හෙළ ඔසු රස ලොවට බෙදන තිළිණි

    0
    36

    අතීතයේ සිට අප තේ සහ කෝපි වෙනුවට පානයන් ලෙස සකස් කර ගත්තේ බෙලි මල්, රණවරා, නෙල්ලි සහ රසකිඳ වැනි දේශීය ඖෂධයන් තම්බා ගැනීමෙනි. මෙම ඖෂධ වර්ග ගෙවත්තෙන් හෝ අසල ගෙවත්තකින් හෝ දේශීය ඖෂධ වර්ග විකිණීමට ඇති වෙළෙඳසලකින් හෝ මෙම ද්‍රව්‍යයන් සපයා ගැනීමේ හැකියාව තිබිණි. මෙම ඖෂධයන්හි ගුණදායකබව ද පරම්පරාවෙන් පරම්පරාවට පැවත ගෙන එනු ලැබිණි. මේ නිසා අද ද තේ සහ කෝපි පානයන් අතරට මෙම ඖෂධ පානයන් ගැනීමට ද ශ්‍රී ලාංකියෝ පුරුදු වී සිටියහ. එහෙත් බෙලි මල්, ඉරමුසු, රණවරා, නෙල්ලි, රසකිඳ වැනි ඖෂධයන් සොයමින් කල් ගත කිරීමට හෝ ඒවා බොහෝ වේලාවක් තැම්බීමට කල් ගත කිරීමට හෝ දැන් ඇවැසි නොවේ. මේ ඖෂධ වර්ගයන් විජලනය කර, තේ සහ කෝපි ආකාරයට කුඩු බවට පත් කර කුඩා පැකට් ආකාරයෙන් අප අතට පත් කිරීමට තිළිණි ප්‍රසාදි ඉහළගේ මහත්මිය විශේෂ උත්සාහයක් ගනී.

     

    ශාකසාර තේ (Herbal Tea) වර්ග සකස් කිරීම පිළිබඳ විශේෂ දැනුමක් ද සහිතව ඔබ ඉදිරියෙන් සිටින බව මා පැවසුවොත්?

    ඔව්. මම ශාකසාර තේ වර්ග බොහොමයක්ම සකස් කරනවා. ඒවා එලෙස සකස් කිරීමට මා පෙළඹුණේ මගේ රෝගිභාවයක් හේතුවෙන්මයි. මම වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරියක්. මගේ රෝගයට පිළියමක් වුණෙත් දේශීය ඖෂධ. ඒ නිසා මා අත්හදා බැලීම් කිහිපයක්ම කිරීමෙන් පසුව මේවා නිෂ්පාදනයට අතගැහුවා.

    කුමන ඖෂධයන් ද ඔබ මේ ආකාරයට සකස් කරන්නේ?

    බොහෝ ඖෂධ වර්ග තිබෙනවා. ඉරමුසු, නෙල්ලි, පොල්පලා, සේර, රසකිඳ, කටු අනෝදා කොළ, තෙබු, නිල් කටරොඩු මල්, මුරුංගා කොළ, ගොරකා, වද මල් මේ අතරින් කිහිපයක්.

    කොහොමද ඔබ මේවා සකස් කරන්නේ?

    මේ ඖෂධයන් මල් සහ කොළ ආකාරයෙනුයි තිබෙන්නේ. මම ඒවා තුන් පාරක් සෝදනවා. ඊට පස්සේ ඒ දේවල් අවශ්‍ය ආකාරයට කෑලිවලට කපලා විජලනය කරනවා. මා ළඟ විජලනය කරන යන්ත්‍ර තිබෙනවා. ඒවා තුළට මෙම කෑලි කැපූ කොළ සහ මල් වර්ග දාලා ඉතා අඩු උෂ්ණත්වයක් යටතේ වේළනවා. මේ ආකාරයට කිරීමෙන් මෙහි තිබෙන වතුර ගතිය ඉවත් වෙනවා. ඒවා විජලනය කිරීමෙන් පසුව නැවත උණු වතුරට හෝ සාමාන්‍ය වතුරට දැමීමෙන් ඒවා සාමාන්‍ය තත්ත්වය පැමිණිලා ඒවායේ තිබෙන සාරය නැවත උණු වතුරට හෝ සාමාන්‍ය වතුරට එකතු වෙනවා. ඒකයි මෙහි තිබෙන තාක්ෂණය.

    මේ දේවල්වලින් අපේ ශරීරයට ලැබෙන ගුණදායක බව ගැන ඔබ හරියටම කියන්නේ කොහොම ද?

    සේර ගත්තොත් එහි තිබෙනවා කාන්තාවන්ගේ ආර්තවයේදී ඇතිවන ශාරීරික වේදනාවන් සමනය කිරීමේ මහඟු වේදනානාශක ගුණයක්. ඒ වගේම හන්දිපත් අමාරු තිබෙන අයටත් මේවා භාවිත කළ විට වේදනාව පහව යනවා. විශේෂයෙන් මෙහි පිළිකා නාශක ගුණයක් ද තිබෙනවා. තෙබු ශාකය දියවැඩියාවට ගුණදායකයි. එය බොහෝ දෙනා දන්නවා. ඉරමුසු සහ නෙල්ලි, රසකිඳවල ඇඟ නිවීමේ, සිසිල් කිරීමේ ගුණයක් තිබෙනවා. නිල් කටරොඩුවල දීර්ඝ කාලීන සෙම නිට්ටාවට සුව කිරීමේ ගුණයක් තිබෙනවා. මේ ආදි වශයෙන් මේ සෑම ශාකයකම විශේෂ ඖෂධ ගුණයක් තිබෙනවා. එහෙත් කිසිම දෙයක් එක දිගට බොන්න හොඳ නැහැ. කොළ කැඳ වුණත් එකම කොළ වර්ගය එක දිගට බොන්න හොඳ නැහැ.

    ඔබ මෙම විශේෂ තේ වර්ග සකස් කිරීමේ අරමුණ කුමක් ද?

    අද බොහෝ අය බෝ නොවන රෝගවලින් පෙළෙනවා. මේ රෝගවලට බොහෝදුරට හේතු වන්නේ පිටිකිරි. ස්වාභාවික එළ කිරි බොනවා නම් කමක් නැහැ. ඒත් බොහෝ දෙනෙක් බොන්නේ පිටිකිරි. ඒවාට විවිධ රසකාරක යොදා තිබෙනවා. මේ නිසා දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග වැලඳෙනවා. අද ගොඩක් දෙනෙක් ඇඟ සොලවන්නේ නැහැ. එක තැතක ඉඳගෙනයි වැඩ කරන්නේ. කාර්ය බහුලයි. මේ කාර්ය බහුල මිනිසුන්ට තමන් වැඩ කරන ආයතනයේ ඉඳ ගෙනම මේ ඖෂධ පානයන් ගන්න පුළුවන් වීම විශේෂත්වයක්. මෙවැනි ශාකසාර පානයකට පුරුදු වුණොත් බෝ නොවන රෝගවලින් බොහෝ දුරට වැළකෙන්න පුළුවන්.

    ශාකසාර ඖෂධ පානයන් ගොඩක් වර්ග නිෂ්පාදනයට මා පෙළඹුණේ එකම පානයක් එක දිගට පානය කරන්න සුදුසු නැති නිසයි. එකම වර්ගයේ එකම සංඝටක ශරීරයට දානකොට ශරීරයට මේවා දරන්න අමාරුයි. මේ නිසා වකුගඩු වැනි ශරීරයේ අභ්‍යන්තර අවයවවල මේ නිසා කිසියම් හානියක් වෙන්න පුළුවනි. නිල්කටරොඩු නම් දීර්ඝ කාලීනව භාවිත කළාට කිසිදු ගැටලුවක් ඇති වන්නේ නැහැ. මේවා සියයට සියයක්ම ස්වභාවිකයි.

    මා ළඟ ආයුර්වේද වෛද්‍යවරුන් දෙදෙනෙක් සිටිනවා මේ සම්බන්ධව උපදෙස් දෙන්න. ඒ අය කියන්නෙත් එක දිගට කාලාන්තරයක් එකම දෙයක් ගන්න එපා කියලා.

    ඇතැම් වෙලාවට පාරිභෝගිකයන් මා සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ රෝගවලට අනුව ඖෂධ වර්ග පිළිබඳව විමසනවා. ඒ අවස්ථාවන්වලදී මා වෛද්‍යවරුන්ගෙන් විමසා ඔවුන්ට අවශ්‍ය ඖෂධ පාන වර්ග සපයා දෙනවා.

    ඔබගේ මෙම නව නිෂ්පාදන ගැන කොහොම ද පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර?

    ඉතාම ‍හොඳයි. ඔවුන් මට දුරකතනයෙන් අමතා ඔවුන්ගේ ලෙඩ සුව වූ බව පවසනවා. මා ඉන් ඉතාම සතුටට පත් වෙනවා. කොහොම වුණත් අප අසනීප වෙන්න කලිනුයි පරිස්සම් විය යුත්තේ. අපේ සිරුරේ ප්‍රතිශක්තිකරණය හොඳට තිබේ නම් අසනීප විමේ අවදානමක් නැහැ. මේ නිසා අප නිතර නිවැරදි දේ ශරීරයට දිය යුතුයි. අප නිතරම කන්නේ වස විස තිබෙන එළවළු සහ පලතුරු. පමණක් නොවෙයි සහල්වල සිට අප ආහාරයට ගන්නේ වස විස. කෘත්‍රිම දේවල්. ජලයේ තිබෙන්නේත් අයහපත් දේ. එ් වගේම කෙටි කෑම වර්ග, තෙල් සහිත කෑම වර්ග ශරීරයට නිතර ගැනීම හොඳ නැහැ. මේවා කාලාන්තරයක් තිස්සේ භාවිත කළාම ස්වාභාවිකව හැදිල තිබෙන අපේ ශරීරයට මේවා ඔරොත්තු දෙන්නෙ නැහැ. කුඩා දරුවන්ටත් මේ වගේමයි. මේ සියල්ල ගැනම අවධානය යොමු කරලා තමයි මම මේ දේවල් හදන්න පටන් ගත්තේ. විදේශිකයන් වගේම විදේශවල සිටින අපේ රටේ අයත් මේ ශාකසාර ගැන දැනුම්වත්. ඒ අයත් විවිධ පර්යේෂණ කරලා මේ ශාකසාර පානයන් ගැන අපට වඩා හොඳ දැනුමක් ඇති කරගෙන තිබෙනවා.

    ඔබේ මේ නව නිෂ්පාදනවල අරමුණ විදෙස් වෙළෙඳපොළ ද?

    බොහෝ දුරට ඔව්. මගේ අරමුණ විදෙස් වෙළෙඳපොළ. ඒ අයට ගැළපෙන දේවල් තමයි මම මුලින්ම නිෂ්පාදනය කළේ. 2012 දී තමයි මම මෙය මුලින්ම ආරම්භ කළේ කුරුඳුවලින්. කුරුඳු කියන්නේ බැක්ටීරියා නාශකයක්. ඒකෙන් මම ටූත් පික් එකක් හැදුවා. ඒක දත්වලට තියලා හපන කොට දත්වලට හොඳයි. බැක්ටීරියා විනාශ වෙනවා. ඉන්පසු කුරුඳු තේ හැදුවා. 2014දී තමයි ශාකසාර හදන්න උත්සාහ කළේ. පසුව තමයි ශ්‍රී ලංකාවේ අයට මගේ නිෂ්පාදන දෙන්න මම පටන් ගත්තේ. මේ වෙන කොට විදෙස් අයට සහ විදේශයේ සිටින ලංකාවේ අයටයි, අපේ රටේ අයටයි මගේ මේ ශාකසාර තේ වර්ග ලබා දෙනවා.

    ඔබ මේ ශාක වර්ග සපයා ගන්නේ කොහොම ද?

    මම මුහුණු පොතේ මට අවශ්‍ය දේවල් ගැන පළ කරනවා. ඒ ඔස්සේ ලංකාව පුරාම ඉන්න මේ ශාක වර්ග වවන අය මට මේවා සපයන්න කැමති වුණා. මල්වලට වෙනම අය, තෙබු කොළවලට, කටු අනෝදාවලට, ගොටු කොළවලට මේ වගේ හැම දේටම වෙනම අය ඉන්නවා. රැකියාවලින් ඉවත් වී නිවෙස්වල සිටින කාන්තාවන් විශාල ලෙස මා සමඟ සම්බන්ධ වී මේ ශාක වර්ග වගා කොට මට සපයා දෙනවා. ඉන් ඒ අයට අමතර ආදායමක් ලැබෙනවා. නීත්‍යනුකූලව මා සමඟ සම්බන්ධ වී මල් වර්ග වවන අයත් සිටිනවා. මල් වේළලා දෙන අයත්, විශේෂයෙන් තත්ත්ව සහතික සමඟ මා සමඟ එකතු වී සිටින අයත් ඉන්නවා.

    පිරිසක් එකතු වී වගා කළත් එක පුද්ගලයකු මේවා එකතු කොට මට ගෙනැවිත් දෙනවා.

    මේවා සකස් කරන පිළිවෙළ ගැන කිව්වොත්?

    එක එක ශාකයන් එක එක ආකාරයට තමයි සකස් කරන්නේ. විජලනය කළාට පසුව තේ කොළ ප්‍රමාණයට කුඩා කැබලි බවට පත් කොට කුඩා තේ බෑග් එකක ආකාරයට මේවා ඇසුරුම් කරනවා. කොළවල හැඩය අනුවත් මේවා වෙනස් වෙනවා. නෙල්ලිවල ඇටය තමයි වඩාත් ගුණදායක වන්නේ. මේ නිසා ඇටය සමඟම මේවා කුඩා කැබලි බවට පත් කරනවා.

    මේවායේ ගුණාත්මකභාවය පිළිබඳව ඔබ හරියටම කියන්නේ පර්යේෂණ කිරිම තුළින් ද?

    මුලින්ම මට ආයුර්වේද වෛද්‍යවරු හිටියෙ නැහැ. මම තනියම අන්තර්ජාලය ඔස්සේ සෝදිසිකිරීම් කිරීම තුළින් මේවායේ ගුණාත්මකභාවය ගැන දැනුවත් වුණා. පිටරට අය දීර්ඝකාලීන ලෙස පර්යේෂණ කිරීම් කර තිබෙන පර්යේෂණ වාර්තා අධ්‍යයන කිරීම තුළින් තමයි මම මේ නිෂ්පාදන කරන්න පටන් ගත්තේ. මගේ නිෂ්පාදන සෑම දෙයකම මම පර්යේෂණ නොකළත් ඒ සෑම දෙයකම ගුණාත්මකභාවය ගැන කරන ලද අන්තර්ජාතික වශයෙන් කරන ලද පර්යේෂණ වාර්තා තිබෙනවා. මේවායේ කිසිදු රසායනික ද්‍රව්‍ය හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු වන්නේ නැහැ. විජලනය කිරීමෙන් ජලය ඉවත් කළ පසු නැවත කල් තබා ගැනිම සඳහා කිසිදු ද්‍රව්‍යයක් අවශ්‍ය වන්නේ නැහැ. වසර දෙකක් වත් කල් තබා ගන්න පුළුවන්. නියම උෂ්ණත්වය යටතේ විජලනය කොට නිවැරදිව ගබඩා කිරීම, නිවැරදිව ඇසුරුම් කිරීම තුළින් මේවා කල් තබා ගන්න පුළුවන්.

    ඔබගේ නිෂ්පාදන කුමන රටවලට යවන්නේ?

    මුලින්ම online වෙළෙඳපොළ තමයි පටන් ගත්තේ. සුපිරි වෙළෙඳසළක තිබෙනවා වගේ අපේ නිෂ්පාදනවල විස්තර දාලා තියන්න පුළුවනි. එවිට එම රටවල අය අපෙන් මේවා ඇනවුම් කරලා සල්ලි එවනවා අපි එම බඩු මෙහෙන් යවනවා. එවිට කෙළින්ම පාරිභෝගිකයාගේ අතටම මගේ නිෂ්පාදන ලැබෙනවා. ඒ අය මේ පිළිබඳව තවත් අය දැනුම්වත් කිරීමෙන් ගැනුම්කරුවන් වැඩි වෙනවා. කැනඩාව, අමෙරිකාව, එක්සත් රාජධානිය, සිංගප්පූරුව, ජපානය, මැලේසියාව වැනි රටවලට මගේ මේ නිෂ්පාදනයන් යවනවා. අනෙක් රටවලට කෙළින්ම පාරිභෝගිකයාටම යැවෙනවා.

     

    වස විස පානය කොට විවිධ රෝගාබාධ සාදා ගන්නේ නැතිව ශාකසාර පානයන් ඉතා ඉක්මනින් සාදා ගත හැකි නම් සහ ඉන් අපගේ ශරීරයට සුවයක් නීරෝගිභාවයක් ඇති වෙනවා නම් කෙතරම් වටින්නේද? මේ සඳහා තිළිණි මහත්මියගෙන උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය නම් [email protected] යන ඊ මේල් ලිපිනයෙන් ඇය හා සම්බන්ධ විය හැකියි.

    තිළිණි

    චතුමී පිටිපන

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here