ඒත් මම ඒකට ආසයි

0
9
9 ජනවාරි, 2021

සමරු ඡායා එකතු කරන එක අතින් කාලා හරක් බලාගන්න ජාතියේ වැඩක් කෝවිඩ් නිසා දුක් වෙන ෆොටෝ මල්ලී කියයි

මම කවදාවත් ක්‍රීඩකයින්ට කරදර කරල නැහැ. බලපෑම් කරලා නැහැ ඒ වගේම ඔවුන්ගෙන් අනවශ්‍ය දේ ලබා ගන්න උත්සහ කරලා නැහැ.

‘ෆොටෝ මල්ලී’ නැතහොත් සුරාජ් සේරසිංහ, කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ක්‍රීඩා කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. එහෙත් දිගින් දිගටම ක්‍රිකට් ක්‍රීඩා කිරීම වෙනුවට පිටියට පිටුපෑ ඔහු අධ්‍යාපනය හැර යෑමෙන් පසු අලෙවිකරණ ක්ෂේත්‍රයට පිවිසියේය. එහෙත් ක්‍රීඩාව සමඟ ඇති බැඳීම අතහැරීමට නොහැකි වූ ඔහු යළි පිටිය වෙත ආවේ කැමරාවක් සමඟය. එහෙත් කැමරා මල්ලී‌ගේ කැමරාව අද වනවිට ලොක්ඩවුන්ව ඇත්තේ කොවිඩ් වසංගතය හේතුවෙනි. ‘ක්‍රීඩා’ ඔහුගේ නිහඬතාව ගැන කතා කිරීමට මෙලෙස උත්සුක විය.’

‘මගේ ළඟ එකතු කරපු සමරු සටහන් දහසකට වැඩිය තිබෙනවා. මට උවමනා ඒ සමරු සටහන් අනාගතයට බාර දෙන්න පුංචි නිදහස් කෞතුකාගාරයක් හදන්න. කොහොම වුණත් ක්‍රීඩා සමරු සටහන් තබන පෞද්ගලික කෞතුකාගාරයක් හදන එක ලෙහෙසි නෑ.නමුත් මම ඒ සිහිනය තුළ ජීවත් වෙනවා’ ෆොටෝ මල්ලී පැවසුවේ ක්‍රීඩා හා තම බලාපොරොත්තු සම්බන්ධයෙන් පවසමිනි.

සැබැවින්ම ‘ෆොටෝ මල්ලී’ යනු දුලබ රසිකයෙකි. ඒ කිසිවිටෙකවත් පසුබට නොවන සමරු රැස්කිරීමේ ඔහුගේ නොතිත් ආශාව සලකද්දී ය.

‘මට සනත් අයියා (සනත් ජයසූරිය) තමයි ෆොටෝ මල්ලී කියන නම තිබ්බේ. ඒක සමාජගත වුණා. අද මාව දන්න අයත් මට ෆොටෝ මල්ලි කියලා කියනවා. කොහොමත් මම ෆොටෝ මල්ලී කියනවාට කැමතියි.’ සුරාජ් පවසන්නේ සතුටිනි.

‘ඒත් මට දුක මෙවර එල්.පී.එල්. පිටියට යන්න බැරිවුණු එක ගැන’ යැයි ඔහු පවසන්නේ කනගාටුවෙනි.

ෆොටෝ මල්ලීගේ සමරු සටහන් ගැනීමේ ගමන පහසු එකක් යැයි කිවනොහැකිය. ඒ සමරු පින්තූර ගැනීමට යාමෙන් ඔහුට සිය ජීවිතයේ අහිමි දේ විශාල වන හෙයිනි. එහෙත් ඔහු තවමත් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි වූ බැඳීම සිය දිවියේම කොටසක් ලෙස සලකයි.

වසර 23ක කාලයක් මම මේ විනෝදාංශය කරනවා. එත් මට මේක එපා වෙලා නෑ. මම මේ විනෝදාංශය පටන් ගත්තේ තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන කාලයෙයි. ඒ කාලේ මම භක්‍ක්‍ ක්‍රීඩා සමාජයේ පෞද්ගලිකව පුහුණුවීම් වල නිරත වුණා. ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් ඔවුන්ගේ පුහුණුවීම් වල නිරත වෙනවා දකින්න ලැබුණා. එතකොට තමයි මේ සිහිවටන විනෝදංශය මා තුළ ඇතිවුණේ. පවුලේ එකම දරුවා හැටියට මට මගේ පියා (අභාවප්‍රාප්ත ගාමිණී සේරසිංහ) කැමරාවක් අරන් දුන්නා. අනෙක ඔහු දක්ෂ එල්ලේ ක්‍රීඩකයෙක්. අන්තිමට ක්‍රිකට් වෙනුවට උමතුවෙන් වගේ සමරු පින්තූර ගන්න නිහඬ රසිකයෙකු බවට පත්වුණා.’ සුරාජ් තම අතීතය පවසන්නේය.

‘මේ වැඩේට හොඳ ඉවසීමක් වගේම කැපවීමක් තිබිය යුතුමයි. මම කවදාවත් ක්‍රීඩකයින්ට කරදර කරල නැහැ. බලපෑම් කරලා නැහැ. ඒ වගේම ඔවුන්ගෙන් අනවශ්‍ය දේ ලබා ගන්න උත්සාහ කරලා නැහැ. දෙස් විදෙස් ක්‍රීඩකයින් ඒ බව හොඳින් දන්නවා. ඒ නිසා මට ඔවුන් මිත්‍රශීලීව සහාය පළකරනවා. මම මෙහෙම අසීරුතා මැද එකතු කරගත් සමරු ඡායාරූප භාවිත කරලා 2012 අගෝස්තු 24 දා ‘තරු සමඟ මම’ නමින් බොරැල්ලේ පුංචි තියටර් හී ප්‍රදර්ශනයක් පැවැත් වූවා. මුල්ම Test තරගාවලිය පැවැත් වුණෙත් ඒ කාල වකවානුවේදියි. එදා ප්‍රධාන අමුත්තා හැටියට යෝෂිත රාජපක්ෂ මහතා මගේ ප්‍රදර්ශනය බලන්න ඇවිල්ලා ලබා දුන් ශක්තිය හා ධෛර්යය මට කිසි දිනක අමතක වෙන්නේ නෑ. ඒ ශක්තිය අදත් මට ලැබෙනවා. මොකද ඔහුත් අති දක්ෂ ක්‍රීඩකයෙක් නිසා. ඒ වගේම එම ප්‍රදර්ශනයේ පූර්ව ප්‍රචාරක කටයුතු සඳහා අපේ රටේ සියලු මුද්‍රිත හා විද්යුත් මාධ්‍යයන්ගෙන් ලබා දුන් සහායත් ලක්ෂ දෙකකටත් අධික පිරිවැයක් දරමින් ෆූජි ලංකා සමාගම ඡායාරූප මුද්‍රණය කිරීමෙන් ලබා දුන් සහායත් මම ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරන්න කැමතියි.’ සුරාජ් පවසන්නේ කෘතගුණශීලිවය.

‘අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, හෂාන් තිලකරත්න, චමින් ද වාස්, ඇතුළු අපේ ක්‍රිකට් ක්‍රීඩාවෙ දැවැන්තයන් මගේ මේ ගමනට නිහතමානීව ආශිර්වාද කරලා තිබෙනවා. මා සතුව පවතින දෙස් විදෙස් ක්‍රීඩකයින්ගේ අත්සනින් යුත් සමරු පිති, ටී ෂර්ට්, කැප්, එකතුවේ වටිනාකම මිල කළ නොහැකියි. ඇත්තෙන්ම මෙය ගිනස් වාර්තාවක් ද විය හැකියි. මට අවශ්‍ය කළේ මගේ මේ උත්සාහය රටටම පෙන්වන්න මිස විකුණන්න නොවෙයි. හැබැයි යම් ආයතනයක් මට අනුග්‍රහය දක්වනවා නම් මම කැමතියි මෙය රට වටා ගෙනිහිල්ල පෙන්වන්න. එයින් ලැබෙන මුදලින් අරමුදලක් පිහිටුවලා යොවුන් ක්‍රීඩකයන්ට යමක් කරන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here