නාරන්බැද්දගෙන් ගෆූර්ට දේශපාලන පාඩමක්

    0
    8

    දේශපාලනයේදී කථිකත්වය යනු සුවිශේෂ වූ ආභරණයකි. ඒ අවිය හොඳට නරකට දෙකටම පාවිච්චි කළ හැකි ප්‍රබල අවියකි. ඒ නිසා පැරණි කවියකු ඒ ගැන සඳහන් කළේ “මානෙල් සුවඳමය කුඩමසු පිළීගඳමය, දෙකට එක දියමය හොඳට නරකට දෙකට කටමය” යන පැරණි උ‍පදේශාත්මක කවි යෙනි.

    රුසියාව වෙනස් කළ වී. අයි. ලෙනින්ගේ ගැඹුරු වූ මාක්ස්වාදය ගොවියන් කම්කරුවන් වශීකෘත කළේ ඉතා සරල අයුරින් දක්ෂ කථිකයකු ලෙස ජනතාව ඇමතීමෙනි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස එබ්‍රහම් ලින්කන් ඇමරිකානු ජනතාව අතර දක්ෂ කථිකයෙකි. ෆැසිස්ට්වාදයෙන් ලොවම මුසපත් කළ ඇඩොල්ෆ් හිට්ලර් සමස්ත ජර්මන් ජනතාව පමණක් නොව මුළු ලොවක් වශිකෘත කළ හැකි දක්ෂ කථිකත්වයෙන් හෙබි නායකයෙකු බව ඔප්පු කළේය.

    මේ අයුරින් ගත් කල මහත්මා ගාන්ධි, නේරූ, ෆිදෙල් කැස්ත්‍රෝ ආදි නායකයන් සිය වාග් චාතුර්යෙන් ඔවුන්ගේ දේශපාලන උවමනාවන් ජයගත් බව පැහැදිලිය.

    ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ද එවැනි දක්ෂ කථිකයන්ගෙන් අඩුවක් නොවීය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක යනු වරෙක “ආසියාවේ රිදී සීනුව” යනුවෙන් හැඳින් වුණු දක්ෂ කථිකයකු වූයේ සිංහල, ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම සිය හැකියාවන් දැක්වූ ජනතා නායකයකු වශයෙනි. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, දේශපාලන වේදිකාවේ සිය වාග්චාතුර්යෙන් ජනතාව වශීකෘත කළහ. උපහාසය සමඟ දේශපාලන වේදිකාව තුළ කථා කළ කථිකයන් අතර, ජේ. ආර්. පී. සූරියප්පෙරුම බොහෝ සිත්ගත් දේශපාලනඥයෙකි. එහෙත් මේ සියල්ලන්ටම වඩා ජනතා ආකර්ෂණය දිනාගත් දේශපාලනඥයා වූයේ රෝහණ විජේවීරයි. ඔහු තරම් වාග්චාතුර්යෙන් අනූන ‍දේශපාලනඥයෙකු මා දැක නොමැත. වක්කඩ කැඩුවාසේ ගලායන ඔහුගේ වාග් දහරාව උගන්නා සුළුය, ඉතා අර්ථාන්විතය. සිය සතුරාට නිර්දය ලෙස පහර එල්ල කළේ උපහාසය රැගත් විහිළු තහළුත් සමඟය. විජය කුමාරණතුංග, ඔසී අබේගුණසේකර, වජිර පැල්පිට මෙන්ම හිටපු ජනපතිවරයකු වූ ආර්. ප්‍රේමදාස ද දක්ෂ කථිකයන් අතර වූහ.

    1960 දශකයේ බිහිවූ ජනතා විමුක්ති පෙරමුණට දක්ෂ කථිකයන්ගෙන් අඩුවක් නොවීය. ජී. අයි. ඩී. ධර්මසේකර, මහින්ද විජේසේකර වැනි කථිකයන් අතර, තවත් දක්ෂ කථිකයකු වශයෙන් බෞද්ධ භික්ෂූන්වහන්සේ නමක් ද වූහ. උන්වහන්සේ නාරන්බැද්දේ පියදස්සි නම් වූහ. ජනතා විමුක්ති පෙරමුණේ ‘පන්ති පහ’ කිරීමට උපන් හපන්කම් පෑ දක්ෂ කථිකයෙකු ලෙස උන්වහන්සේ නමක් දිනාගත්හ. පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ ඉගෙනුම ලබන අවදියේ පිරිවෙනේ ත්‍යාග ප්‍රදානෝත්සවයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හමුවේ පිරිවෙනේ සිසුවකු වශයෙන් සිදු කළ කථාවෙන් සිරිමාවෝ මැතිනිය ද පොඩි හාමුදුරුවන්ගේ කථාවට පැහැදී අගය කිරීමට අමතක නොකළාය. එහෙත් එවකට තරුණ ආකර්ෂණය දිනාගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය උන්වහන්සේගේ සිත් ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වූ රෝහණ විජේවීර සමඟ ප්‍රසිද්ධ රැස්වීම්වල කතා පැවැත්වීමට උන්වහන්සේට අවස්ථාව උදාවීමයි. නාරන්බැද්දේ පියදස්සි හිමියන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට කෙතරම් ආකර්ෂණීය වූවාද කිවහොත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ ඉල්ලීම මත බොරැල්ල වනාතමුල්ලේ ඔස්මන්ද සිල්වාගේ නිවසේදී උපැවිදි වී ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීනයකු වූයේ ජගත් නාරන්බැද්ද නමිනි.

    1971 කැරැල්ල කිරිකජු කොල්ලන්ගේ වැඩක් යැයි විටෙක අවඥාවෙන් ඇතැම්හු කථා කළ ද ඒ වෙනුවෙන් දැඩි කැපකිරීම් කළ ජීවිත පූජා කළ අයගේ එකම ප්‍රාර්ථනය වූයේ සාධාරණ සමාජයක් ගොඩනැඟීමටය. 1971 අරගලය වෙනුවෙන් ප්‍රා‍දේශීය නායකයන් පත්කිරීමේදී මතුගම ප්‍රාදේශීය නායකයා වූයේ ජගත් නාරන්බැද්දයි. මතුගම අවට ගම්මානවල ඇවිදිමින් ඉතාම රහසිගත අයුරින් පන්ති පහ පැවැත්වූ ජගත්ට තරුණයන්ගේ සිත් දිනාගැනීමට හැකි වූයේ කතාව මෙන්ම ක්‍රියාවත් ඔහුගේ අන් අයට ආදර්ශමත් වූ නිසාය. 1971 අප්‍රේල් 05 වැනිදා බදුරලිය පොලිසියට පහරදීමේ සැලැස්ම සකස් ක‍ෙළ් ‍ජගත් ඇතුළු ජවිපෙ ක්‍රියාකාරීන්ය. මතුගම තැපැල් කාර්යාලයේ සේවය කළ සහෝදරයකු කොළඹින් ලැබුණු අත්බෝම්බ ටික පරිස්සමට තබා ඇත්තේ මතුගම තැපැල් කන්තෝරුවේමය. බදුරලියේ මඟුල් ගෙදරකට රැගෙන යන තෑගිබෝග ආකාරයට සැරසූ පෙට්ටිවල බෝම්බ දමාගත් ජගත් ඇතුළු පිරිස 1971 අප්‍රියෙල් 04 වැනි දින කුලියට ලබාගත් මෝටර් රථයෙන් බදුරලියේ ජ.වි‍.පෙ. ක්‍රියාකාරියකු නිෙවසට බෝම්බ රැගෙන ගියේය. පොලිසියෙන් වාහනය නතර කරත් මඟුල් ගෙදරට තෑගිබෝග වගයක් රැගෙන යන මුවාවෙන් බෝම්බ ටික බදුරලියට ගෙන යාමට ඔවුහු දක්ෂ වූහ. මොරපිටිය ග්‍රාමසේවක මහතාගේ නිවසේ ඇති ඩබල් බැරල් තුවක්කුව බලහත්කාරයෙන් ඉල්ලා ගැනීමට රාත්‍රී ඒ නිවස සමීපයට ගිය ජගත් ඇතුළු කණ්ඩායම රාලහාමි අපි ජවිපෙ, අපිට කරුණා කරලා ගෙදර තිබෙන තුවක්කුව දෙන්න යැයි ආයාචනාත්මක ස්වරූපයෙන් මුලින්ම කථා කළ බවත් පසුව ඊට පිළිතුරක් නොවූයෙන් තර්ජනාත්මක ස්වරූපයෙන් කථා කිරීමට සිදු වූ බව ජගත් නාරන්බැද්ද මා සමඟ පැවසුවේය.

    ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කළ ජගත් නාරන්බැද්ද එක, දෙක, තුන ආදි වශයෙන් 10ට ගණන් කරන බවත් 10 දක්වා ගණන් කිරීමෙන් පසු අපිට තුවක්කුව නොදුනහොත් අපි අතේ තියෙන බෝම්බවලින් පහර දෙන බව දැඩි තර්ජනාත්මක අයුරින් ඔහුට ප්‍රකාශ කළේය. නමුත් හය, හත කියවෙනවිට නිවසේ කාන්තාවක් හා දරුවන්ගේ කෙඳිරිලි හඬ හමුවේ ප්‍රාදේශීය නායක ජගත් නාරන්බැද්දගේ සිත සසල කළේය. නායකයා වශයෙන් ඔහුගේ තීරණය වෙනස් කළේය. නමුත් ඔහුගේ සටන් සගයකු අත්බෝම්බයෙන් නිවසට පහරදීමට තැත් කිරීම නතර කිරීමට නායකයා සහ සටන් සගයා අතර සිදු වූ වචන හුවමාරුව හොඳින් ග්‍රාමසේවකවරයා නිවස ඇතුළේ සිට මරණ බිය සමඟින් අසා සිටියේය. අත්බෝම්බයෙන් නි‍ෙවසට පහරදීම නැවැත්වූ ජගත් ඇතුළු කණ්ඩායම් රාත්‍රී 12.00ට පමණ බදුරලිය පොලිසිය වටකොට පහරදීම ආරම්භ කළේය. තිබූ බෝම්බ සහ ආයුධවලින් පොලිසියට පහරදුන්න ද පොලිසියේ ගොඩනැගිල්ලට හානි වුවද කිසිදු පොලිස් නිලධාරියකුට ජීවිත හානියක් නොවීය. සන්නිවේදන දුබලතා සහ පක්ෂයේ ඇතැම් ක්‍රියාකාරීන්ගේ නොපැමිණීම වැනි සාධක මත බදුරලිය පොලිසියට සාර්ථක ප්‍රහාරයක් සිදු කිරීමට නොහැකි වූ බව වරෙක ජගත් නාරන්බැද්ද මා සමඟ ප්‍රකාශ කළේය. බදුරලිය පොලිසියට පහරදීමෙන් පසු වසරකට ආසන්න කාලයක් විවිධ තැන්වල විවිධ රැකියාවන්වල නිරතවෙමින් සිටි ජගත් ඇඹිලිපිටිය, ඌරුසිටාවැව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් විය.

    මතුගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වූයේ නිෂාම් නමැති පොලිස් නිලධාරියෙකි. ඔහු ඇතුළු කණ්ඩායමක් ඇඹිලිපිටියට ගොස් ජගත්ව ඇඹිලිපිටිය පොලිසියෙන් මතුගම පොලිසියට රැගෙන ආවේ දැඩි කායික වධබන්ධනවලට ලක්වෙමින් බව ඔහු සඳහන් කළේය. ගෆූර් කියන පොලිස් නිලධාරියා බොහෝදෙනකු දන්නා අයෙකි. ඔහුගේ ස්ථුල ශරීරය සමඟ දේශපාලන උද්ඝෝෂණ මැඬ පැවැත්වීම පසුකාලීන ඔහුගේ රාජකාරිය විය. කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර ඔහුගේ කැරලි මර්දන අංශය සතු විය. ආයුධ පාවිච්චි කළ අවස්ථා ද නැතුවා නොවේ. ජේ. ආර්. ගේ කාලයේ කැරලි මර්දන අංශයේ ප්‍රධානියා වූයේ ගෆූර්ය. ගෆූර් 1971 මතුගම සහකාර පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළේය. ජගත් නාරන්බැද්දට මතුගම පොලිසියේදී හමුවූයේ ‍ගෆූර්ය. බදුරලිය‍ පොලිසියට පහරදුන් ජේ.වී.පී. නායකයාව අල්ලාගත් බව දැනගත් ගෆූර්ගේ සිතට ආවේ ජේ. වී. පී. ලීඩර් කිව්වාම, ආරෝහ පරිනාහ දේහ ධාරිත්වයෙන් යුත් තරුණයකුගේ රූපකායකි. එහෙත් සිරමැදිරිය ළඟට ගොස් කෝ. ජේ.වී.පී. ලීඩර් යනුවෙන් ගුගුරන ගෆූර්ට එවැනි පුද්ගලයකු දැකගැනීමට නොහැකි විය. එවිට ඒ අසල සිටි තවත් පොලිස් නිලධාරියකු මේ ඉන්නේ සර් යනුවෙන් ජගත්ව පෙන්වීය. එවිට ගෆූර් ජගත් දෙස බලා යකෝ… මූ මගේ ඇඟිල්ලටවත් මදිනේ යනුවෙන් අවඥාවෙන් පවසා ඇත. ගෆූර් පැමිණ ජගත්ව පොළො‍ෙව් ගැසීමට තැත් කරද්දී තවත් පොලිස් නිලධාරියකු බේරාගත් බව පැවසුවේ ද හොඳ මිනිසුන් වගේම නරක මිනිසුන් ද පොලිසියේ සිටින වග සිහිපත් කරමිනි.

    දිනක් සහකාර පොලිස් අධිකාරි ගෆූර් “උඹලා ජේ.වී.පී. පන්ති කරනවනේ, උඹලාගේ පන්ති මොනවද? ෂා… අරි… අරි පන්ති පහ කරලා නැත්නම් ජේ.වී.පී. එකේ ලීඩර් වෙනවද? ඒක නෙවෙයි උඹ අනුන්ට පන්ති කරලා තියෙනවද කියලා ජගත්ගෙන් ප්‍රශ්න කළේය.

    ඔව්. මම පන්ති කරලා තියෙනවා යනුවෙන් ජගත් පැවසූ පසු කොච්චර වෙලාවක් යනවද කියලා නැවතත් ගෆූර් ප්‍රශ්න කළේය. පැය අටක් දහයක් ගතවෙන බව කිව්වාම ෂා… ෂා… අපට රාජකාරි තියෙනවා, මේ විනාඩි 60 කැසට් පීස් එක පිරෙන්න උඹට පන්ති කරන්න පුළුවන් ද? පුළුවන් යැයි ජගත් පිළිතුරු දුන්නේ තමන්ට ලැබෙන හොඳ අවස්ථාවක් බව තේරුම් අරගෙනය. කායික වද බන්ධන කොතෙකුත් පැවතිය ද හොඳ මානසික තත්ත්වයකින් හොඳ ආකර්ෂණීය ප්‍රවේශයකින් මගේ දේශනය ආරම්භ කළ බව ජගත් පැවසුවේය.

    මේ අවස්ථාවට සහභාගිවූ ගෆූර්, නිෂාම් සහ බදුරලිය පොලිසියේ ස්ථානාධිපති කාදර් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ඉදිරියේ සිය කතාව පැවැත්වීමට ජගත්ට සිදු විය. ලංකා ඉතිහාසයේ සිදුවූ ඉන්දියානු ආක්‍රමණ, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ පිළිබඳව සඳහන් කිරීමේදී ගෆූර් එකපාරටම පන්තිය නතර කරන්න කිව්වා. “දැන් ඉන්දියානු කාරයා, පෘතුගීසි කාරයා, ලන්දේසි කාරයා, ඉංග්‍රීසි කාරයා උඹලට කරදර කරලා තියෙනවා, නමුත් මමත්, නිෂාම් මහත්තයා, කාදර් මහත්තයා අපි මුස්ලිම්. ඉතින්, උඹලට අපි කරදර කරලා තියෙනවද? කියලා ගෆූර් ඇහුවා. එවිට ජගත් ඊට නිසි පිළිතුරක් ලබාදුන්නේ මෙසේය.

    සර්, ඔයගොල්ලෝ වෙළෙන්දෝ වශයෙන් 1505දී පෘතුගීසි එන්න ඉස්සෙල්ලා ඉඳලම අපි සමඟ වාණිජ සම්බන්ධතා පැවැත්වූවා. ඒනිසා විජිගි සාමය (රටේ බලය ලබාගැනීමේ රට යටත් කර ගැනීමේ බලාපොරොත්තුවක්) ඇතිව නොවෙයි තමුන්නාන්සේලා ආවේ. අනිත් ජාතීන් කාන්තාවෝ ඒ ඒ රටවල්වලින් රැගෙන ආවා. නමුත් තමුන්නාන්සේලා මෙහේ හිටපු දේශීය කාන්තාවන් තමයි විවාහකරගත්තේ. කෝ‍ට්ටේ යුගයේ මිගෙල් පෙරේරා නම් පෘතුගීසි සෙන්පතියා මායාදුන්නේ රජු සතු සීතාවක රාජධානිය 1521දී ආක්‍රමණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. මායාදුන්නේ රජු ඉන්දියාවේ කැලිකට් පාලකයා වූ සැමොරින්ට පණිවිඩයක් යැව්වා යුද ආධාර ඉල්ලලා. ඒ අනුව පිච්චෙයි මරික්කාර්, නම් සෙන්පතියා යටතේ 300ක පමණ සන්නද්ධ හමුදාවක් මායාදුන්නේ රජු වෙත සැපයූවා. එහෙම වුණත් මායාදුන්නේ පරාජයට පත්වුණා. මිගෙල් පෙරේරා නම් පෘතුගීසි සෙන්පතියා කොන්දේසියක් ඉදිරිපත් කරමින් සීතාවක රාජධානිය හා මාලිගාව විනාශ නොකරන්න නම් පිච්චෙයි මරික්කාර්ගේ හිස ඉල්ලුවා. පිච්චෙයි මරික්කාර්ගේ හිස ගසා දාලා, ඒ හිස මිගෙල් පෙරේරාට ඉදිරිපත් කළා කියලා කතාවක් තියෙනවා. ඒ අනුව අපේ උදව්වට ආපු තමුන්නාන්සේලාගේ සෙන්පතියකු පාවාදීලා සීතාවක රාජධානිය එදා රැකගත්තා. මගේ කතාව සාවධානව අසා සිටි ගෆූර්, නිෂාම්, කාදර් ඇතුළු පොලිස් නිලධාරීන්ගේ මුහුණේ පැවැති ඉරියව් තුළින් මගේ කතාව පිළිබඳව ඔවුන් තුළ පැවැති තෘප්තිමත් බව පෙන්නුම් කළේය.

    ගෆූර්, නිෂාම්, මරික්කාර් යන පොලිස් නිලධාරීන් තිදෙනාම ඉංග්‍රීසියෙන් හෙමිහිට කුමක්දෝ දෙයක් කථා කළා, ඊට පස්සේ ගෆූර් මා අමතා උම්බ ඔද මිනිහා උම්බ දේශපාලනය ඉතිහාසය හොඳට දන්නවා. ඉගෙනගත්ත කොල්ලෙක් යනුවෙන් මුලින් පැවැති රුදුරු බැල්ම පහවගොස් පුංචි නිදහසක් පොලිසිය තුළදී ලැබුන බව ජගත් නාරන්බැද්ද සිය අතීත දේශපාලන කතාවේ දුෂ්කර තැන්වලදී සිය කථිකත්වය, ඉතිහාසය හා දේශපාලනය පිළිබඳ තිබූ දැනුම ඔහුට පිහිටක් වූ අයුරු ප්‍රකාශ කළේය.

    දෙවැනිවර ජගත්ගේ කථිකත්වය විදහා පෑ අවස්ථාව වූයේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ (CRP) දේශපාලන සිරකරුවෙක් වශයෙන් සිටියදීය. බන්ධනාගාර නිලධාරීන් දේශපාලන සිරකරුවන් වූ තරුණයන්ට දැක්වූයේ මාල කඩාගෙන කෙසෙල් කැන් කපාගෙන ආ ස්ත්‍රී දූෂණ සිදුකළ සිරකරුවන්ට දක්වන වහල් සැලකිල්ලමය. ඔවුන්ට නිතර නිතර සිදුකළ අඩන්තේට්ටම්වලට ප්‍රතිඵලය වූයේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ කැරැල්ලක් හටගැනීමය.

    එහි අවසාන ප්‍රතිඵලය වූයේ බන්ධනාගාර නිලධාරීන් පන්නාදමා බන්ධනාගාරයේ බලය සිරකරුවන් නතුකර ගැනීමයි. දින කිහිපයක් බලය අල්ලාගෙන සිටි සිරකරුවන්හට දැනගන්නට ලැබුණේ හමුදාවට බන්ධනාගාරය භාරදෙන බවය.

    දිනක් ටයිඑකක් පැලඳ සිවිල් ඇඳුමින් සැරසුන උත්තුංග දේහධාරී පුද්ගලයෙක් CRP එකේ ගේට්ටුවෙන් ඇතුළු විය. මේ වන විටත් ගේට්ටුවෙන් පිට හමුදා සෙබළුන් ආයුධ සන්නද්ධව රැකවල්ලා සිට ඇත. දේශපාලන සිරකරුවෙක් නොවූ චණ්ඩියෙක් අදාළ දේහධාරී පුද්ගලයා සමඟ බහින්බස් වීමකට යෑමේ ප්‍රතිඵලය වූයේ ගේට්ටුවෙන් පිට සිට හමුදා සෙබළුන්ට සිවිල් අැඳුමින් සැරසී සිටි දේහධාරී පුද්ගලයා අතින් සංඥා කිරීම පමණෙකි. හමුදා සෙබළු ගේට්ටුවෙන් සිරගෙදරට පැමිණි‍ෙය් නිමේෂයෙනි. ආයුධ අතැතිව සිරගෙදරට පැමිණි හමුදා සෙබළුන් සිරකරුවන්ට දුවපියව් යනුවෙන් පැවසුවේ විධානාත්මක ස්වරූපයෙනි. ඒ අවස්ථාවේ පොඩි කණුවක් මතට නැඟුණු ජගත් නාරන්බැද්ද “කිසිම කෙනෙක් දුවන්න එපා අපි මෙතැනට ආවේ පස්සට වෙඩි කාලා මැරෙන්න නෙවෙයි. පපුවට වෙඩි කාලා මැරෙන්නයි. ඒ නිසා කිසිවෙකු දුවන්න එපා. අපි ඔබලාගේම සහෝදරයෝ තමයි, අපිත් ඉතාම දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ. ඔබලා වගේමයි අපි චේන් කඩලා, පොකැට් ගහලා, ස්ත්‍රී දූෂණ කරලා මෙතැනට ඇවිල්ලා නැහැ. අපි මෙතැනට ආවෙත් දුක්විඳින සියලු දෙනා වෙනුවෙන්. ඒ නිසා ඔබගේ අවිය ඔසවන්නේ අපේ හදවතටම වගේ ඔබේ හදවතට බව මතක තියාගන්න.” ඔහුගේ උද්වේගකර කතාවට සවන්දුන් හමුදා සෙබළු මීයට පිම්බා‍ මෙන් ඉතා සන්සුන් අයුරින් සිය අවිය බිමට නමා ගැනීමට තරම් ඉතාම සංවේදී කතාවක් වීම ඉතාම පුදුම සහගත බව එතැන සිටි දේශපාලන සිරකරුවකු වූ පියසිරි කුලරත්න මෙන්ම වනාතමුල්ලේ සිරිපාල අයියා වැනි පුද්ගලයන් මා සමඟ පැවසුවේ ජගත් නාරන්බැද්දගේ කථිකත්වයේ පැවැති ඒ අපූරු හැකියාව සිහිපත් කරමිනි. එදා CRP එකට පැමිණි ඒ උත්තුංග දේහධාරී පුද්ගලයා ගැමුණු රෙජිමේන්තුවේ මේජර් ආරියප්පෙරුම මහතාය. ඒ මහතා ද ඉතාම සන්සුන් අයුරින් ජගත් නාරන්බැද්දයන්ගේ කතාව අසා සිටියේ විශ්මයෙන් බව 71 CRP යේ සිටි දේශපාලන සිරකරුවන් වූ බොහෝදෙනා පවසති.

    පසුව ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් ක්‍රියා කළ ජගත් නාරන්බැද්ද ඒ පළාත් සභාවේම සමාජ සේවා හා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් ක්‍රියා කළේය. 2015 මහා මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන රැලියකදී ඇතිවූ හෘදයාබාධයකින් ඔහු අවසන් ගමන් ගියත්, කථික‍යකු ලෙස ඔහු දේශපාලන ලෝක‍ෙය් නමක් රැඳවූ අයකු වශයෙන් අපේ රටේ දේශපාලන ඉතිහාසයට එක්වී ඇත.

     මහින්ද ආරියවංශ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here