2020 FLASHBACK

0
56
ජනවාරි 7, 2021

නවමු පැතුමන් සමගින් නව වසර උදා වූයේය. අලුත ලැබූ වසරේ බොහෝ දෙනෙකුගේ පැතුම වන්නේ මේ වසංගත තත්ත්වය ඉතා ඉක්මනින් දුරු වේවා යන්නයි. 2021 නව වසරට සුබ ප්‍රාර්ථනා එකතු කරන ගමන් අප මේ සූදානම් වන්නේ ඉකුත් වසරේ කලා ලොව මතක සටහන් ගොන්න ඔබ ඉදිරියේ දිග හැරුමටයි..

 

සුපුරුදු පරිදි 2020 වසර එළඹුණේ සැම සිත් සතන් තුළ අලුත් බලාපොරොත්තු ගොඩ නංවමිනි. ඒ වසරේ ජනවාරි මාසයේ දී ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහයන් තමන්ගේ ජීවිත ගමනේ හැත්තෑ වැනි සැතපුම් කණුව පසු කරන ලදි. ඔහු එය සමරනු ලැබුවේ සුවිසෙස් ප්‍රසංගයක් සංවිධානය කරමිනි. එදින සහෘදයෝ රැසක් සුනිල් එදිරිසිංහයන්ට සුබ පතන්නට එක්ව සිටියෝය. ලොව විශිෂ්ටතම සිනමාකරුවෙකු වන මනිරත්නම් තමන්ගේ නවතම සිනමා සිනමාපටය වූ පොන්නියන් සෙල්වම් ශ්‍රී ලංකාවේ රූපගත කරන බව දැනුම් දුන්නේ ජනවාරි මාසයේදීය. කොලිවුඩයේ ජනකාන්ත නළු නිළියන් රැසක් එහි රංගනයෙන් දායක වීමට නියමිතව තිබූ අතර මේරටේ දක්ෂ රංගන ශිල්පියෙකු වූ ශ්‍යාම් ප්‍රනාන්දු ඊට තෝරා ගෙන තිබිණ අභාග්‍යයකට කොරෝනා වසංගතයේ හේතුවෙන් එය රූපගත කිරීමට නොහැකි වුණත් ළඟදීම එය තිරයට නැගීමට සූදානමින් සිටී. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරන ගාඩි සිනමාපටය ආසියාවේ හොඳම චිත්‍රපට 100 අතරට තේරීපත් විය.  Asian Film festival වෙබ් අඩවිය මගින් මේ වර්ගීකරණය සිදු කොට තිබිණි. ලොව පූජිත සිනමාකරුවන්ගේ චිත්‍රපට මෙම විශිෂ්ටතම සිනමාපට සියය අතරට තේරී පත්ව තිබූ අතර ශ්‍රී ලංකාවෙන් නම් කොට තිබුණේ ගාඩි සිනමාපටය පමණි.

ජාතික චිත්‍රපට සංස්ථාවට අභිනව සභාපතිවරයෙකු පත් විය. ඒ ආචාර්ය ජයන්ත ධර්මදාසයි. ඔහු එම සභාපතිධුරයට පත්වුණේ පස්වැනි වතාවටයි. එමෙන්ම ස්වාධීන රූපවාහිනියේ සභාපති හැටියට ප්‍රවීණ ටෙලි සිනමා නිර්මාණකරු සුදත් රෝහණ පත්වූ අතර ටවර් හෝල් පදනමේ සභාපති ලෙස නීතිඥ, නාට්‍යවේදී ආචාර්ය ඩග්ලස් සිරිවර්ධන යළි දෙවැනි වරටත් පත් කරන ලදී .

ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමාපටය වූ සුනාමි මංගල දර්ශනය ජනවාරියේ දී පැවැත්විණ. එහි මංගල දින 10.30 දර්ශනය නොමිලයේ පැවැත්වීමට කටයුතු සම්පාදනය කොට තිබිණ.

හෙළ නිළි රැජන ආචාර්ය මාලනී ෆොන්සේකා පූනේ අන්තර්ජාතික සිනමා උලෙළේ විනිශ්චය මණ්ඩලයට සහභාගිවීම සඳහා ජනවාරි මාසයේ දී විදෙස්ගත වූවාය.

මෙරට කතානාද සිනමාවට වසර හැත්තෑ තුනක් සපිරිම 2020 ජනවාරි මස විසි එක් වන දා සිදුවිය. එමෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාවට වසර හතළිස් අටක් ගෙවිණ.

රියැලිටි කලාව භාවිත කරමින් නවමු තරු රැසක් කලා ලොවට හඳුන්වා දුන් සිරස ආයතනය මගින් තවත් එවැනිම ජනප්‍රිය ගණයේ රියැලිටි වැඩසටහනක් හඳුන්වා දෙන ලදි. the voice teens  ලෙස නම් කළ එය මගින් ජනප්‍රිය තරු රැසක් මෙරට සංගීත ක්ෂේත්‍රයට එකතු විය. ජාතික කලා මණ්ඩලයේ සභාපති ලෙස ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ පත්වූයේද 2020 ජනවාරි මාසයේදීය.

ඉතා දිගු කලකට පසු එක් මසක් තුළ සිනමාපට පහක් තිරගත වන්නට සූදානම් වූයේ 2020 පෙබරවාරි මාසයේදීය. ඊතලය, නිම්හිම්, සේද මාවතේ, සුපර්ණා සහ ද හෝන් එම සිනමාපටයන්වේ. නමුත් තිරගත වූයේ ඉන් තුනක් පමණි. මෙම සිනමාපට අතරෙන් නිම්හිම් සිනමාපටය තිරගත නොවූ අතර ඊතලය මාර්තු මසදී තිරගතවිය. කොවිඩ් වසංගතය හේතුවෙන් සිනමා ශාලා වසා දැමීම සමඟ එකී චිත්‍රපටයන් ප්‍රදර්ශනය නවතා දැමීය. මාර්තු මසදී කොවිඩ් වසංගතය මෙරට පැතිර යාම හේතුවෙන් එම වසරේ මාර්තු මස 12 සිනමාශාලා වසා දැමීය. රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබියදී ජුලි මස 27 වැනි දා නැවතත් සිනමාශාලා සිනමා ලෝලීන් වෙනුවෙන් විවෘත විය. යළිත් ඔක්තෝම්බර් මස 27 වැනි දා සිනමා ශාලා වසා දැමූ අතර ඒවා යළි විවෘත කිරීම සිදුවූයේ 2021 ජනවාරි මස පළමු වැනිදාය.

රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ අභිනව සභාපති ධූරය ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණියට හිමිවිය. ප්‍රවීණ සංගීතඥ, ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරයට පත් වන්නේ මෙම මාසයේ දීය.

ප්‍රථම වතාවට මෙරටදී කාන්තා සිනමා උළෙල පැවැත් වූයේ 2020 මාර්තු මාසයේදී ය. එය කොළඹ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ අතර ඒ සඳහා හොඳ ප්‍රේක්ෂක සහභාගිත්වයක් තිබිණ. මෙරට සිනමා උලෙළ සංවිධානය කිරීමෙහිලා පුරෝගාමීව කටයුතු කරන අනෝමා රාජකරුණා මෙයට මූලිකත්වය ගත්තේය.

කෝවිඩ් වසංගතය හේතුවෙන් මෙරට පලමු වතාවට වසා දැමීම සිදු වූ මාර්තු මාසේ අග සතියේ සිට බොහෝ පුවත්පත් මුද්‍රණය ද නැවතිණ සරසවිය පුවත්පත ද එසේ වූ අතර සරසවියේ ඉතිහාසය අලුත් කරමින් ඊ පුවත්පත ප්‍රේක්ෂක ඔබට තිළිණ කිරීම ආරම්භ කරන ලදී. එතැන් පටන් ජුනි එකොළොස් වැනි දා සරසවිය යළි පමුද්‍රණය කරනතෙක් පාඨක ඔබට රසවිඳීමට හැකි වූයේ සරසවිය ඊ පුවත්පතයි ඒ සඳහා ඉහළ පාඨක ප්‍රතිචාරයක් ලැබූ අතර සරසවිය ෆේස්බුක් ගිනුමේ ලක්ෂයකට වඩා නව පාඨක පිරිසක් එක්රොක්ව සිටියෝය. මෙතෙක් අඩුවක්ව පැවති ගී පද රචකයින් වෙනුවෙන් සංගමයක් ආරම්භ වන්නේ 2020 වසරේ ජූලි මාසයේ දීය. ඒ සඳහා මෙරට වෙසෙන දැනට ජීවතුන් අතර සිටින ගී පද රචකයින් සියල්ලම පාහේ එක් රැස් වූ අතර ඔවුන් වෙනුවෙන් සුබසාධන වැඩපිළිවෙළක් ද ආරම්භ කරන ලදී. වේදිකා නාට්‍යකරුවන් දිරිගැන්වීම සහ වේදිකා නාට්‍යයට ලැදී පේ‍්‍රක්ෂකයින් නාට්‍ය ශාලාවන්ට ගෙන්වා ගැනීමේ අරමුණින් ටවර් හෝල් පදනම සංවිධානය කළ පේ‍්‍රක්ෂා ජූලි මස දී පවත්වන ලදී. එහිදී වේදිකා නාට්‍ය රැසක් රංගගත වූ අතර වැඩි පේ‍්‍රක්ෂක ඉල්ලීම මත එය මසක් දීර්ඝ කිරීම සිදුවිය. පැරණි ටෙලි නාට්‍ය ස්වාධීන රූපවාහිනිය ඔස්සේ නැවත විකාශය කිරීම ආරම්භ කරන ලදි. පිටගම්කාරයෝ ඇතුළු විශිෂ්ට ටෙලි සිතුවම් රැසක් ඒ සංකල්පය ඔස්සේ න්වතත් ප්‍රේක්ෂකයන්ට රස විඳීන්නට හැකි විය. 2020 අගෝස්තු මස පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව සිනමාවට සබැඳී තිදෙනකුට අමාත්‍ය ධුර හිමි විය. ඒ සිනමා නිෂ්පාදකවරුන් ලෙස කටයුතු කළ ආචාර්ය බන්දුල ගුණවර්ධන, ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල සහ සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර යන මහත්වරුන්ටයි. එමෙන්ම කලාවට සබැඳී කීප දෙනෙකු මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලැබීය. ඉන් ප්‍රමුඛ වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. ඔහු නොමියන මිනිසුන් චිත්‍රපටය ඇතුළු සිනමාපට කිහිපයකත් බැද්දේ සෙනෙහස වැනි ටෙලි නාට්‍යවලත් චරිත මැවූ අයකි. සරසවිය සම්මාන දිනූ කිහිපදෙනෙකු ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඒ දෙවතාවක් හොඳම නිෂ්පාදක ලෙස සරසවිය සම්මාන දිනූ ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ගීතා කුමාරසිංහ, හොඳම නිෂ්පාදක ලෙස සම්මාන දිනූ ආචාර්ය ගුණපාල රත්නසේකර, ජනප්‍රිය හා හොඳම නළුවා ලෙස සම්මාන දිනූ රන්ජන් රාමනායක ඒ අතරින් කැපී පෙනෙයි. මේ අතරින් ගීතා හොඳම නිළිය, ජනපි‍්‍රය නිළිය, හොඳම නිෂ්පාදක, ජනපි‍්‍රයම නිෂ්පාදක යන සරසවිය සම්මාන එකවර දිනා වාර්තාවක් ද තබා තිබේ. මෙයට අමතරව කලා ක්ෂේත්‍රයට සම්බන්ධ උද්දික ප්‍රේමරත්න, ජයන්ත කැටගොඩ, පියල් නිශාන්ත රෝහිත අබේගුණවර්ධන, රංජිත් සියඹලාපිටිය, ආචාර්ය විජයදාස රාජපක්ෂ ආදී පිරිස ද පාර්ලිමේන්තුවට තේරී පත්වූහ. කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දමා තිබූ සිනමා ශාලා විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රේක්ෂකයින් නැවත සිනමා සිනමාශාලා වෙත කැඳවා ගැනීමේ අරමුණින් සරසවිය පුවත්පත සහ scope cinema  එකමුතුවෙන් සැප්තැම්බර් මසදී සිනමා උළෙලක් පවත්වන ලදි. එය ලිබර්ටි ශාලාවේදී පැවැත්වූ අතර මෙතෙක් තිරගත නොවණු සිනමාපට පහක් එහිදී තිරගත විය. කතුරු මිතුරු, මිදුණු විශ්වය, යුගාත්‍රා, මිස් ජෙනිස් සහ ගින්දරී 3 එම සිනමාපටයන්වේ. මෙම උළෙලට අතිශය විශාල සංඛ්‍යාවක් සිනමා ප්‍රේක්ෂකයන් එක්ව සිටිනු දකින්නට ලැබිණි. එය ඉතා සාර්ථක උලෙළක් වූ අතර තිරගත කිරීමට නියමිතව තිබූ අගනා සිනමාපට සිනමා ලෝලීන්ට දැක බලා ගැනීමේ විරල අවස්ථාව ඉන් උදා විය. සැප්තැම්බර් මාසයේ පැවැත්වුණු රාජ්‍ය නාට්‍ය උළෙලට සමගාමීව නාට්‍ය කීර්ති සම්මානයෙන් ප්‍රවීණ කලාකරුවන් තිදෙනකු පිදුම් ලැබීය. ඒ නිශ්ශංක දිද්දෙනිය, අනුලා බුලත්සිංහල සහ බුද්ධදාස ගලප්පත්තිය. කලාව වෙනුවෙන් මෙතෙක් කළ සේවය අගයමින් එම සම්මානයන් ඔවුනට පිරිනමන ලදි. මාර්තු මසදී පැවැත්වීමට තිබූ දහනව වැනි රයිගම් සම්මාන උළෙල සැප්තැම්බර් මාසයේ දී පැවැත්වූ අතර සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි සිතුවම එහි විශිෂ්ටතම ටෙලි සිතුවම ලෙස සම්මානයට පාත්‍ර විය.

2020 ඔක්තෝබර් මාසයේදී මෙරට සිනමා පට රැසක් අන්තර්ජාතිකව සම්මානයට පාත්‍ර විය. සුනාමි, පාංශු, විෂම භාග ඇතුළු එම සිනමාපට ජගත් කීර්තියට පත් වූයේ ඔන්ලයින් ක්‍රමයට පැවැත්වූ සම්මාන උලෙළ මගිනි. එයට අමතරව චීනය පැවැත්වූ silkroad  අන්තර්ජාතික සම්මාන උළෙලේ විනිශ්ච මණ්ඩලය නියෝජනය කිරීමට මෙරට ප්‍රවීණ කලාකරුවකු වන ඈෂ්ලි රත්නවිභූෂණට අවස්ථාව හිමි විය. මෙරට පැවැත්වූ ප්‍රථම ඔන්ලයින් කෙටි චිත්‍රපට සම්මාන උලෙළ පැවැත්වූයේ 2020 දෙසැම්බර් මාසයේදීය. එය ද සංවිධානය කොට තිබුණේ ඒ ඇජෙන්ඩා 14 වෙනුවෙන් අනෝමා රාජකරුණා විසිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here