මෙම ගම්මාන හැරුණු විට ජනවහරේ එන රාවණා රජු සීතා දේවිය සඟවා තැබුවා යැයි කියන ගුරුළු පොත, සීතා කොටුව, අශෝක වනය, රාවණා රජුගේ දඬු මොනරය නවතා තැබූ බවට සැලකෙන යහන්ගල, වේවරේ ප්‍රදේශයේ සිටි ප්‍රාන්ත රජ කෙනකු විසින් රත්න වර්ග නවයක් සඟවා තැබූ බව කියන අඩි 300 ක් උසින් හා අඩි 100 ක් පමණ පළලින් යුතු ලංකාවේ පස් වෙනි තැන ගන්නා නකල්ස් වන මැද පිහිටි රත්නැල්ල දිය ඇල්ල, මෙම කොට්ඨාසය තුළ පිහිටි අතීත උරුමයන් රැසකට නෑකම් කියන්නා වූ ස්ථාන කීපයකි.

    ප්‍රදේශයේ බැතිමතුන්ගේ ගෞරවාදරයට පත් සුමන සමන් දෙවිඳුන්ගේ වැඩිමහල් සොහොයුරියක වන මහ ලොකු වන් හෙවත් මහලොකු දේව මෑණියෝ වැඩ සිටි බව ජනවහරේ සඳහන් වෙන ගුරුළුපොත කඳන්හේන, බෝමළුව, දුටුගැමුණු රජ සමයේ සොරබොර වැව ඉදිකළ බුලතා නමැති යෝධයාගේ බිරිය වන එතනා විසින් මොරයාය ගමේ සිට උඩුවාහින්න ගම දක්වා නකලස් කඳුකරයේ මහ වනය මැදින් ඉදිකරනු ලැබූ ගල් පඩි 1200 කින් පමණ සමන්විත ගල් පඩි පෙළ හා ගමන් මාර්ගය ද තවමත් හරි හැටි අවධානයට යොමු නොවූ ඓතිහාසික ස්ථානයන්ය.

    මහවැලි ගංගා ජලය පළමු වරට උතුරට හැරවීම පිණිස පළමු වන අග්බෝ රජ සමයේ ඉදිවූවේ යැයි සැලකෙන මිනිපේ අමුණ, සිරිසඟබෝ රජුගේ මලනුවන් කෙනකු වන සේලාභය කුමරු ශිල්ප හැදෑරු බව කියන මාළිගාපතන ගම, බුදුන් වහන්සේ මහියංගණයට වැඩම වූ යුගයේ නාග ගෝත්‍රිකයින් ජීවත් වූ බව කියන හදගනාව ගම ද මෙම කොට්ඨාසය තුළ පිහිටි ඓතිහාසික පුරාවෘත්ත රාශියක් සැඟව ඇති ප්‍රදේශයන්ය.

    මීට අමතරව ඌවේ, මධ්‍යම කඳුකරයේ මෙන්ම සබරගමුවේ ජනතාව අදටත් භය පක්ෂපාතීව අදහනු ලබන වැදි පරම්පරාවෙන් පැවැත එන කළුබණ්ඩාර දෙවියන්ගේ උපත සිදුව ඇත්තේ ද මිනිපේ මහ වන මැද හසලක ඔයේ පිහිටි කළුවා වැටුණූ ඇල්ල මුල් කර ගනිමින් බව ප්‍රදේශයේ ජනතාව අදටත් විශ්වාස කරති.

    මේ අයුරින් බලන කල කාලයේ වැලි තලාවන්ගෙන් වැසී ගිය ස්ථාන ගණනාවක්ම මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා තිබෙන බව අතිශයෝක්තියකින් තොරව පැවසිය හැකිය.

    නිශාන්ත කුමාර

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here