අමෙරිකාව යළි ඇවිළෙයි සිව් දෙනෙක් මරුට

0
12

– ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ඉතිහාසයට කළු පැල්ලමක්
– ජනාධිපති බයිඩන් 20දා සිය ධුරයේ දිවුරුම් දෙයි
– බලයට මිනිසුන් මරණ සුපිරි බලවතාගේ සළු පිළි ගැලවෙයි
– කැපිටල් රොටුන්ඩාවේ වෙඩි වරුෂා
– මහජන නියෝජිතයන් බේරාගන්න මහ වෙහෙසක්

ලෝකයේ බලවත් ම ප්‍රජාතන්ත්‍රවාදී රට වශයෙන් නම් දරා සිටින එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම මැතිවරණ පරාජය හමුවේ සිදු කරන විරුද්ධවාදී ක්‍රියා නිසා ඔහුගේ ආධාරකරුවන් ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලට යොමු වී තිබේ. එරට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ඉතිහාසයට කළු පැල්ලමක් ගෙන ආ මේ විරුද්ධවාදී කටයුතුවලට රටේ නායකයා මැදිහත්වීම නිසා කැරැලිකාර තත්ත්වයක් ද උදා වී ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජය පිළිගෙන පසුබසින ලෙසත්, රටේ තත්ත්වය කැරැල්ලක ස්වභාවයට හැරී ඇති බවත් ජෝ බයිඩන් කීය. ප්‍රචණ්ඩ ක්‍රියා පතුරුවන ප්‍රකාශ සිදු කිරීම නිසා ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සහ ෆේස්බුක් ගිණුම අත්හිටුවීමට ද එම සමාගම් පියවර ගෙන තිබේ. මේ නිසා ලොව බලවත්ම නායකයා සමාජ මාධ්‍ය හමුවේ හෑල්ලුවට ලක් වී ඇතැයි විචාරකයෝ පවසති.

තමන් පරාජය වන බව දුටු මුල් අවස්ථාවේ සිටම මැතිවරණ ප්‍රතිඵලවලට අභියෝග කිරීමට ට්‍රම්ප් උත්සාහ දැරූ අතර ඔහුගේ වැඩිමල් පුතා වන කණිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඇතුළු ආධාරකරුවෝ රැසක් එයට එකඑල්ලේම සහාය පළ කළහ. එසේ වෙතත් සිය බිරිය මෙලනියා සහ ජ්‍යේෂ්ඨ උපදේශිකාවක වූ දියණිය ඉවන්කා සහ මාධ්‍ය හිමිකාර ව්‍යාපාරික බෑණා වන ජැරෙඩ් කෲශ්නර් පරාජය පිළිගෙන පසුබසින ලෙස ට්‍රම්ප්ට කීහ. ට්‍රම්ප් ගිලීහී යන බලය කෙරෙහි ඇති වූ හැඟීමේ ප්‍රබලත්වය නිසා පරාජය පිළිගැනීමට අකැමැත්තෙන්, ජයග්‍රාහී අපේක්ෂක බයිඩන්ගේ දිනුම ආපසු හැරවීමට හැකි සෑම දෙයක්ම කිරීමට මාරාන්තික සටනකට එළැඹිණි. සහායට ද පිරිසක් සිටීම උද්දච්ඡ නායකයකු වූ ඔහුට පනින්නට ඉනිමං තැබීමකට සමාන විය. මේ බල අරගලය නිසා ට්‍රම්ප්ගේ බිරිය තමා ඔහුගෙන් දික්කසාද වන බවට ද වරක් ප්‍රකාශයක් සිදු ක‍ළාය.

ට්‍රම්ප්ගේ උපක්‍රමය වූයේ ගොබෙල්ස් න්‍යාය ක්‍රියාවේ යෙදවීමයි.මැතිවරණයේ දූෂණ සිදු වී ඇතැයි ද ඒ නිසා මැතිවරණ ප්‍රතිඵල අත්හිටුවිය යුතුයැයි ද ඔහු දිගින් දිගටම කීය. මේ මතය මන්ත්‍රයක් සේ දිගටම පෝෂණය කිරීමට ඔහු හැමවිටම අවස්ථාව සොයා ගත්තේය. කෙසේ වෙතත් ට්‍රම්ප්ටත් ඔහුගේ නඩයටත් මේ මතය නඩත්තු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි සපයා ගැනීමට නොහැකි විය. මේ සම්බන්ධව පැවැරූ සෑම නඩුවකින්ම ට්‍රම්ප් පිල පරාජයට පත්විය. එහෙත් තම රටේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරමින් ඔහු සහ සගයෝ සිහින දැකීම තවමත් නතර කළේ නැත. එරට මැතිවරණ නීතිය අනුව තේරී පත් වූ ජනාධිපති බයිඩන් ජනවාරි 20 වැනිදා සිය ධූරයේ දිවුරුම් දීම ට්‍රම්ප්ට නතර කළ නොහැකිය.

ජෝර්ජියාවේ සෙනෙට් මණ්ඩල නියෝජිතයන් තේරීමේ මැතිවරණය ජයගැනීමත් සමඟ තේරී පත් වී සිටින ජනාධිපති ජෝ බයිඩන් අමෙරිකාවේ සෙනෙට් සභාවේ බහුතරය දිනාගත්තේය. මේ නිසා ඔහුට සෙනෙට් සභාවේ සහ කොංග්‍රසයේ සහ ධවල මන්දිරයේ පාලනය හිමිවිය. මේ සඳහා තරග කළ රිපබ්ලිකන් අපේක්ෂකයන් දෙදෙනා වන කෙලී ලෝෆ්ලර් සහ සහ ඩේවිඩ් ෆර්ඩු පරාජය කරමින් ජයග්‍රහණය ලැබුවේ ඩිමොක්‍රටික් අපේක්ෂකයන් වන රෆායෙල් වෝර්නොක් සහ ජොන් ඔසොෆ්ය.

උද්වේගකාරී ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වූ ආකාරය විමසා බලන විට එයට වගකිව යුත්තේ ද ට්‍රම්ප් බව පෙනෙන්නට ඇති කාරණයකි. විරෝධතා දැක්වීමට තම ආධාරකරුවන්ට කැපිටල් ගොඩනැඟිල්ල දෙසට පාගමනින් එන ලෙස ඔහු කලින් දිනයේ ඉල්ලීමක් කළේය. කොංග්‍රසය ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කරන අවස්ථාවේ දී ඔවුහු එම ගොඩනැඟිල්ලට කඩා වැදුණහ. මේ ප්‍රචණ්ඩකාරීන් සෙනෙට් සභාවට සහ කතානායිකා නැන්සි පෙලෝසිගේ කාර්යාලයට කඩා වැදුණහ. මෙය රුදුරු යුද්ධයෙන් පීඩා විඳින ඈත අප්‍රිකානු රටකවත් සිදු නොවුණු තරමේ අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරු අවස්ථාවක් විය.

මේ තත්ත්වයත් සමඟ අමෙරිකාවේ කොංග්‍රසය රැස්වන කැපිටල් ගොඩනැඟිල්ලට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සන්නද්ධ ආධාරකරුවන් කඩාවැදී කෝලාහල කරමින් එය වසා දමන ලෙස බල කළහ. ප්‍රජාතන්ත්‍රවාදය මරමින් අවියෙන් බලය රැක ගැනීමේ මුග්ධ උත්සාහයක මේ සුදු වර්ගවාදී ට්‍රම්ප් අනුගාමිකයෝ නඩය යකා නැටූ නමුත් ට්‍රම්ප්ට බෙරේ පළුවත් නැතිවිය. නැටූ නැටුමකුත් නැති විය. මේ සිද්ධියේ දී පොලිස් වෙඩි ප්‍රහාරයට ලක් වී කාන්තාවක මියගිය අතර වෛද්‍ය ආධාර ලබාදීමට බාධා සිදුවීම නිසා තවත් තිදෙනකු මියගිය බව පොලිසිය කියයි. ට්‍රම්ප්ගේ බලෝන්මාදය නිසා අහිමි වූයේ මේ වටිනා මිනිස් ජීවිත පමණක් නොවේ. ඒ අහිමි වූයේ ලොව සුපිරිම බලවතාගේ ප්‍රජාතන්ත්‍රවාදී සළුපිළියි. බලය සඳහා මිනිසුන් මරණ තැනකට මෙයින් සුපිරි බලවතාගේ සැබෑ ස්වරූපය අනාවරණය විය.

ජෝ බයිඩන්ගේ මැතිවරණ ජයග්‍රහණය තහවුරු කිරීමට සූදානම් කර තිබූ සැසිවාරය මේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා නතර කෙරිණි. තම ප්‍රචණ්ඩ ආධාරකරුවන්ට නිවෙස් වෙත ආපසු යන ලෙස ට්‍රම්ප් ඉල්ලීමක් කළේය. එහෙත් මැතිවරණයේ සොරකම් සිදු වූ බවට වූ සාක්ෂි නොමැති, පදනමක් නොමැති බොරුව ඔහු පුන පුනා කීය.

තවද ජෝ බයිඩන්ගේ පෙන්සිල්වේනියාවේ ජයග්‍රහණය අභියෝගයට ලක්කරමින් සෙනෙට් සභාවට ගෙන ආ යෝජනාව 92ට 7ක් වශයෙන් පරාජයට පත්විය. සෙනෙට් මණ්ඩලයේ නායක මිච් මැක්කොනල් මේ පිළිබඳ විවාදය අවසන් කරමින් තවදුරටත් මැතිවරණ ප්‍රතිඵල අභියෝගයට ලක් කිරීමක් ගෙන ඒමට අපේක්ෂා නොකරන බව පැවැසූ නමුත් රිපබ්ලිකන් නියෝජිතයන් නිතරම උත්සාහ දරන්නේ මැතිවරණ ප්‍රතිඵලයට අභියෝග කිරීමටය.

අමෙරිකාවේ බලයේ සිටින ජනාධිපතිවරයෙක් දෙවන වාරය ජය නොගෙන පරාජයට පත් වූ අවස්ථා ඇත්තේ ඉතා ස්වල්පයක් පමණි. ඒ ඉරණම ට්‍රම්ප්ට ද උරුම වූයේ ජනතා අභිලාෂයන් තේරුම් නොගෙන තම හිතේ තිබුණු මානයකට රට ඇදගෙන යාමට ඔහු දැරූ උත්සාහය නිසාය. ලෝකයේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රටේ ධනවතුන්ගේ සුබසිද්ධිය පමණක් බලමින් කටයුතු කළ නිසාය. කොවිඩ් -19 වසංගතයෙන් බැට කෑ රටේ ජනතාවට දීමට සූදානම් කර තිබූ සහන පැකේජය ප්‍රමාද කිරීමට ඔහු දැරූ තැත නිසා රටේ සමාජාර්ථික බිඳ වැටීමකින් යන්තම් ගොඩගියේ එය අවසාන අවස්ථාවේ හෝ නිවැරැදි කළ නිසාය. තමන් අසමත් නායකයකු බව ඔහුගේ සෑම ක්‍රියාවකින්ම ඔප්පු කෙරිණි.

පරාජිත ට්‍රම්ප් පාර්ශ්වය ප්‍රචණ්ඩත්වය අත්හැර දමනු ඇතැයි ජයග්‍රාහී බයිඩන් පාර්ශ්වය ඉල්ලා සිටින ප්‍රධානම කාරණාවයි. උණුසුම් තත්ත්වය පහව ගියපසු රැස්වූ කොංග්‍රසය බයිඩන්ගේ ජය තහවුරු කළේය. මේ සිද්ධියෙන් අනතුරුව සභාව රැස්වූ විට එය ඇමතූ එක්සත් ජනපද උප ඇමැති මයික් ස්පෙන්ස් ප්‍රකාශ කළේ එම දිනය කැපිටල් ගොඩනැඟිල්ලේ ඉතිහාසයේ අඳුරුතම දිනයක් යැයි කියාය.

සිද්ධිය වූ ආකාරය වාර්තා කරන බීබීසී පෙන්වා දුන්නේ මුලින්ම අමෙරිකානු ධජ සහ ට්‍රම්ප්ගේ මුහුණු රැගත් පුවරු ඔසවාගත් විරෝධතාකරුවන් පොලීසිය පසුකරමින් ගොඩනැඟිලි සංකීර්ණය දෙසට පැමිණ ඒ මේ අත ඇවිදිමින් සිට පසුව මැතිවරණ ප්‍රතිඵල අහෝසි කරන ලෙස උද්ඝෝෂණය කිරීමට පටන්ගෙන ඇති බවයි. කැපිටල් රොටුන්ඩාවෙන් වෙඩි හඬ සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වන විට මහජන නියෝජිතයන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට ආරක්ෂක අංශ කටයුතු කළහ. සිද්ධිය වූ ස්ථානයේ තිබී සුළු පුපුරන ද්‍රව්‍ය පිරුණු බහලුම් දෙකක් හමු වී ඇති අතර ආරක්ෂක අංශ මැදිහත් වී එය නිෂ්ක්‍රීය කර ඇත. කැපිටල් ගොඩනැඟිල්ලට කඩා වැදීම, එහි වීදුරු කඩා බිඳ දැමීම, නිසි පරිදි ඡන්දයෙන් තේරී පත් වූ නියෝජිතයන්ට එරෙහිව කටයුතු කිරීමෙන් අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ද අනතුරට ලක් වී තිබේ. කවදාවත් නොතිබුණු තරම් අඥාණ නායකත්වයකට ජනතාව කැලෑවට ඇදගෙන යාහැකි බවට අමෙරිකාවේ අත්දැකීම කදිම නිදසුනකි.

මේ අතර වොෂිංටන් නුවර ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය ගැන ලෝක නායකයෝ රැසක් ද අප්‍රසාදය පළ කර ඇත. සාමකාමී ලෙස බලය හුවමාරු කරගන්නා ලෙසත් බලය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් ඉන්දීය අගමැති මෝදි ඉල්ලීමක් කර ඇත. ඡන්දය භාවිත කිරීම ජනතාවගේ අයිතියක් බවත් ඔවුන්ගේ හඬ ඇසෙන්නට සැලැස්විය යුතු බවත් එහි ප්‍රතිඵලයට ඉඩ දියයුතු බවත් නවසීලන්ත අගමැතිනී ජසින්ඩා අර්ඩන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් කීවාය. ප්‍රජාතන්ත්‍රවාදය පාගා දැමීම නතර කරන ලෙස ජර්මන් විදේශ ඇමැති හෙයිකෝ මාස් මේ ගැන අදහස් දක්වමින් කියා ඇත.

බුද්ධි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here