අදට ගැළපෙන සෞඛ්‍යාරක්ෂිත නගර සැලසුම්

    0
    11
    Author(s): 
    මදාරා මුද­ලිගේ

    ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ අඩු වියදමකින්, ඕනෑම කෙනකුට ලෙහෙසියෙන් අනුගත විය හැකි සරල, ක්‍රමවත් නගර සැලසුම් ක්‍රමවේද වේ. විශේෂයෙන්ම නගර සැලසුම් සඳහා කල්පවත්නා බව සහ නිසි ප්‍රමිතිය අනිවාර්යයෙන්ම තිබිය යුතු ය. 

    වර්තමානයේ වරින් වර ශ්‍රී ලංකාවට විවිධ ව්‍යසනකාරී තත්ත්වයන් පැමිණේ. එම ව්‍යසනකාරී තත්ත්වයන්ට නොබියව මුහුණදී රට සංවර්ධනය කිරීම අභියෝගාත්මක කාර්යයකි. ගංවතුර, නායයෑම්, සුළිසුළං, හෝ සුනාමි ආදි ව්‍යසනකාරි ගැටලුවලට වඩා විශේෂයෙන්ම කොවිඩ් 19 වසංගතය වැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලාංකිකයන්ට, අකමැත්තෙන් වුව ද තම ජීවන රටාව වෙනස් කර ගැනීමට සිදුවෙයි. සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ පැලදීම, නිතර අත්සේදීම වැනි කාරණාවලට අනුගත වීමට ඔවුන්ට සිදු විය. මෙලෙස මිනිසුන්ගේ සාමාන්‍ය ජීවන රටාව වෙනස් වෙද්දී ශ්‍රී ලංකාවේ පමණක් නොව කොවිඩ් 19 පවතින අනෙකුත් රටවල්වල නගර සැලසුම් නව්‍යතාවකට ලක් කිරීමට සිදු විය.

    කොවිඩ් -19 හේතුවෙන් පසුගිය අවුරුද්දක පමණ කාල සීමාවක සිටම ලංකාවේ පමණක් නොව ලෝකයේ ප්‍රසිද්ධ නගරවල ක්‍රියාකාරීත්වය අඩපණ විය. 1920- 1930 අතර කාල සීමාව තුළදීද මහාමාරිය වැනි රෝග තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනයාගේ එදිනෙදා කටයුතුවලට දැඩි තර්ජනයක් එල්ල විය. ඒ කාල සීමාවේදී වසංගත තත්ත්වය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගොඩනැගිලි, නිවාස අතර දුරස්ථභාවය පවත්වා ගනිමින්, හිරු එළිය නිසි පරිදි ලැබෙන ආකාරයට නිදහස් ආකාරයෙන් ඉදි කිරීම් සකස් විය. කොව්ඩ් තත්ත්වය මත වර්තමානයේදී ගොඩනැගිලි සහ නගර සැලසුම් කිරීම සඳහා විශේෂ වු ගොඩනැගිලි නීතී රීති මාලාවක් (development and building Regulations ) හදුන්වා දී තිබේ. වසංගත රෝගය පැතිරී පවතින අමෙරිකාව, ඉතාලිය, ලන්ඩනය වැනි රටවල ප්‍රධාන ස්ථානවල අඩු ජනගහනයක් දැක ගත හැකි විය. උදාහරණ වශයෙන් අයිෆල් කුලුන ඉදිරිපිට ප්‍රදේශ, දිල්ලියේ ප්‍රධාන ස්ථාන (වෙළෙදසල්, උද්‍යාන) , යන ස්ථාන සම්පුර්ණයෙන්ම සෙනඟින් තොර ස්ථාන බවට පත් විය.

    පොදු ස්ථාන

    බටහිර රටවල ජනතාවගේ සංස්කෘතිමය සමාජ රටාව හේතුවෙන් ඔවුහු ආහාර ගැනීම, රැස්වීම පැවැත්වීම, විනෝද වීම යන අවශ්‍යතා සඳහා වීදී භාවිතා කරති. ඒ අවශ්‍යතා ගැටලුවකින් තොරව සිදු කිරීම සඳහා එම රටවල වීදී, මාර්ග පද්ධති නිර්මාණය කර තිබේ. එම නිසා බටහිර රටවල ජනතාවට කොවිඩ් වංසගත තත්ත්වය මත නිවෙස්වල සිටීම දුෂ්කර කාර්යයක් විය. ගෘහස්ථභාවයෙන් මිදී එළිමහනේ රැස්වීම් පැවැත්වීම, ආහාර ගැනීම ආදී කාර්යයන් කිරීම ශ්‍රී ලාංකික ජනතාවට අනන්‍ය වු පොදු ජීවන රටාවේ ලක්ෂණ නොවේ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට කොවිඩ් – 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා නිවෙස්වලට වී සිටීම ගැටලුවකින් තොරව සිදු කළ හැකි ය. සාමාන්‍යයෙන් නගර සැලසුම් කිරීමේදී මාවත් සකස් කරනු ලබන්නේ මිනිසුන්ට නිදහසේ එහා මෙහා ගමන් කිරීම අරමුණු කරගෙන ය. නමුත් මෙම වසංගත තත්ත්වය මත සමාජ දුරස්ථභාවය රඳා පවත්වා ගනිමින් මිනිසුන්ගේ ආරක්ෂාව උපරිම වශයෙන් සැලසෙන පරිදි නගර සැලසුම් කිරීම ආරම්භ කර ඇත.

    අතිතයේ දී මිනිසුන් අතර සම්බන්ධතා උපරිම වන අයුරින් පොදු ස්ථාන සකස් කෙරිණි. එහෙත් වර්තමානයේදී මිනිසුන් අතර තිබෙන සම්බන්ධතා අවම කර සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගත හැකි අන්දමට විදේශ රටවල පොදු ස්ථාන සකස් කිරීමට ආරම්භ කර තිබේ. එවැනි ඇතැම් දෑ ලංකාව තුළදීද දැක ගත හැකි ය. එළිමහනකට හෝ පිට්ටනියකට ගිය විට විවිධ ස්ථානවල , මිනිසුන්ට සිටිය යුතු ස්ථානය, රවුම් ඉරි හෝ කොටු ඇසුරෙන් දක්වා තිබේ. ඒ තුළින් මිනිසුන්ට සමාජ දුරස්ථභාවය රදා පවත්වා ගනිමින් ඒ ඒ ස්ථානවල සිටිය යුතු බව අවබෝධ කරවනු ලබයි. ආහාර භෝජනාගාර තුළට කිහිප දෙනෙකු ගිය විට වීදුරුවලින් ආවරණය කළ ස්ථාන (glass cubicles) තුළ ආරක්ෂාකාරීව ආහාර ගැනීමට ඉඩ සලස්වා තිබේ. භාණ්ඩ මිලදී ගැනීමේදී තමන්ගේ කාඩ්පත තුළින් භාණ්ඩ මිලදී ගැනීම, තමන් විසින් භාණ්ඩ මිලදී ගෙන තමන්ම මිල ගෙවීම යනාදී ක්‍රමවේද භාවිතා කිරීම ද දැක ගත හැකි ය.

    භාණ්ඩ මිලදී ගැනීම සඳහා බටහිර රටවල නවීන ක්‍රමවේද නිර්මාණය කර තිබේ. විදේශ රටවල ජනතාවට ස්වයංක්‍රීයව භාණ්ඩ ගෙන්වා ගැනීම සඳහා නවීන තාක්ෂණය ලෙහෙසියෙන්ම භාවිතා කළ හැකි ය. නමුත් ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය තුළ සෑම පුද්ගලයකුටම එවැනි පහසුකම් ළඟා කර ගැනීම අපහසු ය. භාණ්ඩ මිලදී ගැනීම සඳහා මේ වන විට ඉන්දියාව වැනි රටවල ඉතාමත් අඩු වියදමින් ඕනෑම කෙනකුට පහසුවෙන් අනුගත විය හැකි පහසු ක්‍රමවේද නිර්මාණය කර ඇත. උදාහරණ වශයෙන් කඩ හිමියා ඉටි කොළයක් පැළදීම, ග්‍රාමීය ප්‍රදේශවල කඩහිමියන් හාල්, සීනී, හෝ පිටි වැනි ආහාර ද්‍රව්‍ය බටයක් ඔස්සේ පිටත සිටින පාරිභෝගිකයන්ගේ බෑග්වලට දැමීමේ ක්‍රමවේදය දැක්විය හැකි ය.

    ප්‍රවාහනය

    මාර්ග පද්ධතිය ගත් විට ඇවිදීමේ ක්‍රමවේද හඳුන්වා දීම (දෙපසින් ඇවිදීම), බස් නැවතුම්පොළවල සිටිය යුතු ස්ථාන ලකුණු කර තිබීම, බස් නැවතුම්පොළවල මිනිසුන්ගේ ආසන සමාජ දුරස්ථභාවයෙන් යුතුව නිර්මාණය කර තිබීම, සුපිරි වෙළෙඳසල්වල පුද්ගලයන් සිටිය යුතු ස්ථාන ලකුණු කර තිබීම දැක්විය හැකි ය.

    විශේෂයෙන්ම ගුවන් ගමන් අවම කිරීම මඟින් රටවල් අතර සම්බන්ධතාව අඩු වීමෙන් වසංගතය පැතිරීම වළක්වා ගත හැකි ය. දුරස්ථභාවය රඳා පවත්වා ගනිමින් බස් රථවල මගීන් ඉඳගෙන යා යුතු ආකාරය දක්වමින් බස් රථ සහ දුම්රිය නිර්මාණය කර ගත හැකි ය. වර්තමානයේ ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය මත ගුණාත්මකභාවයෙන් අඩු පොදු ප්‍රවාහනය තුළදී පුද්ගල දුරස්ථභාවය රඳා පවත්වා ගනිමින් බස් රථ, දුම්රිය පද්ධතීන් නිර්මාණය කිරීම අපහසු කාර්යයකි. නමුත් ඉතාමත් අඩු වියදමකින්, නවීන නිර්මාණ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයට හඳුන්වා දීමට පුළුවන. සරල නිර්මාණ හරහා පොදු ප්‍රවාහනය තුළදී වසංගතය පැතිරීම වළක්වා ගැනීමට ක්‍රමවේද සකස් කිරීම සැබවින්ම ප්‍රයෝජනවත් වේ.විදේශ රටවල බස් රථවල කුඩා වීදුරු කුටි සකස් කර තිබේ. ඒ තුළින් අවම මගීන් සංඛ්‍යාවක් ආරක්ෂිතව ගෙන යෑමේ හැකියාව තිබේ.

    වර්තමානයේදී කොවිඩ් වසංගතය හේතුවෙන් රෝහල්ගත කෙරෙන ප්‍රමාණය අවම කර ඇත. මීට විසඳුමක් වශයෙන් විදේශ රටවල විවිධ ස්ථානවල තාවකාලික ගොඩනැගිලි නිර්මාණය කර තිබේ. උදාහරණ වශයෙන් විදේශ රටවල රෝහල්වලින් බැහැරව Quarantine camp නිර්මාණය කර ඇත. ලංකාවේ දැනට තිබෙන රෝහල්වල වාට්ටු ක්‍රමවේදය වෙනස් කිරීමට පුළුවන. රෝහල්වල වාට්ටුවෙන් වාට්ටුවට ක්‍රමවත් අයුරින් වෙන් කිරීම, ඇඳෙන් ඇදට වෙන් කිරීම පෙන්වා දීමට පුළුවන. මෙවැනි උපක්‍රම තුළින් කොවිඩ් -19 වසංගත තත්ත්වයක් යටතේ පමණක් නොව ඕනෑම වසංගත තත්ත්වයක් වුවව ද ව්‍යාප්ත වීම පාලනය කළ හැකි ය.

    සමාජ දුරස්ථභාවය රඳා පවත්වා ගනිමින් කටයුතු කිරීම අනිවාර්ය වු බැවින් ලංකාවේ බොහෝ ක්ෂේත්‍රවල රැකියා කරන පුද්ගලයන්ට තමන්ගේ ආදායම් මාර්ග නැති විය. විශේෂයෙන්ම පදික වේදිකාවේ වෙළෙදාම් කරන පුද්ගලයන්, පොදු ස්ථානවල විවිධ ඉදිරිපත් කිරීම් මඟින් මුදල් උපයා ගන්නා පුද්ගලයන්, මාර්ගවල තාවකාලික රැකියාවන්හි නියුතු වූවන්ට මෙම වසංගතය නිසා තමන්ගේ ආදායම් මාර්ග අවහිර විය. නව නගර සැලසුම් කරන විට සමාජ දුරස්ථභාවය රඳා පවත්වා ගනිමින් එවැනි පුද්ගල කොට්ඨාසවලට තමන්ගේ ආදායම් මාර්ග පවත්වා ගැනීමට හැකි වන අන්දමින් ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු වේ.

    මහා මාර්ගවල මිනිසුන් සැරිසැරීම අවම මට්ටමක තිබියදී පරිසර දූෂණය පවා අඩු වු බව අපට හඳුනා ගැනීමට ලැබිණ. ඊට බලපා තිබෙන ප්‍රධානතම කාරණාව වන්නේ මාර්ගවල වාහන ධාවනය අඩු වීම ය. අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පමණක් නිවෙසින් පිටතට යෑමට සෑම පුද්ගලයකුම මතක තබා ගත යුතු වේ. එසේ කළ විට වසංගතය පැතිරීම අවම වනවා සේම පරිසර දූෂණය වීම ද අවම කරගත හැකි බව හඳුනා ගෙන තිබේ.

    මහල් නිවාස

    එක ළඟ මිනිසුන් වැඩි වශයෙන් ජීවත් වීම නිසා ලංකාවේ මහල් නිවාසවල කොව්ඩ් පැතිරීම බහුල වශයෙන් සිදු වී ඇත. එම නිසා ලංකාවේ මහල් නිවාසවල මහල් නිවාස කලාප සංවර්ධනය කිරීමේදී එම මහල් නිවාසවලට වාතාශ්‍රය ලැබීම, පාරවල ගුණාත්මක තත්ත්වය (ඇවිදීමේ ඉඩකඩ, ඇවිදින තීරුවල පළල) යනාදී සාධක පිළිබඳ අවධානය යොමු කළ යුතු වේ. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මීට වසර කිහිපයකට පෙර දක්වන ලද ගොඩනැගිලි නීතීවලට අනුකූලව මෙරට මහල් නිවාස සකස් කර ඇති නිසා වර්තමානයේදී මහල් නිවාස සකස් කිරීමේදී ගොඩනැගිලි නීතී රීතී නව්‍යතාවයකට ලක් විය යුතු ය. උදාහරණ වශයෙන් මහල් නිවාසවල බැල්කනිවල ඉඩ ප්‍රමාණය, ගොඩනැගිලිවල පරතරය, මහල් නිවාසවලට ඇතුළු වීමේ ප්‍රවේශයේ ඉඩ ප්‍රමාණය, නිවාස සංකීර්ණයේ පවතින නිවෙස් ප්‍රමාණයට අනුව පොදු ස්ථානවල ඉඩ ප්‍රමාණය, පිටතින් පැමිණෙන අය නිවෙස්වල සිටින අය අතර සම්බන්ධතා පවත්වා ගැනීම, යනාදී කරුණු පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වේ. මහල් නිවාසවල සැලසුම් නීතී රෙගුලාසි (Planning and Designs Regulations) පිළිබඳව නගර නිර්මාණ ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ දැනුම සහ අත්දැකීම් උපයෝගී කරගෙන නගර සැලසුම් සකස් කළ යුතු වේ. විශේෂයෙන්ම මහල් නිවාස සංකීර්ණ තුළ අවශ්‍ය අවස්ථාවකදී මිනිසුන්ට ආරක්ෂිතව සිටිය හැකි ස්ථානයක් නිර්මාණය කිරීමද නුවණට හුරු ය.

    ලංකාවට අනන්‍ය වු ආර්ථිකමය, පාරිසරික, සහ සංස්කෘතිකමය වපසරියක් පවතී. ඒ හේතුවෙන් ලංකාවේ නගර සැලසුම් කිරීම සඳහා විදේශ රටවල පවතින සමාජ දුරස්ථභාවය රඳා පවත්වා ගනිමින් වසංගත තත්ත්ව වළක්වා ගැනීමේ නගර නිර්මාණ ක්‍රමවේද අපට ඒ අයුරින්ම අනුගත කළ නොහැකි ය. සෑම විටම ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ අඩු වියදමකින්, ඕනෑම කෙනකුට ලෙහෙසියෙන් අනුගත විය හැකි සරල, ක්‍රමවත් නගර සැලසුම් ක්‍රමවේද වේ. විශේෂයෙන්ම නගර සැලසුම් සඳහා කල්පවත්නා බව සහ නිසි ප්‍රමිතිය අනිවාර්යයෙන්ම තිබිය යුතු ය. ශ්‍රී ලංකාව ආශ්‍රීත කලාපීය රටවල් අනුගමනය කරන නගර සැලසුම් ක්‍රමවේද අපට භාවිතා කිරීමට පුළුවන. ශ්‍රී ලංකාවේ නගර සැලසුම් සඳහා විවිධ අංශවලින් අලුත් ක්‍රමවේද රජයේ අනුමැතිය අනුව හඳුන්වා දීම වඩාත් වැදගත් ය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here