2021: ප්‍රේමයේ ආනන්දය නොහොත් පවුල් වසර

    0
    7

    මේ වසර “ප්‍රේමයේ ආනන්දය” පවුල් වසර ලෙස ප්‍රකාශයට පත් කරන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසයි.

    “ප්‍රේමයේ ආනන්දයේ පවුල” (Amoris Laetitia Family) ලෙස මෙම වසර හැඳින්වේ. එය ආරම්භ වන්නේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් පවුල වෙනුවෙන් නිකුත් කරන ලද Amoris Laetitia හෙවත් “ප්‍රේමයේ ආනන්දය” අපෝස්තලික සංදේශයට වසර 5ක් සපිරෙන 2021 මාර්තු මස 19 වැනිදා ය. ලොව පුරා කතෝලික ජනතාව ශු. ජුසේ මුනිඳුන්ගේ මංගල්‍යය පත්වන්නේද මෙදිනය. “ප්‍රේමයේ ආනන්දයේ පවුල” වසර 2022 ජුනි මස 26 වැනිදා පරිසමාප්තියට පත් වේ. දස වැනි ජගත් පවුල් හමුව රෝමයේ දී ආරම්භ වන්නේ එදින ය. “ප්‍රේමයේ ආනන්දය” අපෝස්තලික සංදේශයේ පණිවිඩය කේන්ද්‍ර කරගනිමින් පවුල පිළිබඳ වඩා ගැඹුරින් භාවනා කිරීම මේ වසරේ අරමුණ වී තිබේ.

    “ගෘහාශ්‍රිත සභාව ලෙස පවුලේ කේන්ද්‍රීය භූමිකාව වසංගත අත්දැකීම විසින් වඩාත් අවධාරණය කර ඇතැ”යි මේ වසර ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ නිවේදනය මගින් ගිහියා, පවුල සහ ජීවිතය පිළිබඳ වතිකාන දෙපාර්තමේන්තුව කියයි. “එසේම මේ අත්දැකීම විසින් පවුල් අතර ප්‍රජා සම්බන්ධතාවල වැදගත්කමද ප්‍රදර්ශනය කර ඇත. “ප්‍රේමයේ ආනන්දයේ පවුල” වසර තුළ සිදු කිරීමට සැලැසුම් කර ඇති ආධ්‍යාත්මික, දහම් සේවා සහ සංස්කෘතික මූලිකත්වයන් මගින් සෑම එක් එක් පුද්ගලයකුම පවුල් ප්‍රේමයේ සාක්ෂිකරුවකු වන ලෙස දිරිමත් කරමින්, ලොව පුරා සෑම ශාසනික ප්‍රජාවකටම ආමන්ත්‍රණය කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බලාපොරොත්තු වන්නේ යැ ,” යි එම දෙපාර්තමේන්තුව පවසයි.

    “ප්‍රේමයේ ආනන්දයේ පවුල” වසර පිළිබඳව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා වෙසෙන කතෝලික ජනතාවට හෙළිදරව් කළේ කිතුනු පවුලේ ආදර්ශය වන ශුද්ධවූ පවුලේ මංගල්‍ය දිනයේය. එදින තුන්කාල ආරාධනා මරිය දැහැන අවස්ථාවේ එතුමා ශුද්ධ වූ පවුලේ ආදර්ශය ගැනද භාවනා කරමින් පවුල් වසරට පදනමක් දැම්මේය.

    “දේව පුත්‍රයාට, සියලුම දරුවන් මෙන්, පවුලක උණුසුම අවශ්‍ය වුණා. නාසරෙත් ගමේ ජීවත් වූ මේ පවුලේ ප්‍රමුඛ ලක්ෂණයක් වූයේ ආනන්දය යි. තමා වට කරගත් මරියාවන් ගේ මව් සෙනෙහසත් ජුසේ තුමන් ගේ රැකබලා ගැනීමත් තුළ ළමා ජේසු දෙවියන් වහන්සේගේ මෘදු බව සහ කරුණාව දුටුවේය.”

    පවුල් ඒකකයේ ඇති අධ්‍යාපනික වටිනාකම යළි සොයා ගැනීමට අපද කැඳවනු ලැබ සිටින බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. “පවුල්වල පදනම විය යුත්තේ සම්බන්ධතා නිරන්තරයෙන් ප්‍රකෘතිමත් කරනු ලබන ප්‍රේමයය. එවිට බලාපොරොත්තුවේ නව දිගන්තයන් නිතර විවර වන්නේය.”

    පවුලක් යාච්ඥාවේ, සෙනෙහසේ, සමාව දීමේ, කරුණාවේ, මෘදු බවේ සහ දේව කැමැත්තට එකඟ වීමේ ප්‍රජා බවට පත්වීමේ වැදගත්කම සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. “පවුල මේ මාර්ගයේ පිය නගන විට, ප්‍රීතියෙන් දීමට දන්නා වූ සියල්ලන්ට දෙවියන් වහන්සේ දානය කරන ප්‍රීතියට එය විවෘත වේ.”

    ‘ප්‍රීතියෙන් සිටින පවුලක් මිත්‍රශීලීය; සුහදය. පිටස්තර ලෝකයට සහ අන්‍යයන්ට විවෘත වීමටත් සිය සහෝදර සහෝදරියන්ට සේවාව කිරීමට සහ නැවුම් සහ වඩා යහපත් ලෝකයක් ගොඩ නැගීමටත් අවශ්‍ය ආධ්‍යාත්මික බලශක්තිය එවැනි පවුලකට ලැබේ,’ යයි එතුමා විස්තර කළේය.

    සෑම පවුලකටම ප්‍රශ්න තිබෙන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. සෑම පවුලක්ම ගැටලුවලට, අර්බුදවලට මුහුණ දෙයි. “අපි පවුල තුළ සටන් කරමු. ගැටුම් ඇති කර ගනිමු. එසේ වන්නේ අප මනුෂ්‍යයන් නිසාය; අප දුර්වල නිසාය,” යි එතුමා පැහැදිලි කළේය.

    එහෙත් එවැනි ගැටුම්වලට මහුණ දෙන අවස්ථාවල සම්බන්ධතා ප්‍රකෘතිමත් කරගත හැකි මෘදු බවේ සූත්‍රයක් එතුමා කියා දුන්නේ ය. එය වචන තුනකි: “මා ඔබට එක දෙයක් කියන්නම්. ඔබ පවුල තුළ ගැටුම් ඇති කර ගත විට යළි සාමය ඇති කර ගැනීමෙන් තොරව දවස අවසන් නොකරන්න. ඒ සඳහා මේ වචන තුන ඔබේ පවුල්වල නිතර භාවිත කරන්න. එනම්, කරුණාකර, ස්තුතියි සහ සමාවෙන්න යන වචන තුනයි. මේ වචන තුන පවුල තුළ පවතිනවා නම්, පවුල යහපත් තත්වයේ පවතිනු ඇති.”

    ශුද්ධ වූ පවුලේ මංගල්‍යය අපට උගන්වන්නේ “ප්‍රේමයේ ආනන්දය” අපෝස්තලික අනුශාසනයෙන් අවධාරණය කරනු ලැබූ වෛවාහික සහ පවුල් ප්‍රේමයේ වැදගත්කම බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැවසුවේය. එම අනුශාසනා පත්‍රය නිකුත් කරන ලද්දේ මීට වසර 5 කට පෙර ශු. ජුසේ මුනිඳුන් ගේ මංගල්‍ය දිනයේය.

    “ලබන වසර ප්‍රේමයේ ආනන්දය පිළිබඳ මෙනෙහි කිරීමේ වසරක් වනු ඇත. එය එම ලේඛනයේ අන්තර්ගත කරුණු වඩා ගැඹුරින් හැදෑරීමේ අවස්ථාවක් උදා කරයි. මේ විශේෂ වසර තුළ එම අනුශාසනා පත්‍රය මත ගොඩ නැගුණු භාවනා සහ මෙනෙහි කිරීම් ශාසනික ප්‍රජාවලටත් පවුල්වලටත් ලබා දීමට කටයුතු කෙරේ. මෙහි අරමුණ පවුල් ඔවුන්ගේ ගමන තුළ ඔවුන් කැටුව යාමය.”

    මේ නිසා 2021 පවුල් වසර වෙනුවෙන් ගිහියා, පවුල සහ ජීවිතය පිළිබඳ සසුන් පිය දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කෙරෙන වැඩසටහන්වලට පූර්ණ වශයෙන් සම්බන්ධ වන්නැයි සුදොතුම් පියතුමා සියලු පවුල්වලින් ඉල්ලා සිටියේ ය.

    “ප්‍රේමයේ ආනන්දයේ පවුල වසර තුළ සභාවේ ගමන නාසරෙතයේ ශුද්ධ වූ පවුලටත්, විශේෂාකාරයෙන් ලෙන්ගතු සැමියකු සහ පියකු වූ ශු. ජුසේ තුමන්ටත් කැප කරමු” යි ද එතුමා සඳහන් කළේය.

    සමන් කපිල විජේසූරිය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here