ETI ස්වර්ණමහල් අධ්‍යක්ෂවරු සිව් දෙනාට ඇප

0
38
Author(s): 
සුභාෂිණී සේනානායක

ඊටීඅයි සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අයවළුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (06) නියෝග කළේය. ඔවුන් සිවු දෙනාගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරයා ඒ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස නියෝග කළේය. එමෙන්ම සැකකරුවන්ට සෑම මසකම සති දෙකකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නේය. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥ මඬුල්ල අධිකරණයට කරුණු දක්වමින් අධිකරණය මඟ හැරීමක් කර නැති බවත් ඇප දිය හැකි වරදක් බව පෙන්වා දුන් අතර ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

මේ සමාගම් සමූහයේ අධිපතිනි නැසී ගිය සෝමා එදිරිසිංහ මහත්මිය ඇතුළු දරුවන් සිවු දෙනා තැන්පත්කරුවන් 23,000කගේ පමණ මුදල් වංචා කරමින් දෙස් විදෙස් දේපළ මිලදී ගෙන තම සුඛවිහරණය සඳහා යොදා ගෙන ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේය.

ඊටීඅයි සමාගම මහ බැංකුවේ ලියාපදිංචි සමාගමක් වුවද නීති විරෝධී අයුරින් බිලියන 6.480ක්ද ස්වර්ණමහල් ආයතනය ස්වර්ණාභරණ විකුණන මුවාවෙන් නීති විරෝධී ගිණුමකට රුපියල් බිලියන 7. 2ක් බැර කරගෙන ඇති බවත් මේ මුදල් බැර කරගෙන ඇත්තේ සති අන්ත පුවත්පත්වල දැන්වීම් පළ කිරීමෙන් බවද දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here