දත් ගන්න කොටි මරන ජාවාරමක්

0
37

– දත් 5ක් සොයා ගෙන 
– සැක 4ක් අත්අඩංගුවට

දත් ලබා ගැනීමේ අරමුණෙන් කොටින් මරා දැමීමේ ජාවාරමක් මාතලේ රජ්ජම්මන ප්‍රදේශයෙන් අනාවරණය කර ගැනීමට වන ජීවී නිලධාරීන් සමත්ව තිබේ.

ඉකුත් සතියේ මාතලේ – රජ්ජම්මන ජල විදුලි බලාගාරයේ ජලාශයේ දැලක් තුළ මිය ගිය කොටියකුගේ සිරුරක් තිබෙන බවට රජ්ජම්මන අඩවි වන ආරක්ෂණ කාර්යාලයට ලද තොරතුරුක් අනුව කළ සෝදිසි මෙහෙයුමකදී මේ ජාවාරම හෙළි කර ගැනීමට හැකියාව ලැබී තිබේ.

මිය ගිය කොටියා Panthera pardus kotiya’ යන විද්‍යාත්මක නාමයෙන් යුතු වන අතර මෙරටට ආවේණික උප විශේෂයට අයත් දුර්ලභ ගණයේ සත්ත්වයෙකි.

වනජීවී නිලධාරීන් සොයා ගන්නා විටත් හම ඉවත් වී තිබී ඇති අතර එම කොටියාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කර ඇත්තේ ගිරිතලේ වනජීවී පුහුණු කඳවුරේ සමීර කළිඟුආරච්චි මහතා විසිනි.

මියගොස් සිටි කොටියාගේ සිරුර තුළ වෙඩි පහරවල් හෝ මද්දකට හසු වූ බවට සලකුණු දක්නට නොමැති අතර සතාට වස දී මරා ඇති බවට අදාළ නිලධාරීහු සැක පළ කරති.

මේ සිද්ධිය පිළිබඳ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් නියෝගයක් මත මාතලේ ඕවල ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට වනජීවි නිලධාරීන් කටයුතු කර තිබේ.

ඒ අනුව සීසීටීවී දර්ශන පරීක්ෂා කර එම ප්‍රදේශයේ ගම්වැසියන් දෙදෙනකුත්, රජ්ජම්මන විදුලිබලාගාරයේ ආරක්ෂිත දැල පිරිසුදු කරන සේවකයන් දෙදෙනකුත් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් පිළිබඳ විමර්ශන කිරීමේදී ඕවල ප්‍රදේශයේ ගම් වැසියන් දෙදෙනා සතුව තිබූ කොටි දත් 5ක්ද සොයා ගෙන තිබේ.

පහන් විජේසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here