ගාල්ලෙන් දැල්වී නිවී ගිය මහා පහන් ටැඹ

    0
    15

    රුහුණු කලා හවුලේ හැත්තෑ තුන් වසරක පැවැත්ම අද දක්වා පැවතෙන්නේ ඔහුගේ අතිමහත් කැපකිරීම නිසාමය. අපවත් වී වදාළ නෙළුවේ ගුණානන්ද නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් රුහුණේ නන්විධ කලාකරුවන්ට පහන් ටැඹක් සේ 1947 දී බිහිවූ රුහුණු කලා හවුලේ මුල්පුටුවට ඔහු පත්වන්නේ ආරම්භක සභාපති රජ්ගම ටී. ලියනගේ කිවිඳුන්ගෙන් පසුවය. ඒ 1970 වසරේ අගභාගයේ සිටයි. එදා මෙදා තුර ගෙවුණු කාලය අඩසිය වසකි. ඒ කාලය පුරා දක්ෂිණ ලංකාවේ කවි කිවිඳියන් ප්‍රමුඛ සාහිත කෙත සරු කරන්නට පෙරට ආ පිරිස් වෙත ඔහුගේ ඇල්මෙන් බැල්මෙන් ලද හයි හත්තිය අප්‍රමාණය. අනන්තය.

    රුහුණු ලකේ සෑම කලාවක්ම රැකගන්න රුහුණු කලා හවුල ඇප කැප වී හැත්තෑ තුන් වසරක් නිමා වෙද්දී ඊට මේ දක්වා නිවැරැදිව මඟ පෙන්වූ එහි සභාපතිවරයා සේ අඩසිය වසක්ම ඊට ජීවය දුන් මහාචාර්ය බන්දුසේන ගුණසේකරයෝ පෙරේදා (06) දැයෙන් සමුගත්හ. ස්වකීය භාෂා ශාස්ත්‍ර ඥානය නිර්ලෝභීව අන්‍යයන්ට බෙදාහදා දෙමින් රුහුණු රටේ අගනගරේ ගාලු පුරේ, හැව්ලොක් පෙදෙසේ, මහාචාර්ය බන්දුසේන ගුණසේකර මාවතේ අංක 48 දරන ස්ථානයේ දැල්වී රටක් දැයක් ඒකාලෝක කළ ඒ මහා පහන් ටැඹ නිවී ගියේය.

    මහැදුරු බන්දුසේන ගුණසේකර සූරීන් කලා ලොවට පිවිසෙන්නේ කවියකු ලෙසය. වෘත්තීය පුවත්පත් කලාවේදියකුවීමේ අභිලාෂය ඔහුගේ හිතේ මුලින්ම මුල් බැස තිබූ අපේක්ෂාවයි. ඒත් ඔහු සමාජ ගත වෙන්නේ ආධුනික ගුරුවරයකු වශයෙනි. මුල්ම පත්වීම වැල්ලතොට සුගතානන්ද විද්‍යාලයටයි.1952 දී ගුරු වෘත්තියට පිවිසි හේ 1954 දී නිට්ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව දෑවුරුදු පුහුණුවෙන් පසු 1956 ජනවාරි පළමු වැනිදා තමන් හෝඩිය කළ දඩල්ලේ දේවානම්පියතිස්ස විදුහලේ සේවයට පත්වීම් ලැබීය. 1947 දී ඔහුට පාසලෙන් ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට පෙනී සිටින්නට විදුහල්පතිවරයා අවස්ථාව නොදුන් හෙයින් එදා බන්දුසේන ගුණසේකර නම් මේ ශිෂ්‍යයා ඒ විභාගයට පෙනී සිටියේ බාහිර අයැදුම්කරුවකු වශයෙනි. ඊට හේතුපාදක වූයේ එකල දඩල්ල බෞද්ධ මිශ්‍ර පාඨශාලාව නම් වූ එහි විදුහල්පතිවරයා පාසලේ සාමාන්‍යාධිකාරිනියගේ නියෝගය මත ඔහුට ඒ විභාගයට පෙනී සිටීමේ මඟ අහුරනු ලැබීමය. කෙසේ වුවද ගුණසේකර ඉතා උසස් අයුරින් ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සමත් වෙද්දී පාසලෙන් පෙනී සිටි සියලු සිසු සිසුවියෝ අසමත් වූහ. පාසලේ සාමාන්‍යාධිකාරිනිය හා ගමේ ප්‍රභූ පවුල්වල ඇත්තන් ගම්වැසියන් තලා පාගා පෙළනවාට එරෙහිව එවක පාසල් සිසුවකු වූ බන්දුසේන ගුණසේකර හා වැඩිමහල් සොයුරු ධර්මසේනත් පෙරට ඒම නිසා ඔවුන් මේ අයිය මලෝ දෙන්නා සමඟ වෛර බැඳගත්තේ ඉඩක් කඩක් ලද වහා ඔවුනට පාඩමක් ඉගැන්නීමේ දුෂ්ට චේතනාව හිත් හතන්හි පුරෝ ගෙනය.

    පුහුණු ගුරුවරයකු සේද අනතුරුව විදුහල්පතිවරයකු සේ ද සේවය කළ හෙතෙම උසස් අධ්‍යාපනය උදෙසා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්නේ ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය හෙවත් වත්මන්හි කැලණිය විශ්වවිද්‍යාලයටයි. සිවු වසරක සරසවි අධ්‍යාපනය හමාර කළ බන්දුසේන ගුණසේකර බී.ඒ:ගෞරව උපාධිය රැගෙන පිවිසෙන්නේ 1963දී ද්විතීය:ඉහළ සමර්ථ්‍යයක් අතැතිවයි. මීපාවල අමරසූරිය මහා විදුහලෙහි හා ගිංතොට මහා විදුහලෙහිත් විද්‍යාලාධිපතිවරයා සේ ඒ ප්‍රදේශාශ්‍රිත දරු දැරියන්ගේ නුවණැස පෑදීමෙහි ලා මහත් සේ කැපවීම් කළ හේ 1968 ඔක්තෝබර් 01 වැනිදා සිට සහකාර කථිකාචාර්වරයකු ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ සේවයට එක්වන්නේය.ගාල්ලේ ග්‍රාම නාම හා එහි විත්ති, නමින් ලියන ලද පර්යේෂණ නිබන්ධයට ඔහු ශාස්ත්‍රපති උපාධිය දිනා ගත්තේය. The Evolution oF the Sinhalese From The 6th to the 10 th centuriy නමින් යුත් නිබන්ධය ඉදිරිපත් කර ආචාර්ය උපාධිය බන්දුසේන ගුණසේකරයාණන් හිමිකර ගන්නේ ලන්ඩන් විශ්වවිද්‍යාලයට 1971 දී ඇතුළත්ව සිංහල අක්ෂර විකාශනය පිළිබඳ කළ පර්යේෂණ කෘතියෙනි.

    කැලණිය සරසවියේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයා සේ දිගු කලක් සේවය කළ ඔහු එහි මහැදුරුවරයා සේ සේවය කරමින් සිට ඉසුඹු ලැබීමෙන් පසු රුහුණු විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ට සිය දැනුම බෙදාහදා දුන්නේය.

    බන්දුසේන ගුණසේකරයාණෝ බෝ උසස් ගතිගුණයෙන් පිරුණු උත්තම මිනිසෙක් වූහ. තමන්ගේ පිහිටක් හව්හරණක් පතා එන කවරකුට වුව නොපැකිලව පිහිටවීමේ ගතිය ඔහු වෙතින් මා දුටු විශේෂත්වයකි. තමන් සතු දැනුම බෙදා හදා දෙන්න හේ කිසිවිටෙකත් මැළි නොවීය.

    හේ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම මනුස්සකමින් පිරුණු උතුම් මිනිසෙක් විය.

    හේ කවියෙකි. ලේඛකයෙකි. සම්භාවනීය ගත්කතුවරයෙකි.හේ ප්‍රාඥයෙකි. ඔහු ශ්‍රෙෂ්ඨ උගතෙකි. මැදහත් විචාරකයෙකි. විවිධ ක්ෂේත්‍රයන්හි පැතිරැති මහා දැනුමකින් හෙබි වියතෙකි.හෙළබස පිළිබඳව ඔහු සතු දැනුම එසේ මෙසේ යැ යි කිවහැකි නොවේ. පුරාක්ෂර විද්‍යාඥයෙකි ගුණසේකරයාණෝ.

    ළමා සාහිත්‍යය ක්ෂේත්‍රය පුළුල් කරනු වස් ඔහුගේ මඟ පෙන්වීමෙන් ඇරැඹි ළමා ග්‍රන්ථ පර්යේෂණ මණ්ඩලය සුබස හවුල ව්‍යක්ති සංවිධානය මෙන්ම නිර්මාණකරණයේ යෙදෙන්නට පිය බවෙක් දක්වන යොවුන් පරපුරට අතහිත දීමෙහි ලා ඔහුගේ මඟ පෙන්වීමෙන් බිහි කෙරුණු සරස්වතීගේ දරුවෝ තරුණ කවය රුහුණේ දූ පුතුන් උදෙසා පමණක් නොව සමස්ත දේශයේම යෞවන කවි කිවිඳියනට ලේඛක ලේඛිකාවනට ඔහුගේ සෙවණ ලබමින් සැනහෙන්නට නිමහම් කෙරුණු තොටිල්ලක්ම විය. ආත්ම ගරුවත්වයෙන් යුතුව සිය මෙහෙය මෙසේ නොපැකිළව ඉටු කරද්දී ඔහු කරා ආ බාධක ද එසේ මෙසේ ප්‍රමාණයක් නොවේ.

    බන්දුසේන ගුණසේකරයෝ ලාංකේය දරු දැරියන්ගේ හිතසුව පිණිසම උපන් මානව දයාවෙන් පිරුණු සත් පුරුෂයකු වූහ. 1986 පටන් දකුණ වෙළා පැවති රුදුරු භීෂණ සමයේ ඔහු අයුක්තියට අසාධාරණයට එරෙහිව කටයුතු කිරීම නිසා ජීවිතයට එල්ල වූ තර්ජන කෙබඳුදැයි අප පෞද්ගලිකවම දන්නා කාරණාවෙකි. සරසවි සිසු සිසුවියන් අතර ඉතා ජනප්‍රිය ඇදුරකු සේ හේ පතළව හුන්නේය. ඔහු වෙතින් දැනුම උකහා ගත් සමහරුන් පසු කලෙක මහා විදග්ධයන් සේ කරලියේ මතුව ඔහුට අකටයුතුකම් කළ හැටි ද අපිදු දන්නෙම්හ. ඒ කවරකුට වුව ඔහු හෙළුවේ දයාවේ නෙතුය. කරුණාවේ බැල්මය. මෙත් සිතින් සියල්ල උපේක්ෂාවෙන් බලන්නට හුරු පුරුදුව හුන් බන්දුසේන ගුණසේකර ඒ කිසිවකින් සැලෙන්නට තරම් පසුගාමී පුද්ගලයකු නොවිණි.

    ඔහු කිසිදු ගුරුකුලයකට දායකත්වයක් නොදැක්වූයේය. ස්වාධීන මතයෙකම පිහිටි හේ ගුරුකුල මතවාද බැහැර කළේය. තමන් සොයා එන අංකූර නිර්මාණකරුවන්ට ඔහු පෑ දයාවක තරම අන් කිසිදු විශාරදයකුගෙන් දැක ගන්න නොහැකි බව අතිශෝක්තියක් නොවේ.

    මහැදුරු ගුණසේකර විසින් රචිත ශාස්ත්‍රීය කෘතීන් සුළුපටු නොවේ. භාෂා විමර්ශන ,ග්‍රන්ථ සංස්කරණය සාහිත්‍ය අධ්‍යයන ,ශාස්ත්‍රීය පර්යේෂණ, සාහිත්‍ය විචාර, ළමා ග්‍රන්ථ,පර්යේෂණ ළමා සාහිත්‍ය නිර්මාණ ඓතිහාසික සංස්කෘතික විමර්ශන මෙන්ම පුරාක්ෂර විද්‍යාව පිළිබඳ හැදෑරීම් සේ ඔහු විසින් කරන ලද මෙහෙයන් වර්ග කළ හැකිය.

    අද දවසේ රටේ නේක විධ කලා ශිල්පීන් යම් වරප්‍රසාදයක් භුක්ති විඳින්නේ ද ඒ සියල්ල මහාචාර්ය බන්දුසේන ගුණසේකරයන්ගේ මඟ පෙන්වීම මත රුහුණු කලා හවුලේ යෝජනා කෙරෙහි පාලකයන් නම්‍යශීලීව සහතික කරන ලද වරප්‍රසාද වේග ලී කැටයම් ශිල්පීන් ඇත්දල කැටයම් ශිල්පීන් වෙස්මුහුණු කලා නිර්මාණ ශිල්පීන් බීරළු රේන්ද ශිල්පීන්ගේ නිර්මාණවලට ඇවැසි කළුවර හා අනෙකුත් දැව වර්ගත් රන්වැඩ ශිල්පීන්ට ඇවැසි රන් ලබාගැනීමටත් පහසුකම් සැලසුණේ රුහුණු කලා හවුල විසින් පාලකයන්ගේ නෙත් සිත් ඔවුන් වෙත යොමු කිරීම නිසා වගක් අද ඒ කර්මාන්තයන්හි නියැළෙන්නන් නොදන්නවා විය හැකි වූවත් සත්‍යය එයම වේ.

    ඔහු විසින් මහත් සේ වෙහෙස මහන්සි වී ඉදිරිපත් කරන ලද ගාල්ලේ ග්‍රාමනාම හා එහි විත්ති පර්යේෂණ නිබන්ධය බොහෝ විද්වතුන්ගේ ප්‍රශංසාවට බඳුන් විය. ඔහුගේ දැඩි අවධානයට පත්වූවකි.අපේ ජනකවිය මාතර සාහිත්‍යය පිළිබඳව ගුණසේකරයාණන් කළ අනාවරණ අදත් විද්වත් පැසසුමට ලක්වන්නකි. ඔහුගේ ඇහැළේපොළ වර්ණනාව විශ්වවිද්‍යාල සිසුනගේ හැදෑරීමට තෝරාගත් ග්‍රන්ථයෙකි.

    මහාචාර්ය මිණිවන් පී. තිලකරත්නයන් ගුණසේකර විද්වතාණන් පිළිබඳව දක්වා ඇත්තේ හේ පර්යේෂණ කටයුතුවලට නැඹුරු වූයේ සරසවි සිසු සමයේ පටන් බවයි. එසේ සිය පර්යේෂණ ක්‍රියාවලිය අරඹන ලද බන්දුසේන ගුණසේකර විසින් රචිත ග්‍රන්ථවලින් බහුතරය සාහිත්‍ය විචාරයන්ය.

    සිංහල කවිය විචාරය හා රසාස්වාදය සිංහල කවියේ අද්‍යතන ස්වරූපය ගජමන් නෝනාගේ කවි සීපද සිංහල සාහිත්‍යය-කෝට්ටේ යුගය සහ එතැන් සිට සිංහල අක්ෂර සම්භවය හා එහි විකාශනය සිංහල සාහිත්‍ය ඉතිහාසය අපේ සංස්කෘතික උරුමය හා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික පරිසරය ජාතක කථා සංග්‍රහ විචාරය බන්දුසේන ගුණසේකර මහාචාර්යවරයාගේ ශාස්ත්‍රීය මෙහෙයෙන් අප මෙහි දක්වා ඇත්තේ ඉතා අල්පයක් ය.

    කවිය අවියක් සේ අතට ගෙන නිර්මාණකරණයට පිවිසි බන්දුසේන ගුණසේකර විද්වතා එදා මෙදා තුර පළකරන ලද සාහිත්‍යය කෘති සංඛ්‍යාව සියයකට මඳක් අඩුවිය හැක.එයින් බොහොමයක් ශාස්ත්‍රීය ග්‍රන්ථයි. ළමා පරපුර වෙනුවෙන් අකුරු උපත ,රයිගමයයි – ගම්පොළයයි, සල්ගස් සෙවණ ,රජ්ජුරුවෝ බිමයි බිමයි කපටි වඳුරාල, කේළම් කීවා-දඬුවම් ලැබුණා ,ලූල්ලු මාමා, නොතේරුවොත් – ටොකු විස්සයි, ගල් වඩුවා සහ ගල් පිළිමය, කුහුඹුවා කුඩා වූ සැටි,පුංචි පුංචි කවි, මසුරු වෙළෙන්දා සහ රන්කාසි පසුම්බිය, ආත්ත මුත්තා ඔට්ටු වෙලා – කෑම ටිකට තට්ටු වෙලා ,කැවුම් බබා ,රජ ගෙම්බා ,කම්මැලියාට ලියුමක්, වැනි නිර්මාණ ඔහු ලාංකේය බාල පරපුර පොතපත වෙත නැඹුරු කිරීමේ වුවමනාවෙන් ඔවුනට දායාද කරනු ලැබීය. මේ ළමා කෘති ගණනාවක් විදෙස් බසින් සිංහලට පෙරළන ලද නිර්මාණයන්ය.

    මහැදුරු බන්දුසේන විසින් පුවත්පත් සඟරා ආදියට ලියන ලද ඉතා වැදගත් ලිපි අතිමහත්ය. ‍

    ආරම්භයේ දී හේ නිදහස සිංහල බෞද්ධයා පෙරමුණ සිළුමිණ ලංකාදීප ආදී පුවත්පත්වලට රසවාහිනිය ප්‍රමුඛ සඟරාදියට කවිය ගැන ලිවීමට උත්සුක වූයේය. කවියකු සේ නමක් දිනා හුන් ඔහු අපේ කවිය උස්සා තබන්නට ඇප කැප වූයේය.

    හෙළ බසට හෙළ සංස්කෘතියට අපමණ දයාවක් සෙනෙහයක් පෑ බන්දුසේන ගුණසේකර භාෂාවේත් සාහිත්‍යයේත් උද්දීපනය තකා අපමණ මහන්සියකින් කටයුතු කළේය. වීර දුටුගැමුණු වෘත්තාන්තය සුවඳ පතන 1 හා 2 යනුවෙන් රචිත හේ දාඨාසේන මහ සෙනෙවි විජයග්‍රහණයේ වීරයා දීඝාභය කුමාරයා ගජබා පුවත ගනරුව කතාව සහ ජනශ්‍රැති තුනක් වීර ගජබාහු මහ රජතුමා ධර්ම විජය කාවන්තිස්ස රජතුමා 1 හා 2 විමුක්ති සංග්‍රාමයේ නියමුවා සේනාධිපති නන්දිමිත් සුබාහු හෙවත් මහා නීල ආදී හෙළවිරුවන්ගේ චරිත පාදක කොටගෙන ලියන ලද ඓතිහාසික නවකතා පාඨක රුචිය වඩවමින් හෙළයේ දරු පරපුර ජාතිකාභිමානයෙන් යුක්ත පිරිසක් වනු රිසින් ඔවුන් ඥානනය කරන්න බන්දුසේන ගුණසේකරයෝ ගන්නා ලද උත්සාහය කෙතරම් වටනේද?අගනේද?.

    ඔහු දිගු කලෙක පටන් දුබල ශරීර සෞඛ්‍යයෙන් පසුවූවත් අවසන් ප්‍රාණ වායුව බැහැර වන තුරා ස්වකීය දැනුම මතු පරපුරට බෙදා හදා දෙන්න ගත් අප්‍රතිහත ධෛර්ය කෙසේ නම් වනන්නද?

    මහැදුරු බන්දුසේන ගුණසේකර මැතිඳුනි

    ඔබට නිවන් සුව! 
    සුගතපාල මැන්දිස්

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here