හෙල් කඳු බෑවුම් පසු කොට සුන්දර දිය­ළුම මුඳුනට…

    0
    28

    මේ කවුරුත් දන්නා දියළුම දිය ඇල්ලයි. ලංකාවේ උසින් දෙවැනි ස්ථානය ගන්නා මේ දිය ඇල්ලේ උස මීටර් 171ක්. ඔන්න මේ සූදානම් වෙන්නේ දියළුම දිය ඇල්ලේ මුදුණට යන්නයි. ගමන ආරම්භයට පෙර සඳහන් කළ යුතුම කරුණක් තියෙනවා. ඒ තමයි මේ ගමන යන්න ඕනෑ බොහෝම සිහිකල්පනාවෙන් බව. මොකද තියුණු හෙල් කඳු බෑවුම් ඔස්සේ දුෂ්කර වූ පා ගමනින් යා යුතු නිසාවෙන් ගමනට සහභාගි වන්නන්ගේ ආරක්ෂාව තමන් සතු බවත් සිහි තබා ගත යුතුයි. ඒ කියන්නේ යන්නන් වාලේ ඉබා ගාතේ නොයා යම් අරමුණක් ඔස්සේ යෑමටයි මෙබඳු ගමන් සංවිධානය කළ යුතු වන්නේ.

    කලක් තිස්සේ සිතේ උපන් මේ සංචාරක අත්දැකීම යළිත් වරක් මුදුන් පත් කර ගන්නත් එක්ක විවේකී අවස්ථාවක මමත් මගේ හිත මිතුරු ලලිත් ප්‍රසන්නත් පැහැබර දිනෙක දියළුම ඇල්ල මුදුන බලා ගමන් ඇරඹුවා.

    කොස්ලන්ද-බෙරගල දුර්ග මාර්ගයේ වැල්ලවාය නගරයේ ඉඳන් කි.මී. 13 ක් පමණ දුරක් ගෙවා දියළුම දිය ඇල්ල පාමුලට ආපු අපි අපේ ඉලක්කය වුණු, ඇල්ල මුදුනත දිහා බැලුවේ මේ අභියෝගය ජය ගන්නට හැකි වේවායි යන සුබවාදි ආක්ලපයෙනුයි. පහළ සිට බලන විටයි ඇල්ලේ හැබෑම සුන්දරත්වය විඳ ගන්න ලැබෙන්නේ.

    “ඕන්න බලමු, දිය ඇල්ලේ ලස්සන. හරියට අලුත් මනමාලියක් මඟුල් ඇඳුමින් සැරසී හිසේ පැලඳි දිගු වේල් පොට සුළඟට ලෙළව, ලෙළවා හිනැහෙන්නා වාගෙයි නේද? ” මිතුරාගේ ප්‍රේමණීය හිතට කවි සිතුවිලි උපදින්න පටන් අරන්.

    “දියළුම ඇල්ලේ මුදුනතට යන පාර පටන් ගන්නේ කොස්ලන්ද-පූනාගල මාර්ගයේ මකල්දෙණිය හංදිය අසලින්.”

    අසා දැනගත් තොරතුරු ඔස්සේ අපි අපගේ දුෂ්කර චාරිකාව පටන් ගත්තා.

    දියළුම ඇල්ල පාමුල සිට බෙරගල දුර්ග මාර්ගයේ කි.මී. 04 ක පමණ ගමනකින් පසුව කොස්ලන්ද නගරය හමු වෙනවා. එතැනදී මාර්ගය සන්ධි වෙලා දියළුම මුදුනතට යන පාර පටන් ගන්නවා.

    එක් මාර්ගයක් සුපුරුදු ගමනින් බෙරගල දක්වාත්, අනෙක් මාර්ගය පූනාගල දක්වාත් දිව යනවා. කොස්ලන්ද දෙමන් හන්දියේ ඉඳන් පුනාගල මාර්ගය දිව යන්නේ නැග්මක් සහිතවයි. මාර්ගය දෙපසින්ම දිස් වන්නේ රක්ෂිත වන පෙතක්.

    මාර්ගය දෙපස තැන් තැන්හි සවි කර ඇත්තේ වන සම්පතේ අගය ගැන සඳහන් වුණු උපදේශාත්මක දැන්වීම් පුවරුයි. ඒ හැම එකකින්ම කියන්නේ අවටින් දිස් වන දියළුම රක්ෂිතයේ ඇති වටිනාකමයි.

    දියළුම ඇල්ලේ සුන්දරත්වය රැකීමට නම් මේ පෝෂිත වන පෙත සුරැකිය යුතු බවත්, වනයට කිසි හානියක් නොපමුණුවන ලෙසත් සංචාරකයන්හට උපදෙස් දීලා තියෙනවා.

    මඟ සලකුණක් හෝ අසා දැනගැනීමට කිසිවකු හෝ පෙනෙන තෙක් මානයක නෑ. මාර්ගයේ කි.මී. 08 ක් විතර ඉදිරියට එද්දි, ‘පූනාගල වතු යාය ඔබ සාදරයෙන් පිළි ගනිමු – මකල්දෙණිය’ යනුවෙන් සඳහන් ලොකු දැන්වීම් පුවරුවක් අසල අපි නැවතුණා. ටිකක් විපරම් කරද්දී එතැන ඉඳන් පහළට දිව යන අඩි පාරක් දැක්කා. ඒ පාර අවසන් වුණේ වතු නිවාස පෙළකින්.

    “ගමන පටන් ගන්නට කලියෙන් ආරම්භක ස්ථානය පිළිබඳව මතක තියා ගන්න. ආයෙමත් එන ගමනට පාර හොයා ගන්න එය ප්‍රයෝජනවත් වේවි…”

    ගමන් ගන්නා අඩි මාවත දෙපැත්තෙම පේන්න තියෙන්නේ තෘණ තලාවක්. අතරින් පතර තරමක් ලොකු තනි තනි ගස් ද දැක ගන්න පුළුවනි.

    “මේ පරිසර පද්ධතිය හඳුන්වන්නේ ‘සැවානා’ බිම් හැටියටයි.”

    ගමන ආරම්භයේදීම පරිසරය අප සමඟ ආදරයෙන් වෙලීමට පටන් අරන්. කොහේ දෝ සිට ආපු හීන් සුළං රැල්ලක් අප සිප ගනිමින්ම වෙනත් දිසාවක් බලා ඇදෙයි. පරිසරයම වෙලා ගෙන ඇත්තේ සිහිල් බවක්.

    නතරව හිඳිනා කඳු මුදුනට අපේ ඉලක්කය කදිමට දැක ගන්න පුළුවන්. මේ කන්දේ පහත් නිම්නය දිගේ ගලා බසින්නේ පුනාගල ඔයයි, කන්දේ දළ බෑවුම අබියසදී එක් පාරම හිස් අවකාශයට පනින්නෙත් ඒ දිය පාරම තමයි. ඉතින් දියළුම දිය ඇල්ලේ ආරම්භය සටහන් වෙන්නේ ඒ ආකාරයටයි.

    “ආන්න දියළුම මුදුන” කෑගැසුණේ ඉබේටමයි.

    විනාඩි 45 කට ආසන්න කාලයක් තිස්සේ කඳු තරණය කරපු, අපගේ ඉලක්කය නෙත ගැටුණු කල සතුටක් ඇති වෙනවායි කියන්නේ විස්මයට කරුණක් ද? ගමනාන්තය ඇස් මානයේ දිස් වුණත්, පසු කළ යුතු තියුණු බැස්මකින් ඔබ්බෙයි අපේ ඉලක්කය ඇත්තේ. එය ද තරණය කළ යුතුව තිබේ.

    දිය ඇල්ල මුදුනේ ඉඳන් ජල පහර ගලාගෙන ඒම සහ ප්‍රපාතය අබියස ඇති ගල් දෙබොක්කාවකින් ඇද වැටීම යන ක්‍රියාවලිය එක වර බලන්න හැකි නම් ඒක කොයිතරම් නම් අපූර්ව වූ අත්දැකීමක් වනු ඇත් ද?

    “කියන්න බලන්න, දියළුමට නම හැදුණ හැටී.” සගයාගෙන් පැනයක්. ඉදින් දුෂ්කර චාරිකාවක් සඳහා කතාව යනු කදිම වාහනයක්.

    “දැන් බලන්න, ඔය ගලා ගෙන යන පූනාගල ඔය දිහා. තමන්ගේ පාඩුවේ මේ නිම්නය දිගේ ගලා ගෙන එන්නේ ඉදිරියෙන් තියෙන ප්‍රපාතය ගැන හාංකවිසියක්වත් නොදැන වගේ නේ ද? ඉතින් ඔහොම එන ගමනට ඉදිරියෙන් බාධකයක් තියෙනවාය කියලා හැඟෙන්නේ ප්‍රපාතයේ මුව විටට පැමිණි පසුයි. ඒත් වතුර පහරට කරන්න කිසිම දෙයක් නෑ. කළ යුත්තේ එක්වරම ප්‍රපාතයෙන් පැනීම පමණයි.”

    මා පවසනා දෙය නොතේරුණාක් මෙන් මිතුරා ප්‍රශ්නාර්ථ දෙනෙතින් බලා හිඳීයි.

    ඔය කියපු ‘දිය හෙළීමේ’ ක්‍රියාවලිය කල් යත්ම ‘දිය – හළුව’ බවටත්, පසු කාලීනව සුඛෝච්චාරණය වීමෙන් ‘දියළුම’ වශයෙන් තනි පදයකටත් පෙරළෙන්නට ඇතැ’යි බ්‍රෝ හියර් නම් ප්‍රසිද්ධ මිනින්දෝරුවා මතයක් ඉදිරිපත් කරලා තියෙනවා. ආර්.එල්. ෙබ්‍රා් හියර් කියන්නේ සුප්‍රකට භූගෝල විදුවරයෙක්, ඉතිහාසඥයෙක්, ඉතින් බ්‍රෝ හියර් ලංකාවේ තියෙන දිය ඇලිවලින් වැඩිමනත්ම ආස දියළුම ඇල්ල බලන්නලු. ඔහු දියලුම ලාලනියගේ සුන්දරත්වයෙන් මත්ව ඒ සමීපයේ වරු ගණන් ගත කරලා තියෙනවා.

    “ඔව්, ප්‍රපාතය මුදුනතින් කෙතරම් සැරින් වතුර පාර බිමට හෙළනවද කියන්නේ, දැක්කා නේ ද? දියළුම පාමුල හාත් පසම විසිරෙන හුමාලය, මීදුම.”

    ආයාසකර ගමනකින් පසු අපි දියළුම නිම්නය දිගේ ප්‍රපාතයට ආවා.

    රැගෙන ආ ගමන් මලු පැත්තකින් තියලා පර්වතය කෙළවරට ඇවිත් බිම වැතිරිලා ප්‍රපාතයට එබුණු විට පේන්නේ දළ බෑවුමක්. පර්වතයේ පිහිටීම නිසා මුව විටින් වැටෙන ජල පහර විනා, දිය ඇල්ලේ අග කොටස පේන්නේ නෑ. ප්‍රපාතය පාමුලින් පීත්ත පටියක් දඟර ගැසෙමින් වාගේ දිව යන්නේ වැල්ලවාය-බෙරගල දුර්ග මාර්ගයයි.

    “දන්නව ද? දියළුම උපත ලබපු හැටි.., ඒක හරිම සංවේදී ජනප්‍රවාදයක්” ඇල්ල පහතට රූරා හැලෙන ආකාරය නොතිත් ආශාවකින් රස විඳිනා අතරම මම ඊට සමවැදිමි.

    “අතීතයේ පහත රට ගෝත්‍රික කුමාරයෙක්, තමන්ගේ ගෝත්‍රයට අඩු කුලයක කාන්තාවක් එක්ක ආලයෙන් බැඳිලා. ඒ සුරූපී කාන්තාව විවාහ කර ගෙන තියෙනවා. කුමාරයා විවාහ වුණු කත අඩු කුලයේ බව දැන ගත්තු කුමාරයාගේ ගෝත්‍රයේ අනෙක් පිරිස මොකද කළේ…, මේ දෙන්නම තම ගෝත්‍රයෙන්, රැහෙන් පන්නලා දැම්මලු. ඉතින් කුමාරයා තමන්ගේ පෙම්වතියත් එක්ක කන්ද උඩරටට ගිහින් හුදෙකලාව ජීවත් වෙන්න හිතා ගෙන ගමන ආරම්භ කළාලු. කන්ද උඩරටට යන්න කුමාරයා තෝරගෙන තියෙන්නේ පූනාගල කඳු පන්තිය හරහායි.

    ඉතින් කුමරියත් එක්ක මේ පර්වතය පාමුලට ඇවිත්, මේ පර්වතයෙන් එගොඩට යන්න ක්‍රමයක් නැතිව ළතැවෙමින් ඉන්න අතරේ කුමාරයාට උපායක් පහළ වුණා. පළමුවෙන්ම තමන් කන්ද තරණය කරන්නටත්, දෙවනුව තම පෙම්වතිය වැලක ආධාරයෙන් පර්වතය මුදුනතට ගැනීමට දිග වැල් පොටක් හොයා ගෙන පළමුවෙන්ම කුමාරයා අසීරුවෙන් මේ පර්වතය තරණය කළා. පස්සේ පර්වතයේ මුදුනේ ගහක වැල ගැට ගහලා තමනුත් කඹය තරයේම අල්ලා ගෙන අනෙක් පොට පර්වතයෙන් පහළට දැම්මා.

    කුමරියත් වැල්පොට ඇඟේ දවටගෙන, කුමාරයාගේ උදව්වෙන් පර්වතය තරණය කරන්න පටන් ගත්තා. ඇයට ටික දුරයි තරණය කරන්න හැකි වුණේ. අවාසනාවන්ත ආකාරයට ඒ වෙලාවෙම මහා හුළඟක් හැමුවා. කුමරිය වැල්පොටේ පැටලෙමින්ම එහාටත්- මෙහාටත් පැද්දෙන්නට වුණා. ඇයගේ බෙල්ල වැල්පටේ එතුණා, පැටලුණා. බෙල්ල හිරවෙලා කුමාරිය මියැදුණා. කුමරියට ආලය කරපු කුමාරයත් දිවි තොර කර ගත්තා.

    ආදරය නිසා තමන්ගේ ගෝත්‍රයත්- තනතුරත් අතෑරපු කුමාරයාට දෛවය කරපු මහා සරදම බලාන උන්නු දෙවි කෙනෙක් බොහෝම දුකට පත් වුණා. ඉතින් මේ කනගාටුදායක සිද්ධියට මුල් වුණු පර්වතයට එදා ඉඳන්ම අඬන්න අණ කළාලු”

    දිනයේ සැඳෑ සමය සටහන් කරමින් හිරු බටහිර කඳු වළල්ලේ සැඟවෙමින් හොරැහින් බලයි. මළහිරු එළියෙන් හාත්පසම රන්වතින් දිදුලයි. දිය ඇල්ලේ දියවැටෙන‘හෝ’ රාවය පමණක් දසත රැව් දේ.

    ඉඳින් එකී ශෝකී හඬින් ධ්වනිත කරනුයේ අවාසනාවන්ත පෙම්වතුන් දෙදෙනකුගේ පෙර සඳහන් කළ ජනප්‍රවාදගත කතාන්දරය ද? සාක්ෂි දරනුයේ නිහඬව බලා හිඳිනා කඳු වළලු පමණි.

     

    සදමල් රශ්මි ශ්‍රී බුද්ධික

    ඡායාරූප – රෝහිත ගුණවර්ධන

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here