ඈපාට ශතකය ගිලිහෙයි

0
8
9 ජනවාරි, 2021

පෙම්සර රන් ස්වර වරුණ-5

එදා අපි ක්‍රිකට් ගැන බොහෝ දේ ඉගෙන ගත්තා. විනය, මානසික ඒකාග්‍රතාවය, ඉවසීම, සාමූහික වගකීම ගැන පුහුණු කරුවන් කියා දුන්නා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව තුළත් අපූරු සාහිත්‍යයක් තිබුණා. ඒවායින් ඉගෙන ගත යුතු පාඩම් බොහෝ තිබුණා.

මට එදා ලැබුණ ඒ වගකීම ගැන මහාමෙරක් විදිහට හිතුවෙ නම් නෑ. ඒ නිසා සැහැල්ලු සිතින්ම තමයි තරගයට ක්‍රීඩා කරන්න පිටියට ආවේ.

 කිසිවිටෙකත් ඇඟිලි තුඩගින් ස්පර්ශ නො කළා වූව ද අතීතය බොහෝවිට මනරම් ය. එවන් වූ සොඳුරු මතකය ස්නායු තන්තු කෙළවරින් ස්පර්ශ කරන්නකු තුළ එක්වරම ඇතිවන්නේ හිරිවැටීමකි. ජීවිතයේ නිසොල්මන් භාවය පොත පත ඇසුරේ බිඳ දමන ඈපාසිංහයෝ කියැවීමෙන් ඉසිඹුලන මොහොතක අදත් අතීත මතකයන් සිහිපත්කර සතුටින් සිනා සලති. ඇතැම් විට අකම්පිතව බලා සිටිති. ඔහුගේ මනසේ මතුවී වියැකී යන එවැනි මතක සමුදායක සංක්ෂිප්ත සජ්ඣානයක තවත් පියවරකි මේ.

ඈපාසිංහයන් නාලන්දාවේ ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් සඳහා එක්වීමෙන් අනතුරුව ඔහුට මුලින්ම තරග වැදීමේ අවස්ථාව උදා වූයේ 1957 වසරේ පැවැති තරගයකට ය. එහිදී ඔහුගේ පළමු ප්‍රතිවාදියා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයීය කණ්ඩායම විය.

‘ආධුනිකයෙක් වුණත් මට මේ තරගයේ දී බරපතල වගකීම් දෙකක් මෙහිදී පැවරුණා. ඒ සරත් සිල්වා සමග ආරම්භක පිතිකරු ලෙසට කටයුතු කිරීමත් කඩුල්ල පිටුපස වගකීම දැරීමටත්. ආධුනිකයෙකුට මේ වගේ වගකීමක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒත් මට එදා ලැබුණ ඒ වගකීම ගැන මහා මෙරක් විදිහට හිතුවෙ නම් නෑ. ඒ නිසා වෙනදා වගේම සැහැල්ලු සිතින්ම තමයි තරගයට ක්‍රීඩා කරන්න පිටියට ආවේ. සරත් සිල්වා අත්දැකීම් ඇති ඉතාමත් දක්ෂ ආරම්භක පිතිකරුවෙක්. ඒ නිසා මම ඔහුට වැඩි අවස්ථාවක් දෙමින් වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටියා මට මතකයි. අප දෙදෙනා අතර පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 130 ක්. එතැනින් ලකුණු 37 ක් මගේ. සරත් සිල්වා ලකුණු 91 ක් ගැහුවා. ඒත් තරගයේ වැඩිම ලකුණු ලාභියා වුණේ නාලන්දාවෙන් බිහි වුණු අති දක්ෂ පිතිකරුවෙකු ලෙස නම් දැරූ චන්ද්‍රසිරි වීරසිංහයි. ඔහු එදා ලකුණු 130 ක් රැස්කළා.’ ඈපාසිංහයෝ සිය මතකය විහිදුවාලන්නේ සන්තුෂ්ටියෙනි.

‘ඒ කාලේ මගේ පාසලෙන් බිහිවූ දක්ෂතම වමත් වේග පන්දු යවන්නා වුණේ ගාමිණී ජයවික්‍රම පෙරේරා. ඔහුත් මේ තරගයට ක්‍රීඩා කළා. ඒ නිසාම අපි දෙන්නම හිටියේ එක අරමුණක. ජයවික්‍රම, සාන්ත අන්තෝනි පිලේ ආරම්භක පිතිකරුවකු වූ ඇන්ටන් රඹුක්පොතට වේගයෙන් පන්දුවක් යොමු කළා. පා ඉන්න පැත්තෙන් ආපු පන්දුව පිත්තේ කොනක යාන්තම් ගැටිලා ආපු ‘ටිප් කැච්’ එක මම විදුලි වේගයෙන් පැනල බිම පෙරළිලා රැක ගත්තා. මගේ මුල්ම ‘ටිප් කැච්’ එක වගේම ගාමිණී ගේ පළමු දවා ගැනීමත් එයයි. ජයවික්‍රම එම තරගයෙන් කඩුලු පහක් ලබා ගත්තා. ඒ දක්ෂතාවයන් ඔහුටත්, මටත් නාලන්දාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ ස්ථාවර ක්‍රීඩකයන් බවට පත් වීමට හේතු වුණා. එදා අපි ක්‍රිකට් ගැන බොහෝ දේ ඉගෙන ගත්තා. විනය, මානසික ඒකාග්‍රතාවය, ඉවසීම, සාමූහික වගකීම ගැන අපිට අපේ පුහුණු කරුවන් කියා දුන්නා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව තුළත් අපූරු සාහිත්‍යයක් තිබුණා. ඒවායින් ඉගෙන ගත යුතු පාඩම් ඔවුන් අපට කියා දුන්නා. වරක් ඒ පාඩම් කීපයක් ක්‍රියාවට නැංවීමේ අවස්ථාවක් මට හිමිවුණේ මහනුවර ධර්මරාජ විදුහල සමග පැවති තරගයේදි යි.’

ඔහු පවසන්නේ සාර්ථක ක්‍රීඩකයන් නිර්මාණය වන්නේ ක්‍රීඩාවේ සංස්කෘතිය නිවැරැදිව ග්‍රහණය කරගැනීමෙන් බව ප්‍රකාශ කරමිනි.

‘ධර්මරාජ කණ්ඩායම පළමු ඉනිම ක්‍රීඩා කරලා අපට ලකුණු ලබා ගැනීමේ අවස්ථාව ලබා දුන්නේ සවස පහටයි. එදා මා සමග ආරම්භක පිතිකරණයට පැමිණියේ මිත්‍ර සිරිවර්ධනයි. අපි පිටියට අවතීර්ණ වෙන කොටත් සැදෑ අඳුරේ දිගු සෙවනැලි කන්ද උඩරට කඳු වළල්ලෙන් පතිත වෙමින් තිබුණා. සීතල සුළඟ මගේ ගතට ලබා දුන්නේ අමුතුම ප්‍රබෝධයක්. පිටියට පිවිසෙන ගමන් මම මිත්‍රට කිව්වේ, “මචං මම එහා පැත්තේ ඉඳන් අල්ලගෙන යන්නම් අපි දෙන්නම මේ පැය ඉවසිල්ලෙන් බැට් කරමු” කියලයි. ගිවිසගත් අයුරින්ම මම නොදැවී ලකුණු නවයකුත් මිත්‍ර ලකුණු තුනකුත් රැස් කළා. පසුවදා එය මල් ඵල ගැනුනේ මිත්‍රට ලකුණු 125 ක් සහ මම ලකුණු 79 ක් ලබා ගත්තේ කඩුල්ලේ රැඳී සිටිමින් ඔහුට අවස්ථාව ලබා දෙමිනු යි. එදා මට ලබාගන්න තිබුණ ශතකය මම මිත්‍ර වෙනුවෙන් පරිත්‍යාග කළා මට මතකයි.’ ක්‍රිකට් ක්‍රීඩාවේ හික්මීම සම්බන්ධයෙන් ඈපාසිංහයෝ පාඩමක් කියා දෙන්නට සැරසෙමින් පවසති.

‘එක, ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මා උගත් පරිත්‍යාගශීලී හික්මීමයි.අනෙක් පාඩම තමයි ‘හෙන්රි නිව්බෝල්ට්’ රචිත ‘විටා ලැම්පඩා’ නමින් වූ මේ නිසඳැසයි. ඒ නිසඳැස ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සර්වකාලීන පණිවිඩයක්.’ ඔහු එම නිසඳැසේ මුල් පෙළ ඉංග්‍රීසි භාෂාවෙන් කිය යි. එහි සිංහල පරිවර්තනය මෙසේ ය.

“තරඟය නිමවීමට ඇත්තේ විනාඩි කිහිපයකි. සැදෑ අඳුර වැටී ඇත. තණ තිල්ල කඩතොලු වී ඇත. කණ්ඩායමේ නායකයා අවසන් පිතිකරුවා අසලට පැමිණ මෙසේ පවසයි. “බයවෙන්ඩ එපා මතක තියා ගන්න අප මේ තරග වඳින්නේ අපේ පෞද්ගලික කිතුගොස ලබා ගන්න නොවේ. අපි තරග කරන්නේ අපේ කණ්ඩායමේ ගෞරවය සඳහා යි.’ මෙවැනි බොහෝ දේවල් පුහුණුවීම් වලදී අප ඉගෙන ගත්තා. විශේෂයෙන් පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයින් මෙය ආදර්ශයක් කරගත යුතුයි. මොකද අද මෙවැනි දේ ඔවුන්ට අසන්නට නොලැබෙන නිසයි.’ ඈපාසිංහයන් පවසන්නේ ගැඹුරු කල්පනාවක නිමග්න වෙමිනි.

 ලබන සතියට- ඈපාසිංහගෙන් රාජකීය බිංදුවක්

 

ඡායාරූප – ජගත් ඉරෝෂණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here