තිසරට ඉසුරුට පීඑස්එල්වල ඉහළ වටිනාකමක්

0
15

පාකිස්තාන ක්‍රිකට් ආයතනය සංවිධාන කරන 2021 පාකිස්තාන සුපර් ලීග් විස්සයි20 (පීඑස්එල්) ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලාංකික තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනකු වන තිසර පෙරේරාට සහ ඉසුරු උදානට වැඩි වටිනාකමක් හිමිව තිබේ.

මේ තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම හෙවත් ක්‍රීඩකයන් තෝරා ගැනීම (Player Draft) මේ ඉරිදා (10) ලාහෝර් නුවරදී සිදු කිරීමට නියමිතය.

මේ සඳහා වන ඉහළ වටිනාකමින් යුත් ක්‍රීඩකයන් 25 දෙනකුගෙන් සමන්විත විදෙස් ක්‍රීඩකයන්ගේ කාණ්ඩයට (Platinum category) ඇතුළත් නම් ලැයිස්තුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා සහ ඉසුරු උදාන ද ඇතුළත්ව ඇත්තේ මේ කාණ්ඩයටය.

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් 7ක්, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තයෙන් ක්‍රීඩකයන් 5 බැගින් මීට ඇතුළත් වන අතර, ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් 3ක්, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව සහ නේපාලයෙන් ක්‍රීඩකයකු බැගින් මේ ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.

ඒ අනුව තිසර සහ ඉසුරුට අමතර, ක්‍රිස් ගේල්, ලෙන්ඩ්ල් සිමන්ස්, කාර්ලෝස් බ්‍රැත්වේට්, ඒවන් ලෙවිස්, ඩ්වේන් බ්‍රාවෝ (කොදෙව්), ක්‍රිස් ජෝර්ඩ්න්, ඇලෙක්ස් හේල්ස්, මොයින් අලී, ඩේවිඩ් මාලන් සහ ටොම් බැන්ටන් (එංගලන්තය), රෂීඩ් ඛාන්, මොහොමඩ් නබි සහ මුජීබ් උර් රහ්මාන් (ඇෆ්ගනිස්තානය), මුෂ්ටෆිසූර් රහ්මාන් (බංග්ලාදේශය), ක්‍රිස් ලින් (ඔස්ට්‍රේලියාව), සන්දීප් ලැම්ච්නේ (නේපාලය) මේ ලැයිස්තුවට එක්ව සිටිති.

මේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර සෑම කණ්ඩායමකටම උපරිම වශයෙන් සිය සංචිතයේ ක්‍රීඩකයන්ගෙන් 8 දෙනෙකු රඳවා ගැනීමට අවස්ථාව හිමිව තිබේ.

මේ අතර, මේ වසර තුළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට හිමිව ඇති කාර්ය බහුල තරග රටාව හේතුවෙන් විදෙස් රටවල සංවිධාන කරන කිසිදු තරගාවලියකට (විස්සයි20 හෝ දහයයි10 ලීග්) ක්‍රීඩා කිරීමට සිය ක්‍රීඩකයන්ට අවසර නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා පළ වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගන්තයට එරෙහි තරගාවලිය මේ 14 වැනිදා ආරම්භ වන අතර, අනතුරුව ශ්‍රී ලංකා පිල බටහිර ඉන්දීය කොදෙව්හී සංචාරයක නිතර වීමට නියමිතය. එල්පීඑල් සහ දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් රැසක් ආබාධවලට ලක්වීම ද මීට හේතු වී තිබේ.

6 වැනි වරට පැවැත්වීමට නියමිත පීඑස්එල් තරගාවලිය පෙබරවාරි 20 සිට මාර්තු 22 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here