දකුණු අප්‍රිකාවේදී අපේ අයගේ වැඩ

0
14
Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

විසිඑක්දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකාව බලා ගියේ ලෝක ටෙස්ට් ශූරතාවලිය යට⁣තේ තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා ය.

එහෙත් 2019 වසරේ ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකානු භූමියේදී ඔවුන් පරාජය කරමින් (2-0) දිනාගත් ඔටුන්න තරගයකින් තොරව එහිදීම යළි ගලවා දීමට ශ්‍රී ලංකා පිලට සිදු විය.

අපරාජිත බව රැක ගැනීමට දකුණු අප්‍රිකාවට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකානු නව නායක ක්වින්ටන් ඩී කොක් අනතුරු ඇඟවූයේ පසුගියවර තම කණ්ඩායමට මවුබිමේදීම අත්කර දුන් පරාජයේ වාඩුව මෙවර තරගාවලියේදී ගන්නා බවයි. ඔවුන් එසේ වාඩුව ගනිද්දී ඊට එරෙහිව සටනක් දීමට හෝ ශ්‍රී ලංකා පිලට නොහැකි විය.

පිතිකරුවෝ

තරග 2ක් දින 10ක් තුළ පැවැත්විය යුතු වුවත් මේ තරග දෙක දින 7කින් නිමා වීම කැපී පෙනිණි. එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඩි ඕවර සංඛ්‍යාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි වූ අතර, පළමු තරගයේ පළමු ඉනිම පමණක් ඕවර 96ක් දක්වා ඇදි ගියේය.

මෙලෙස ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු අතරට පිවිසීමට අසමත් වීම තරගාවලිය පරාජයට හේතු වූ අතර, කිසිදු පිතිකරු යුගලයක් සාර්ථක සබඳතාවක් ගොඩනැඟීමට අපොහොසත් වීම ද තරග ද්විත්වයේම ඉනිම කඩා වැටීම හේතු විය.

දිනේෂ් චන්දිමාල් (85) සහ ධනංජය ද සිල්වා පළමු තරගයේ පළමු ඉනිමේදී සිවුවැනි කඩුල්ලට රැස්කළ ලකුණු 131ක ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වාර්තා වූ ඉහළම සබඳතාව විය. කුසල් ජනිත් පෙරේරා ඉනිම 4කදී අර්ධ ශතක 2ක් සමඟ රැස්කළ ලකුණු 141ක ශ්‍රී ලංකා පිතිකරුවකු වෙතින් මේ තරගාවලියේ වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව විය. නායක දිමුත් කරුණාරත්න දෙවැනි තරගයේදී මේ තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කළ එකම ශතකයට හිමිකම් කී අතර, ඉනිම 4කදී වාර්තා වූයේ අර්ධ ශතක 6ක් පමණි.

තරගාවලියේ වීරයා සම්මාන හිමිකරගත් දකුණු අප්‍රිකාවේ ඩීන් එල්ගාර් ඉනිම 3කදී ලකුණු 253ක් රැස් කරමින් වැඩිම ලකුණුලාභියා වූයේ ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟිනි. ෆෆ් ඩු ප්ලෙසිස් දෙවැනි තැනට (207) පත් විය.

දකුණු අප්‍රිකානු පිතිකරුවන් සිය යුතුකම් ඉටු කරද්දී ශ්‍රී ලංකා පිල බලාපොරොත්තු තබා සිටි පිතිකරුවකු වූ කුසල් මෙන්ඩිස්ට අවසන් වරට ශ්‍රී ලංකා ඉනිම සැරසීමට සිදු වූයේ පිට පිට බිංදු තුනකිනි. ඔහු එක් ඉනිමකදී පමණක් ලකුණු 12ක් රැස්කළ අතර, ඔහු ඉනිම 4ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් අතරේ අසිත ප්‍රනාන්දුට පමණක් ඉදිරියෙන් සිටියේය.

පන්දු යවන්නෝ

විශ්ව ප්‍රනාන්දු ඉනිම 3කදී කඩුලු 8ක් බිඳ දමමින් ශ්‍රී ලාංකේය පන්දු යවන්නන් අතර, ඉදිරියෙන් පසු විය. දෙවැනි තරගයේදී ලකුණු 101කට කඩුලු 5ක් බිඳ දැමීමට ඔහු සමත් වූයේ මේ තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයකු කඩුලු 5ක් බිඳ දැමූ එකම අවස්ථාව ද සටහන් කරමිනි. ඔහුට ඉදිරියෙන් කඩුලු දවා ගැනීම් අතර, දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් වන ඇන්රිච් නෝර්ට්ජේ (11), ලුතෝ සිපම්ලා (10) සහ වියාන් මුල්ඩර් (9) සිටිති.

ශ්‍රේණිගත කිරීම්වල පහළට

මේ තරගාවලිය ජය ගැනීම හේතුවෙන් ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාව පස්වැනි තැන දක්වා ඉහළට පිවිසි අතර, 5 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාවට 6 වැනි තැනට වැටිණි.

ලෝක ශූරතාවලියෙත් පසුබසී

ලෝක ශූරතාවලියට ඇතුළත් මේ තරගාවලියට එක්වන විට 6 වැනි තැන සිටි ශ්‍රී ලංකාව (80) 7 වැනි ස්ථානය දක්වා පහතට වැටිණි.

එහි 8 වැනි තැන සිටි දකුණු අප්‍රිකාව (24) තරග දෙකම ජය ගැනීම හේතුවෙන් ලකුණු 120ක් එක්කර ගත්තේය. ඒ සමඟ ඔවුන් (144) 5 වැනි ස්ථානය දක්වා ඉහළට යෑමට සමත් විය.

ආබාධ වැලක්

මේ සංචරයට පෙරම ක්‍රීඩකයන් දෙදෙනකු ආබාධවලට ගොදුරු වූ අතර, දකුණු අප්‍රිකාවේදී ක්‍රීඩකයන් 7 දෙනෙක් ආබාධවලට ලක් වූහ.

කොරෝනා වසංගතය හේතුවෙන් මාස දහයකෙට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නතර වී තිබිණි. වෘත්තීය ක්‍රීඩකයන් මෙලෙස මාස ගණනක විවේකයකින් පසු යළි පිටියට පිවිසි මුල් තරගාවලිවලදීම ආබාධයන්ට ගොදුරු වීම කනගාටුදායක තත්ත්වයකි.

දීර්ඝ විවේකයකින් පසු ආරම්භ වූ පළමු තරගාවලියේදීම තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සහ පිතිකරුවෙකු වන ඕෂධ ප්‍රනාන්දු ආබාධවලට ගොදුරු වූහ.

ඕෂධ ආබාධයකට ලක්ව සිටියදී දකුණු අප්‍රිකාව බලා රැගෙන ගිය අතර, සුරංග ලක්මාල් එහිදී සිදු කළ පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් විය. පළමු තරගය අතරතුර ධනංජය ද සිල්වා, චන්දිමාල්, ළහිරු කුමාර, කසුන් රාජිත සමඟ වනිඳු හසරංග එම ලැයිස්තුවට ඇතුළත් වූහ. එහෙත් හසරංගට පමණක් දෙවැනි තරගයට ක්‍රීඩා කළ හැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here