ෆර්නාඩෝ මාර්කොස් සහ පිලිපීන කිතුනු සභාව

    0
    8

    1955 දී ෆර්නාඩෝ මාර්කොස් පිලිපීනයේ ජනාධිපති බවට පත් වූ අතර, ඔහු මුල් කාලයේ ජනතාවගේ බලාපොරොත්තු පිළිබඳ විශ්වාසයක් තැබිය හැකි නායකයෙක් ලෙසට ජනතා ප‍්‍රසාදයට පත් වූයේය. මේ නිසාම පිලිපීනයේ ජනාධිපතිවරයකු ලෙස දෙවතාවක් රාජ්‍ය බලය ලබා ගැනීමට හැකි වූ ප‍්‍රථම පුද්ගලයා ලෙස 1969දී ෆර්නාඩෝ මාර්කොස් නැවත ජනාධිපති වීමට සමත් විය. මුල් කාලයේ ජනතා ප්‍රසාදය ලැබූවද ඔහු බලයට කෑදර පුද්ගලයකු බව තෙවැනි වරටත් ජනාධිපතිධුරය ලබා ගැනීමට ක්‍රියා කළ ආකාරයෙන් පැහැදිලි වේ. එනම් පිලිපීනයේ ව්‍යවස්ථාවලිය අනුව තෙවැනි වරට ජනාධිපතිධුරයට පෙනී සිටිය නොහැකි බැවින් ඒ වන විට ක්‍රිස්තියානීන්, මුස්ලිම්වරුන් හා කොමියුනිස්ට්වාදී ගරිල්ලා කණ්ඩායම් අතර පැවති ගැටුම්කාරී තත්ත්වයන් හුවා දක්වමින් ‘නව ජනතා හමුදාවක්’ යන්න මවා පාමින් 1972 දී හමුදා නීතිය යටතේ පාලනය පිහිටු වීය.

    තම බලය පවත්වා ගැනීමේ මුවාවෙන් ආරම්භ කළ මෙම හමුදා නීතිය යටතේ ‘නවස මාජයක්’ බිහි කරන බව ප්‍රකාශ කළත්, පිලිපීන ඉතිහාසයේ කිසිදා නොවුණු ආකාරයට වංචාව, සොරකම, දූෂණය රජ කරන්නට විය. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නට විය. එසේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම නිසියාකාරව ක්‍රියාත්මක නොවුණු බැවින් ධනවතුන් තම තමන්ගේ ඉඩකඩම්ද ආදායම්ද තව තවත් තර කරගන්නට විය. දිළිඳුන්ගේ සුභසාධනය හා සංවර්ධන කටයුතු වෙනුවෙන් රජය මැදිහත්වීම වෙනුවට සිදුවූයේ, සංචාරක හෝටල් පිහිටුවමින් ධනවතුන් තව තවත් දිරිමත් කිරීමයි. දෙවැනි වතිකාන මන්ත්‍රණ සභාවෙන් ඇති වූ සභා නාවෝදය, සමාජ සාධාරණත්වය හා කම්කරු අයිතිවාසිකම් පිළිබඳ වූ සමාජ සංවිධානයන්ගේ අවශ්‍යතාව පිලිපීනයට ප්‍රබල ලෙස අවශ්‍ය වූ යුගයක් ලෙස මෙය හැඳින්විය හැකි වුවත්, එවැනි දේ ක්‍රියාත්මක වූ තත්ත්වයක් එම යුගය තුළ පැහැදිලිව දක්නට නොලැබුණි.

    කෙසේ නමුත් පාලන බලයට කෑදර ජනාධිපතිවරයකු වූ මාර්කොස් කොමියුනිස්ට්වාදී ගරිල්ලා කණ්ඩායම් සමඟ සටන් කිරීමට නව සේනාංක බිහි කළේය. 1972 දී හමුදා නීතිය පිහිටුවීමත් සමඟ 60,000ක් පමණ සෙබළු එහි සිටිය අතර, එය මාර්කොස්ගේ පාලනය අවසාන භාගය වන විට එම ප්‍රමාණය 350,000ක් පමණ දක්වා වර්ධනය කරගෙන ඇත. මෙලෙස හමුදාව තර කිරීමේ එකම අරමුණ වූයේ හමුදා පාලන බලය මඟින් මාර්කොස්ගේ බලය පවත්වා ගැනීමයි. කොමියුනිස්ට්වාදී ගරිල්ලා කණ්ඩායම්වල නාමයෙන් ඔහු තමන්ට විරුද්ධව එල්ල වූ බලපෑම් මැඩපවත්වන්නට හමුදා බලය යොදා ගත්තේය. මේ තත්ත්වය මත බොහෝ පුද්ගලයන් විවිධ වධහිංසාවට ලක් කෙරුණු අතර, තවත් ඇතැමුන් සිර කරන්නටත්, කිසිදු චෝදනාවකින් තොරව මරා දමන්නටත් විය.

    1980 දශකය වන විට අසල්වාසී රටවල ආර්ථිකය ශක්තිමත් වන්නට වූවත්, පිලිපීනයේ ආර්ථිකය දුර්වල මට්ටමක පැවතිණි. රටේ ජාතික ආදායම වසර කීපයක්ම අවම මට්ටමක පැවතුණි. මෙම ආර්ථික අවපාතය පොදු ජනතාවට හා විශේෂයෙන්ම දිළිඳු ජනතාවට බෙහෙවින්ම බලපාන්නට විය. ඇමරිකාව, ජපානය හා බටහිර යුරෝපයේ ආධිපත්‍ය පිලිපීන ආර්ථිකය කෙරෙහි යොමු වී තිබුණු බැවින් පිලිපීනයේ සම්පත් ඔවුන් විසින් සූරා කන්නට විය. ඔවුන් වනාන්තර විනාශ කරමින් ව්‍යාපාර පිහිටුවීය. මේ නිසා අයහපත් පාරිසරික බලපෑම් ඇති විය. මෙම තත්ත්ව හේතුවෙන් බෙහෙවින්ම පීඩා විදින්නට වූයේ දිළිඳු ජනතාවටය. ඔවුන්ගේ ඉඩකඩම් අහිමි වන්නට විය. ආර්ථික ඉපයීම් මාර්ග බිඳ වැටුණි. එසේම සදාචාරය, සංස්කෘතිය හා ආගමිකත්වය පිරිහෙන්නට විය. මෙට්ට්‍රෝ – මැනිලා යන ප්‍රදේශ ආශ්‍රිතව ශීඝ්‍රයෙන් නාගරීකරණය වූ ජනපද බිහිවීම නිසා ඒ සමඟම මුඩුක්කුද විවිධ සමාජ ප්‍රශ්නද ඇති විය.

    දෙවැනි වතිකාන මන්ත්‍රණ සභාවට පෙර පිලිපීනයේ කතෝලික සභාව උසස් සමාජ ඇසුරු කළ අතර, ඉඩම්හිමි ධනවතුන් සමඟද සම්බන්ධ විය. නමුත් මන්ත්‍රණ සභාවෙන් පසුව ඇති වූ සභා නවෝදයත් සමඟ රදගුරුවරු ඉන් ලද උත්තේජනයත් පෙන්නුම් කරමින් ‘දිළින්දන්ගේ සභාව’ නමින් ජනතාව අතර ජනප‍්‍රිය වන්නට විය. පිලිපීනයේ සමාජ සාරධර්ම වර්ධනය කිරීමේ අවශ්‍යතාව නිසාම රදගුරුවරු, පූජකවරු මෙන්ම ගිහි ජනතාවගේද විශාල ශක්තියක් මෙම දිළිඳුන්ගේ සභාවට සම්බන්ධ වූ අතර, සමාජ අපෝස්තලික සේවා කෙරෙහිත්, මිනිස් අයිතිවාසිකම් රැකීමටත් යොමු විය. පිලිපීනයේ කතෝලික රදගුරු සංසදය විසින් මාර්කොස්ගේ රජයේ තත්ත්වය පිළිබඳ කිතුනුවන්ගේ අවධානය යොමු කරවන ලදී. එසේ වුවද රදගුරුවරුන් අතර ද යම් යම් මතභේදකාරී තත්ත්වයන්ද තිබුණි.

    එහිදී මාර්කොස්ගේ පාලනයට සහය පළ කළයුතු යැයි ඇතැමුන් පැවසූ අතර, තවත් අයෙක් දුප්පත් ජනතාව වෙනුවෙන් හා මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් ඒ ගැන විග්‍රහ කරන්නටද වූහ. රදගුරු සංසදය තුළ මෙලෙස ඒකමතික ස්ථාවරයක් නොතිබීම නිසා එය මාර්කොස්ගේ කෲරතර පාලන තන්ත්‍රය තව දිගු වීමට හේතුවක් වන්නට ඇතැයි සිතිය හැකිය. රදගුරු සංසදය තුළ මෙලෙස විවිධ මත දැරූ කණ්ඩායම් තුනක් දැකගත හැකිය.

    * හමුදා නීතිය ආරම්භ වන සමයේදී රදගුරු සංසදයේ සභාපතිව සිටි කාඩිනල් ජූලියෝ රොසාලිස් සමඟ ඇතැම් රදගුරුවරු ඒකාබද්ධ වෙමින් මාර්කොස්ගේ රජයට සහය පළ කළහ.

    * 1974 තෙක් මැනිලාහි රදගුරු වූ කාදිනල් ජෙයිම් සින් සමඟ ඒකාබද්ධ වූ දගුරුවරුන් මැදපිළිවෙතක් අනුගමනය කරමින් ‘ප්‍රශ්නවලට සහය’ නමින් ඒකාරාශී වුවත් පසුව එය ‘ප්‍රශ්නවලට නොසහය’ ලෙස හඳුන්වා දෙන්නට විය.

    * අවසාන වශයෙන් ක්ලෙවර් හා ජුලියෝ ලබායන් යන රදගුරුවරුන් වටා ඒකාබද්ධ වූ කණ්ඩායම විසින් මානව අයිතිවාසිකම් නොසලකා හරින, වංචාවෙන් දූෂණයෙන් පිරුණු හමුදා නීතියට ඔවුන්ගේ විරුද්ධත්වය පළ කර සිටින ලදී.

    අන්තෝනියෝ ෆෝටිච් නම් රදගුරුවරයෙක් සීනි සංස්ථා ඉඩම්වල කම්කරුවන් සූරා කෑමට විරුද්ධව සටන් කළේය. මේ නිසා හෙතෙම දිළිඳු කම්කරු පන්තිය අතර ඉතා ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වූවේය. නමුත් ධනවත් වතු පාලකයන්ගෙන් ඔහුට විරෝධතා එල්ල විය. තත්ත්වය උග්‍ර වනවාත් සමඟම ඔහුගේ නිවෙස ගිනි තබා විනාශ කළ අතර, වද හිංසා පමුණුවා ඔහුව පුළුස්සා මරා දැමුවේය. මෙම පහරදීම් පිළිබඳ චෝදනා පාලකයන් වෙත එල්ල වූවත් නීතියෙන් ගැලවීම ඔවුන්ට ලැබුණි.

    ලබන සතියට…

    රොමේෂ් නෝනිස් 
    සහකාර කථිකාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here