උපකාරක පන්ති ගුරුවරයා අවශ්‍ය ද?

    0
    12

    උපකාරක පන්ති පමණක් වැසී ගොස් ය. දෙවන තෙවන වරට සාමාන්‍ය පෙළ ලියන දරුවාට පාසල ද නැත. පිහිටට සිටි ටියුෂන් පන්තිය ද නැත. ටියුෂන් ගුරුවරුන් ද අසරණය. කෑ ගසා නොකීව ද ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමි වී ගොස් ය. තම දරුපවුල පෝෂණය කිරීමේ බර ඔහුගේ ද උරහිස මත ය. ටියුෂන් ගුරුවරු කවුරුත් කෝටිපතියෝ හෝ ලක්ෂපතියෝ නොවෙති. ඉතා සීමිත වත්පොහොසත්කම් ඇති ගුරුවරු එමටය. ඈත ගම් දනව්වල උපකාරක පන්ති ගුරුවරයා මේ මොහොතේ වඩාත් අසරණ ය. online පන්ති ගම්වල එච්චර විශ්වාසයක් ඇති වැඩක් නොවේ. සමහර තැන්වල සිග්නල් නැත. පලු ගසකට, වතුර ටැංකියට හෝ ගෙයි වහලකට නැඟී සිග්නල් හොයන පාසල් දරුවන් වැටී ඇති අනතුර පැහැදිලි ය. ඩේටා ගන්නට දරුවන්ට තියා මව්පියන් අත ද මුදල් නැත. දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්න ගෙදරකට එක දුරකථනයක් ප්‍රමාණවත් ද? ගෙදර කාටත් වෙන් වෙන් කරන ලද දුරකථන, ලැප් ,ටැබ් ලංකාවේ ගෙවල්වල නැත.එහෙම ආර්ථිකයක් ඇත්තේ සුළුතරයකට විනා මහා සමාජයේ බහුතරයකට නොවේ.

    පාසල් ඇරුණත් දෙවන තෙවනවර විභාගයට මුහුණ දෙන ළමයින් කාටත් අමතක ය. උපකාරක පන්තියකට ගොස් විභාගයෙන් ගොඩ යන්නට බලා සිටි දරුවන් අපමණය. මේ වෙලාවෙ ඔවුන්ට පාසල ද පන්තිය ද යන දෙක ම අහිමි වී ගොස් ය. එකපාරට කැම්පස් යන්න බැරි වුණු සයන්ස්, මැත්ස් කොමස් ආර්ට් හදාරන දරුවෝ දෙතුන් වර විභාගයට ඉදිරිපත් වෙති. මේ පිරිස දහස් ගණනකි. ලෙඩේට හොඳ ම බේත online නම් නොවේ. අවදානමේ බර අනුව කොරෝනා අඩු අවදානම් කලාපවල ටික ටික හෝ ටියුෂන් පන්ති විවෘත කිරීමය.ඉදිරි පරපුර ඌන දැනුමක් ඇති පරපුරක් නොවන්නේ එවිටය. මාස හතකට වඩා රජයේ පාසල් ද පෞද්ගලික උපකාරක පන්ති ද වසා දමා තිබීම අධ්‍යාපන ලබන දරුවන් අතින් ගත් කල ඔවුන්ට බලවත් පාඩුවකි.

    පාසලෙන් සියල්ල සම්පුර්ණ වන්නේ නම් හොඳ වඅඩකි. පාසල් ම ගොස් ඉහළට ඉගෙන ගත්තෝ සමාජයේ ටික දෙනෙකි. කවුරුත් පාහේ පාසලුත් ගියහ.ටියුෂන් පන්තිත් ගිය හ.අතේ යහමින් වත්කම් ඇත්තා ද සාමාන්‍ය ආර්ථිකයක් හිමි කෙනා ද තම දරුවන් විභාගයෙන් ගොඩ දා ගන්නට ටියුෂන් පන්තියකට යැවූ හ.එතැන ශිෂ්‍යයා ද ගුරුවරයා ද රැකුණේ ය.පොකුරු පිටින් සිසු දරුවන් එගොඩ ගියේ ටියුෂන් පන්තිවලට පින් සිදු වන්නට ය.ඒක අසත්‍යයක් යැයි කීමට කවුරුන් හෝ පෙළඹෙන්නේ නම් ඔහුට අනුකම්පා කරනවා හැර ඔහු හා වාද කිරීමෙන් පලක් නැත.

    උපකාරක පන්ති ගුරුවරයාට රජය පඩි නොගෙවයි. ඔහු සමාජයට අත්‍යවශ්‍ය සේවයක් රජයට බරක් නොවී ලබා දෙන්නෙකි.රජයට බදු ගෙවමින් ස්‍වයං රැකියාවක නියැලෙන්නෙකි. ඔහුට ද දරුවන් සිටි. ඔහුට ද රකින්නට කුටුම්බයක් ඇත.ගෙවන්නට බිල් ඇත්තේ ය. බැකු ණය ඇත්තේ ය.ඒ ගැන කතා කරන්නේ දේශපාලකයන් බවට පත් වු ටියුෂන් ගුරුවරුන් අතරින් කී දෙනා ද යන්න සොයා බැලිය යුතු ය. මෙහි දිග පළල දන්නේ ඔවුන් ය. එහෙත් පන්තියක් ඇර ගන්න වචනයක් කතා කරන්නන් ටික දෙනෙකි.

    කොරෝනා අවදානම් ය.අවදානම මැදත් සියලු තැන් විවෘත ය.උපකාරක පන්ති පමණක් වසා ගෙන ඉන්නේ ඇයි? මීටරේ පරතරය තියා ගෙන, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව ළමයි විසි තිස් දෙනෙකුට ඉගැන්වීම වරදක් වන්නේ කෙසේ ද? බස් රථවල තෙරපීම ටියුෂන් පන්තියට ආදේශ කළ හැකි ද? කන්දකාඩු යන්නට ගුරුවරු ද සිසු සිසුවියන් ද අකැමති ය. අත් සෝදන පහසුකම් ඇති,මීටරෙන් ඉඳගන්න ඉඩත් ඇති, එබඳු ශාලා පහසුකම් ඇති,මුව ආවරණ ලා ගත් ගුරුවරයෙකුට හා ළමයින් විසිතිස් දෙනෙකුට ඉගෙනීමට හා ඉගැන්වීමට ඉඩ වසා තැබීම අධ්‍යාපනය ලැබීමේ අයිතියේ ගෙල සිඳීමකි. කොරෝනා එක්ක ජීවත් වන්නට හුරු විය යුතුයැයි කියයි. එහෙත් ටියුෂන් පන්ති අරින්ට එපා කියති.රජයට කීමට ඇත්තේ එකකි. ඒ ටියුෂන් ගුරුවන් ද මනුෂ්‍යයන් බව ය.ඔවුන් සමාජයට අනවශ්‍ය දෙයක් කරන පිරිසක් නොවන බවය.

    ශානික කිරින්දෙණිය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here