EPF, ETF අහිමි දෙපිරිසකට නව වසරේ බලාපොරොත්තු

    0
    8
    Author(s): 
    ජයසිරි මුණසිංහ

    ඩබ්. සී. බණ්ඩාර සභාපති  
    ජීවිත රක්ෂණ නියෝජිතයන්ගේ සංගමය

    කොවිඩ් – 19 ‍ගෝලීය වසංගතය හමුවේ අප රටේ පමණක් නොව මුළු ලෝකයේම රටවල සමාජ ආර්ථික සංවර්ධන විෂයන්හි යම් බිඳවැටීමක් සිදුවී තිබේ. එය ගත වූ 2020 වසර තුළ අපට දැනෙන්නට පටන්ගත් අතර, මේ වසරේදී ද එය සැලකිය යුතු අයුරින් වෙනස් වී සුබවාදී තත්ත්වයක් උදා වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

    කෙසේ නමුත් කොවිඩ් වසංගතය හමුවේ, රැකියා අහිමිවීම්, ආදායම් පහළ යෑම්, දරිද්‍රතාව ඉහළයෑම සිදුවීමට ඉඩ තිබේ. මෙවැනි අයහපත් දේ සිදු නොවීමට නම් හැකි තරම් අප කොවිඩ් සමඟ පොරබදමින් සාමාන්‍යකරණයක් සිදුකොට ඒ සමඟ ජීවත්වීමට පුරුදුවිය යුතුය. මෙවැනි සංදර්භයක් තුළ වඩාත් අවුලෙන් අවුලට පත්වන සේවක පිරිසක් අප සමාජයේ සිටිති. ඒ වෙන කිසිවකුත් නොව අප සමාජයේ ප්‍රගමනයට විශාල වශයෙන් තම දැනුම, ශ්‍රමය, කාලය කැප කරන පිරිසකි.

    එම දෙපිරිස පහත දක්වා සිටීමට කැමැත්තෙමු.

    උතුරු දකුණ නැගෙනහිර බටහිර සිවුකොන ශ්‍රී ලාංකේය ජනතාවගේ දුක් කඳුළු සතුට සොම්නස පිරි සියලු පුවත් මාධ්‍ය ඔස්සේ ජාතික සහ ජාත්‍යන්තර තලයට රැගෙන යෑමේ මුල්පුරුක ප්‍රාදේශීය ජනමාධ්‍යවේදියායි. ඔවුහු දහසකුත් එකක් බාධා මධ්‍යයේ තම ප්‍රදේශවල ජනතාවගේ පුවත් කොළඹ ප්‍රධාන ජනමාධ්‍ය ආයතන වෙත යුහුසුලුව ලබාදෙමින් කටයුතු කරති.

    එලෙසම ක්‍රියාකරන තවත් නියෝජිත කණ්ඩායමක් ද අප සමාජයේ සිටිති. ඔවුහු රක්ෂණ සමාගම්වල අලෙවි අංශය බාර නියෝජිතයෝ වෙති. ජීවිත රක්ෂණ නියෝජිතයන් ලෙස ඔවුන් මේ වනවිට සිය රැකියාව ස්ථීර කර ගැනීම සඳහා සංවිධානය වී ඇත. ‍

    ‍ෙම් දෙපිරිසම රටට සමාජයට මහත් වූ සේවාවක් ඉටුකරති. මේ දෙපිරිසටම එක සමාන අහිමිවීමක් ඇත. එනම් මේ දෙපිරිසටම සේවක අර්ථ සාධක අරමුදලේ (EPF) හෝ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ (ETF) සාමාජිකත්වය හෝ ප්‍රතිලාබ ලබාගැනීමේ හිමිකම නැත. මේ දෙපිරිසටම රැකියා ස්ථිර භාවයක් හෝ ස්ථිර ආදායම් මාර්ගයක් නොමැත.

    දිගු කලක් තිස්සේ මහත් වූ සේවාවක් සමාජයට ඉටුකරමින් සිටිය ද විශ්‍රාමික වයස එළැඹි පසු යම් හව්හරණක් ලබාගැනීමට තිබෙන එකම හිමිකම වන මේ අරමුදල් දෙකෙහි ප්‍රතිලාභ නොමැතිකම මේ දෙපිරිසම මුහුණ දෙන ඉතාම කනගාටුදායක තත්ත්වයයි. මෙලෙස තමන්ගේ ගත සිත සවිමත් අවස්ථාවල සේවය ලබා දී එය දුර්වල වූ විට සරණක් පතා තමන්ටත් යම් රැකවරණයක අවශ්‍යතාවය මතු වූයේ අද ඊයේ නොවේ.

    එය නිසාම තමන්ටත් සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ සාමාජිකත්ව‍ය හිමිවන අයුරින් රැකියා අවස්ථාව සකස් කරනා ලෙස ඔවුහු විවිධ රජයන්ට විවිධ අවස්ථාවල යෝජනා ඉදිරිපත් කර ඇත. විවිධ කරුණු දැක්වීම් සිදුකොට ඇත.

    එනමුත් ඊට යහපත් ප්‍රතිචාර රට පාලනය කළ කිසිදු රජයකින් නොලැබිණි.

    මෙම පසුබිම තුළ තම දුක්ගැනවිල්ල නැවත වතාවක් රට හමුවේ තැබීමට අප කටයුතු කළෙමු.

    එහිදී විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම සමාජ සංවර්ධන කතිකාව තුළ තම කණ්ඩායම් වැනි සමාජයට මහත් වූ සේවාවක් ඉටුකරන පිරිසගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා හතළිස් හතරදහසක් තරම් වූ රක්ෂණ නියෝජිතායතනවල අලෙවි නියෝජිතයෝ මෙන්ම ප්‍රාදේශීය ජනමාධ්‍යවේදිහු ද මහත් වූ අරගලයක නිරතව සිටිති. ඉකුත්දා කොළඹ ගාලුමුවදොර පිටියට එක්රැස් වූ අප කොවිඩ් 19 ගෝලීය වසංගතය මධ්‍යයේ පවා මේ පිළිබඳව සොයා බලන ලෙස රජයට පෙන්වා දුන්නේය.

    ඊට ඉතා ඉක්මනින් යහපත් ප්‍රතිචාර දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරීන්ගේ අවධානය මේ කරුණ වෙත මේ වනවිට ලැබී තිබේ. එපමණක් නොව කම්කරු අමාත්‍ය අධිනීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්ගේ අවධානය ද ඊට ලැබී ඇත.

    මේ හේතුව නිසාම ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ට සහ රක්ෂණ නියෝජිතායතනවල කොන්ත්‍රාත් පදනමින් සේවය කරන නියෝජිතයින්ට ඉහත කී අරමුදල් දෙකේ සාමාජිකත්වය සහ ප්‍රතිලාභ හිමිවන ආකාරයට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි දැනටමත් රජය බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

    මේ පිළිබඳව ඉකුත්දා විෂය භාර අමාත්‍ය අධිනීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ද හඬ නැඟුවේය. එහිදී විෂය භාර අමාත්‍යවරයා සඳහන් කළේ සමාජයේ ඉසිඹු ලබන අවදියට පැමිණෙන සියලුදෙනාට යම් රැකවරණයක් ලබාදීම සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් වහාම ආරම්භ කළ යුතු බවය.

    එහිදී දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්, වැඩපිළිවෙළක් ස්වයං රැකියාවල නිරතව සිටි පිරිසට පවා හිමිවන අයුරින් එය ආරම්භ කළ යුතු බව ද ඒ සඳහා මූලික අරමුදලක් ලෙස රජයෙන් යම් මුදලක් ලබාදීමට වුව පසුබට නොවිය යුතු බව ද කම්කරු ඇමැතිවරයා අවධාරණය කළේය.

    මෙම සියලු සුබවාදී කරුණු සැලකිල්ලට ගෙන නැවත වතාවක් කතිකාවක් බවට පත්ව ඇති ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ට, රක්ෂණ නියෝජිතායතනවල අලෙවි නියෝජිතයන්ට වෘත්තීයභාවය ඉහළ නැංවීමට සහ රැකවරණයක් සහිත විශ්‍රාම ආරක්ෂණ ක්‍රමවේදයක් ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට රජය ගන්නා උත්සාහයට අපිදු සියලු සහයෝගයන් ලබාදීමට පෙළගැසී සිටින බව සතුටින් සඳහන් කිරීමට කැමැත්තෙමු. 

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here