අඩසිය වසක් කප් ගැසූ රජරට මෛත්‍රී

    0
    11

    දේශපාලනය තුළ අවරුදු හතළිස් හතක් එක දිගට පාර්ලිමේන්තුව නියෝජනය කරනවා යනු අපූරු වාර්තාවකි. මෙරට දේශපාලනයේ ඉහළම තැනට ගිය දේශපාලනඥයන් පවා එක් වරක් හෝ මැතිවරණයක් පරාජයට පත්ව තිබේ. ජේ ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස මෙන්ම දේශපාලනයේ නොමැකෙන සටහන් තබා සිටින වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවා 1977 මහ මැතිවරණයේ දී පරාජයට පත් විය. දේශපාලනයේ ජය පරාජය සම සිතින් භාර ගත යුතු වුවද මෙරට දේශපාලනයේ කිසිදා මැතිවරණයකින් පරාජය නොවී අඛණ්ඩව මැති සබය නියෝජනය කළ දේශපාලනඥයකු සිටී නම් 1947 සිට 1994 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ මෛත්‍රීපාල සේනානායක මහතා පමණි. ඔහු අඛණ්ඩව නියෝජනය කළ ආසනය වූයේ රජරට දුෂ්කරම මැතිවරණ කොට්ඨාසයක් වූ මැදවච්චිය ආසනයයි.ඔහු මුල් වරට සිය වෘත්තීය දේශපාලනය ආරම්භ කරන්නේ කෘෂිකර්ම නිලධාරියකු ලෙසය.

    1947 මැතිවරණයෙන් මුල්ම වරට පාර්ලිමේන්තුවට පිවිසෙන සේනානායක මහතා මුලින්ම නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමිනි.

    එම මැතිවරණයේ දී ආරිය පතිරණ, ඩබ්ලිව් තෙන්නකෝන්, සහ යූ.බී මඩුකන්ද යන අපේක්ෂකයන් ස්වාධීනව ඉදිරිපත් වු අතර ඒ වන විට ජනතාවගේ ආකර්ෂණය නොමඳව දිනාගෙන සිටි මෛත්‍රීපාල සේනානායක මහතා ආසනය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 1879ක් ලබාගනිමින්.

    මෛත්‍රීපාල සේනානායක (එක්සත් ජාතික පක්ෂය) – ඡන්ද 3283

    ආරිය පතිරණ (ස්වාධීන) – ඡන්ද 1404

    ඩබ්ලිව් තෙන්නකෝන් (ස්වාධීන) – ඡන්ද 1247

    යූ.බී මඩුකන්ද (ස්වාධීන) – ඡන්ද 1196

    මෙම මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව මෛත්‍රීපාල සේනානායකට මහතාට උප ඇමති ධූරයක් හිමිවෙයි.

    1952 වසරේ පැවති දෙවන මහා මැතිවරණයේ දී මෛත්‍රීපාල සේනානායක මැදවච්චිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා බවට පත් විය. එහිදී ඔහු සමග සටනට පිවිසියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ ආරිය පතිරණ මහතායි. පළමු මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව ආසනයේ ජනතාවට ඔහු ප්‍රිය වූ නිසා දෙවන වරටත් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර එහිදී වැඩි ඡන්ද 6073ක් ලබාගත් අතර එහිදී මෛත්‍රීපාල මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඡන්ද 8112 ලබා ගත් අතර ඔහුට එරෙහිව තරග කළ ආරිය පතිරණ මහතා ඡන්ද 2019 ලබා ගත්තේය.

    එලෙස දෙවන වරටත් පාර්ලිමේන්තුවට පිවිසි ඔහුට ඩඩ්ලි සේනානායක රජයේ ස්වදේශ කටයුතු උප ඇමති ධූරය හිමිවුණි. එසේ කටයුතු කළ ඔහු 1953 දී එක්සත් ජාතික පක්ෂ රජය විසින් ඉදිරිපත් කළ අයවැයෙන් සත 25ට පැවැති හාල් සේරුව සත 70 දක්වා ඉහළ දැමුණි. එහි ප්‍රතිඵලය වූයේ විපක්ෂයේ සංවිධානත්වයෙන් රටේ මහා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමය. එම අවස්ථාවේ දී ආණ්ඩුව ගැන ඇතිවුණු අප්‍රසාදය හේතුවෙන් මෛත්‍රීපාල සේනානායක මහතා ද ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර, ඉන් ටික කලකට පසුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වුණි. ඔහු එම පක්ෂයට එක්කර ගැනීමට ඇරියම් කරන ලද්දේ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා විසිනි.

    1956 මහා මැතිවරණයේ දී මෛත්‍රීපාල සේනානායක මහතා ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වශයෙනි. ඔහුට එරෙහිව එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළේ 1947 සහ 1952 මහා මැතිවරණවල දී කලාවැව ආසනය ජයග්‍රහණය කළ සෙනෙවිරත්න මහදිවුල්වැව නම් අපේක්ෂකයා යි. එම කාල වකවානුව වන විට පැවති එක්සත් ජාතික පක්ෂ රජය ජනතා අප්‍රසාදයට ලක්ව තිබුණු නිසා බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ මැතිවරණය ජයග්‍රහණය කළේ විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගත් අතර එම ජයග්‍රහණය වඩාත් විචිත්‍ර වූයේ සේනානායක මහතා වාර්තා ගත ජයග්‍රආකාරයෙන්. එහිදී මෛත්‍රීපාල සේනානායක වැඩි ඡන්ද 9560ක් ලබාගනිමින් සිය ආසනය රැකගත්තේ පෙරටත් වඩා විශාල ජයග්‍රහණයක් ලබමින්.

    මැදවච්චිය ආසනයේ ඡන්ද ප්‍රතිඵලය 56 ජයග්‍රහණය විචිත්‍රවත් කරන ලදී.

    මෛත්‍රීපාල සේනානායක (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) – ඡන්ද 10829

    සෙනෙවිරත්න මහදිවුල්වැව (එක්සත් ජාතික පක්ෂය) – ඡන්ද 1269

    එලෙස තෙවන වරටත් පාර්ලිමේන්තුවට පිවිසි මෛත්‍රීපාල සේනානායක මහතාට 1956 බණ්ඩාරනායක රජයේ ගමනාගමන සහ රජයේ වැඩ අමාත්‍ය ධූරය හිමිවුණි. එම අමාත්‍ය ධූරය හිමිවීමෙන් පසුව ඔහු කළ සුවිශේෂී සේවාවක් වුයේ ජනසතු ව්‍යාපාර ආරම්භ කිරීම යි. ඒ අනුව බස් ජනසතු කිරීම මෙන්ම වරාය ජනසතු කිරීම සිදුවුණේ සාමාන්‍ය ජනතාවට සහනයක් සලසමිනි. එසේම එම කාලයේ දී මෛත්‍රීපාල සේනානානායක පක්ෂයේ උප සභාපතිවරයෙකු බවටත් පත්විය.

    1960 වසරේ මාර්තු මාසයේ පැවති මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වුණත් මෛත්‍රීපාල සේනානායක සිය ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සෙනෙවිරත්න මහදිවුල්වැව වැඩි ඡන්ද 7342කින් පරාජය කරමිනි.

    නමුත් එලෙස පත්වුණු ඩඩ්ලි සේනානායක ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජය රාජාසන කතාව පරාජයට පත්වීම නිසා එම වසරේ ජූලි මාසයේ දී යළි මැතිවරණයක් පැවැත්වුණි. එහිදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පියදාස මහතාව වැඩි ඡන්ද 7298කින් පරාජය කළ මෛත්‍රීපාල සේනානායක පිට පිටම 5 වැනි වරටත් මැදවච්චිය ආසනය ජයග්‍රහණය කළේය.

    එම මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ කර්මාන්ත, ස්වදේශ සහ සංස්කෘතික අමාත්‍ය ධූරයෙන් පිදුම් ලද ඔහු දේශීය කර්මාන්ත වැඩි දියුණු කිරීමට කටයුතු කළේය.

    1965 මහා මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යහපත් එකක් නොවුණද. එම මැතිවරණයෙන් ප්‍රතිවාදී එක්සත් ජාතික පක්ෂය ආසන 66ක් ජයග්‍රහණය කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළේ ආසන 41ක් පමණි

    මැදවච්චිය ආසනයේ ඡන්ද ප්‍රතිඵලය

    මෛත්‍රීපාල සේනානායක (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) – ඡන්ද 10839

    ඩී.ඇම් ආරියදාස (එක්සත් ජාතික පක්ෂය) – ඡන්ද 6108

    ඇම්.ඩබ්ලිව්.කේ පණ්ඩුල (ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය)- ඡන්ද 264

    ඩබ්ලිව්.ඇස් අබේසිංහ (මහජන එක්සත් පෙරමුණ) – ඡන්ද 156

    1970 මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව තනතුරු රැසක් හිමිවෙයි

    1970 මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ප්‍රබලම ප්‍රතිවාදියා වුණු එක්සත් ජාතික පක්ෂය හමුවේ විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගත් අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 91ක් ලබාගන්නා විට එක්සත් ජාතික පක්ෂයට හිමිවුණේ ආසන 17ක් පමණි. එම මැතිවරණයේ දී සුපුරුදු පරිදි මැදවච්චිය ජනතාවගේ විශ්වාසය දිනාගත් මෛත්‍රීපාල සේනානායක සිය ආසනය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 9598ක් ලබාගනිමිනි.

    එලෙස පිට පිටම 7 වැනි වරටත් මැදවච්චිය ආසනය ජයග්‍රහණය කළ ඔහුට සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ වාරිමාර්ග, විදුලිබල සහ මහාමාර්ග අමාත්‍ය ධූරය හිමි විය. එසේම එම රජයේ සභානායක ධූරය හිමිවුණේත් මෛත්‍රීපාල සේනානායකට යි. එලෙස සමගි පෙරමුණු රජයේ ප්‍රබල තනතුරු රැසකට උරුමකම් කී ඔහු අගමැතිනිය විදේශගත වුණු අවස්ථාවල දී වැඩ බලන අගමැතිවරයා ලෙසින් කටයුතු කළේය. ඔහු අමාත්‍ය ධූරය දැරූ සමයේ රජරට වැව් රැසක් ප්‍රතිසංස්කරණය කරමින් ගොවි ජනතාවට වගා කටයුතු වලට අවශ්‍ය ජලය ලබාදුන්නා. ඊට අමතරව මහවැලි ව්‍යාපාරය යටතේ පොල්ගොල්ල ව්‍යාපෘතිය අවසන් වුයේ මොහුගේ කාලයේ දීය. එසේම 1974 වසරේ දී නව ලක්ෂපාන බලාගාරය ජනතා අයිතියට පවරමින් රටේ විදුලිබල අවශ්‍යතාවයට විසඳුමක් ලබාදීමට ඔහු පියවර ගත්තේය.

    1977 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාව අතර අප්‍රසාදයට ලක්ව තිබුණු නිසා එම වසරේ දී පැවැත්වුණු මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේ එක්සත් ජාතික පක්ෂය යි. එහිදී එක්සත් ජාතික පක්ෂය ආසන 140ක් ලබාගන්නා විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවුණේ ආසන 8ක් පමණ යි. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්ත පරාජයක් ලබාගත් අවස්ථාවේ මෛත්‍රීපාල සේනානායක සිය ආසනය ජයග්‍රහණය කළේ සිය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කළ සුවිසල් මෙහෙවර නිසා ය.

    මැදවච්චිය ආසනයේ ඡන්ද ප්‍රතිඵලය

    මෛත්‍රීපාල සේනානායක (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) – ඡන්ද 14228

    ඩී.ඇම් ආරියදාස (එක්සත් ජාතික පක්ෂය) – ඡන්ද 13862

    එඩ්මන්ඩ් සියඹලාපිටිය (ස්වාධීන) – ඡන්ද 435

    එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුද රැසකට මුහුණදුන්නේය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැරලිකාර පිලේ සාමාජිකයෙකු වුණු මෛත්‍රීපාල සේනානායක සිය නායිකාවට විරුද්ධව වැඩ කිරීම නිසා පක්ෂ තහනමකට පවා ලක්විය. 1989 වසරේ දී සමානුපාතික ක්‍රමය යටතේ පැවති මුල්ම මැතිවරණය සඳහා මොහු තරග කළේ නැත. එවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් මෙතුමා පාර්ලිමේන්තුවට පිවිසි අතර, ඉන් පසුව 1994 වසරේ පැවති මහා මැතිවරණය සඳහා තරග නොකළ මෛත්‍රීපාල සේනානායක එවර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට අසමත් වුණු නිසා ඔහුගේ වසර 47ක පාර්ලිමේන්තු දිවිය අවසන් විය.

    උදිත ගුණවර්ධන

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here