අපවත් වී වදාළ අඹේවෙල පඤ්ඤාසාර මහ නාහිමියෝ

    0
    11

    සම්බුදු සසුන එකලු කොට අමිල මෙහෙයක් කිරීමට නායකත්වය ගෙන ක්‍රියා කළ සියම් මහා නිකායේ ඌව පාර්ශ්වයේ මහානායක අඹේවෙල පඤ්ඤාසාර මහා නායක හිමියෝ (95) පෙරේද(06) අපවත් වී වදාළහ. අපවත් වන විට උන්වහන්සේ පිළියන්දල සුවාරපොල බුද්ධාලෝක මහාවිහාරය, කැප්පෙටිපොළ පාලුගම ශ්‍රී සුභද්‍රාරාමය, කැප්පෙටිපොළ තැන්නේ ශ්‍රී සෝමානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විහාර ත්‍රිත්වයේම විහාරාධිපති ධුරය හෙබවූහ.

    උන්වහන්සේ ඌව පළාත නිජබිම කොට ගනිමින් අඹේවෙල හෙවණ කුඹුර ගම් පියසේ විසූ කාංගන මුදියන්සේලාගේ විදානේ හා හේරත් මුදියන්සේලාගේ රන්මැණිකේ යන දම්පතීන්ට දාව සයවන පුතණුවන් ලෙස 1926 වසරේ මැයි මස 02වැනිදින සිරිබද්දන යන ගිහි නාමයෙන් ජන්ම ලාභය ලැබූහ. 1937 ඔක්තෝබර් මස 15 වැනිදින උඩුකිඳ වැල්ලවාය දෙපළාතේ ප්‍රධාන සංඝනායක බොරගොල්ලේ ශ්‍රී සෝමානන්ද මහා නාහිමියන්ගේ ශිෂ්‍යයකු වශයෙන් උන්වහන්සේ පැවිදි දිවියට පත්වූහ. ඉන්පසු ස්වකීය ආචාර්ය වූ බොරගොල්ලේ ශ්‍රී සෝමානන්ද මහා නාහිමියන් උපාධ්‍යාය කොට අඹේගොඩ සුමන, කීනිගම පඤ්ඤාසේකර හිමිවරුන් කර්මවාගාචාර්ය කොට 1946 දී පාලුගම ශ්‍රී සුභද්‍රාරාමයේදී අධිශිල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

    බදුල්ල විද්‍යොත්තංස පිරිවෙණේ මූලික ධර්ම ශාස්ත්‍ර කටයුතු සිදුකොට කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙණට ඇතුළත්ව වර්ෂ 1959 දී විද්‍යොදය පිරුවන විශ්ව විද්‍යාලයක් බවට පත්වූ අවස්ථාවේ ඉන් ශාස්ත්‍රවේදී උපාධිය හිමි කරගනිමින් එම සරසවියේ ඌව පළාතෙන් බිහිවූ ප්‍රථම ශාස්ත්‍රවේදී උපාධිධරයා බවට පත්වූ අතර විද්‍යොදය පිරුවනට අසූවස් පිරුණු අවස්ථාවේ පිරිනැමූ විද්‍යානිධි උපාධියෙන්ද පුද ලැබූහ.

    විචිත්‍ර ධර්ම කථිකයෙකු වූ උන්වහන්සේ ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරණ කටයුතු පිළිබඳව ද පුහුණුව ලැබූ අතර 1952 වසරේ සිට ගුවන් විදුලි ධර්ම දේශනා සඳහා විශාල දායකත්වයක් දුන්හ. ධර්ම ශාස්ත්‍ර අධ්‍යාපන කටයුතුවලින් අනතුරුව වර්ෂ 1961 දී ඇලහැර බකමූණ මහා විද්‍යාලයේදී ප්‍රථම උපාධිධාරී ගුරුවරයා ලෙස රජයේ ගුරු සේවයට එක්ව මාම්පේ සෝභිත පිරිවෙන, මාම්පේ සෝභිත විද්‍යාලය සහ පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස සේවය කර විශ්‍රාම ලැබූහ.

    තමන් වහන්සේගේ මූලිකත්වයෙන් කැප්පෙටිපොල ශ්‍රී සෝමානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය හා පිළියන්දල සුවාරපොල බුද්ධාලෝක විහාරය නිර්මාණය කරවූ උන්වහන්සේ වර්ෂ 1969 මාර්තු මස 23 වැනි දින ඌව ශ්‍යාමවංශික මහා නිකායේ කාරක සංඝසභික පදවියට ශ්‍රී සද්ධර්මභාරතීශ්වරාචාර්ය ගෞරව නාමය සහිතව පත්වූ මහ නාහිමිපාණෝ ඉන්පසු අනුක්‍රමයෙන් එහි අධිකරණ සංඝ නායක පදවියට පත්ව 1992 වර්ෂයේදී අනුනායක පදවියට පත්විය. වර්ෂ 2009 දී පාලුගම සුමනසාර මහා නාහිමියන් අපවත් වීමෙන් පුරප්පාඩු වූ මහා නායක පදවියෙන් සම්මානිත වූ මහානායක හිමියෝ ලෝක ශාසනික මෙහෙවර අගයමින් බුරුම රජය විසින් 2014 වර්ෂයේදී අග්ගමහා සද්ධම්මජෝතිකාධජ ගෞරව නාමය පිරිනැමීය.

    මේ මස 10 වැනි දින කැප්පෙටිපොල මහජන ක්‍රීඩාංගණයේදී උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන අතර අපවත් වී වදාළ අප ගුරු මහා නායක හිමියන්ට අමා මහ නිවන් සුව පතමු.

    කපිල බමුණුආරච්චි 
    ප්‍රවාහන ඇමැතිගේ මාධ්‍ය ලේකම්

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here