නීරෝගිකමේ බර උසුලන ප්‍රතිශක්තිකරණය

    0
    10

    අරෝග්‍ය පරමං ලාභා -බුදු දහමට අනුව මිනිසකුගේ ජිවිතයේ ලැබෙන හොඳම ලාභය නීිරෝගීකමයි. කොතරම් මිල මුදල්, යාන වාහන, ඉඩකඩම් තිබුණද එයින් ලැබෙන ලාභයට වඩා මිනිසකුට නිරෝගීකමින් ලැබෙන ලාභය මුදලින් ගණනය කළ නොහැකිය. එසේම කිසිවකුට නීරෝගීකම මිල මුදලට ගැනීමට හැකියාවක් නොමැත. ලෙඩ රෝගවලින් තොර වීම පමණක් නොව ලෙඩ රෝගවලට ගොදුරු වීමෙන් වැළකී සිටිමේ හැකියාවද නීරෝගීකම මනින එක් මිනුම් දණ්ඩකි.

    මිනිසකුගේ ශරීරයට ලෙඩ රෝග ඇතුළු වීම පාලනය කරන ප්‍රධාන දොරටු පාලකයා වන්නේ ප්‍රතිශක්තිකරණයයි. එනම් පුද්ගලයකුට රෝග ඇති කරන ක්ෂුදු ජිවීන්ගෙන් ආරක්ෂා කිරීමේ විශිෂ්ට කාර්යය සිදු කරනු ලබන්නේ ප්‍රතිශක්තිකරණයි. කොවිඩ් ව්‍යප්තියත් සමඟ බොහෝ අය තම ශරීරයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳව වැඩි සැලකිල්ලක් පටන් ගත්හ. නමුත් රෝගයකට ගොදුරු වීමට ඇති ප්‍රවණතාවක දී පමණක් මේ පිළිබඳව සැලකිලිමත් වීම එතරම් සුබදායක දෙයක් නොවේ.

    කොරෝනා වයිරසය සහ ප්‍රතිශක්තිකරණය සමඟ ඇත්තේ අන්‍යෝන්‍ය සම්බන්ධයකි. එය ගහට පොත්ත සේ යැයි කීම නිවැරදිය. එම නිසාම මිනිසුන් විසින් කොරෝනා වයිරසය සමඟ තම ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවිම සඳහා නොයෙකුත් ක්‍රමවේද අනුගමනය කරන ලදී. එහි දී විශේෂයෙන් වෙනදාට වඩා ගුණදායක ආහාරපාත ලබා ගැනීම, කොත්තමල්ලි පානය කිරීම, විවිධ ඖෂධ වර්ග ගැනීම මෙන්ම ජිවන රටාවේ යම් යම් වෙනස්කම් සිදු කිරීමට නැඹුරු විය. එසේ වුවත් ප්‍රතිශක්තිකරණය යනු දිනයකින් හෝ දින කිහිපයකින් ශරීරය තුළ වර්ධනය කර ගත නොහැකි ශක්තියකි. කාලාන්තරයක් තිස්සේ මිනිසාගේ ශරීරයේ නිර්මාණය වෙමින් පවතින ශක්තියකි. හොඳ ප්‍රතිශක්ති පද්දතියක් ඇති වීමට ප්‍රධාන වශයෙන් සාධක කිහිපයක් බලපානු ලබයි. එහි දී ආහාර යන සාධකය මුලික තැනක් ගනී.

    පුද්ගලයකු තම මවගෙන් බොන රන් කිරි ටිකේ සිට ඔහු ජිවීතය මුඑල්ලේම ගන්නා ආහාරපාන ප්‍රතිශක්තියකරණයට බලපායි. නූතන මිනිසාගේ ප්‍රතිශක්ති පද්ධතියට වඩා අතීතයේ මිනිසාගේ ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක පැවතී බවට කිසිම තර්කයක් නොමැත. එනම් අතීතයේ පුද්ගලයාගේ තිබු ආහාර රටාව නුතනය වන විට විශාල පෙරළියකට පත් වී තිබේ. පුරාතනනයේ මිනිසා ආහාර ලබා ගනු ලැබුවේ කුසගින්න නිවා ගැනීමට පමණක් නොවේ. ජව සම්පන්න වීමටත්, ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට මෙන්ම ශරීරයට අවශ්‍ය පෝෂ පදාර්ථ ලබා ගැනිම අරමුණු කර ගෙන ඔවුන්ගේ ආහාරපාන රටාව‍ ගොඩනැඟිණි. නමුත් අද බොහෝ පුද්ගලයන් කුසගින්න නිවීම පමණක් අරමුණු කර ගෙන ආහාරපාන ගනු ලබයි. ඇතැම් අවස්ථාවල රසය, පැහැය, පහසු බව අනුව පුද්ගලයන් ආහාර තෝරා ගනු ලබයි. එසේම අද වන විට මිනිසුන් බහුලවම කෘත්‍රිම ආහාරපාන සඳහා යොමු වී ඇත.

    නමුත් එම ආහාර මගින් කුසගින්න පමණක් නිවී යයි. එයින් පුද්ගලයකුට ශරීරයට අවශ්‍ය පෝෂ පදාර්ථ ලැබෙන්නේ නැති තරම්ය. කලක් තිස්සේ මිනිසුන් කෘතිම හා ක්‍ෂ්ණික ආහාර ගැනීමට පුරුදු වී සිටියත් එයට රතු එළියක් එල්ල වුයේ කොරෝනා ව්‍යාප්තීයත් සමඟය. එනම් මිනිසුන්ට තමා ගන්නා ආහාර පිළිබඳව දෙවතාවක් සිතීමට කාලය එළඹුණි. එහි දී ඔවුහු කුස ගින්න නීවා ගැනීමට වඩා තම ප්‍රතිශක්ති ඉහළ නැංවීම සඳහා ආහාර ගැනීමට පෙළඹුණහ. තවද කොරෝනා හමුවේ මිනිසුන්ට පැරණි ආහාර රටාවන්ට අත වනන්නට සිදුවිය. එම ආහාර රටාව තුළ බහුල වශයෙන් ආහාරයට ගනු ලැබුවේ අල වර්ග, ධාන්‍ය, පලාවර්ග, එළවළු, පලතුරු වැනි ස්වාභාවික ආහාරපානය. ඒවා වස විසවලින් තොර වුවා පමණක් නොව රසයෙන්, ගුණයෙන් පරිපුර්ණ විය. එසේම පුද්ගලයකුට අවශ්‍ය සියලූම පෝෂ පදාර්ථ එක් ආහාර වේලක් තුළ ගැබ්ව තිබුණි. එමෙන්ම ඔවුන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිය ස්වංක්‍රියව නිර්මාණය විය. එදා සමාජය තුළ යම් රෝග බියක් ඇති වු විට අද මෙන් මිනිසුන්ට ප්‍රතිශක්තිය සොයා යෑමට අවශ්‍ය නොවිණි. නමුත් නවීකරණය වු ආහාර රටාවක් තුළ පුද්ගලයා ප්‍රතිශක්තිය සොයා ඇවිදිම හාස්‍යජනක කරුණකි.

    නූතනයේ ආහාර රටාව පමණක් නොව ජිවන රටාවද ජනයාගේ නවීකරණයට ලක් වී ඇත. මෙයද පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටීමද හේතු වී තිබේ. එහි දී ප්‍රධාන වශයෙන්ම කාර්යබහුල වීමත් සමඟ ශරීරයට අවශ්‍ය ව්‍යායාම නොලැබී මෙම ශක්ති හීනවීමට බලපානු ලබයි. එමෙන්ම උසට සරිලන බර නොමැති වීමද ප්‍රතිශක්තිකරණය වර්ධනයට බාධා පමුණුවයි. තවද විශේෂයෙන් පුද්ගලයාගේ මානසික සුවතාවය සෘජුවම ප්‍රතිශක්ති පද්ධතියට බලපායි. නුතනයේ තිබෙන තරගකාරීත්වය තුළ මිනිසුන්ට නිරන්තරයෙන්ම ආතතියකින් ජිවත් වීමට සිදු වී ඇත. එවිට මිනිසාගේ ප්‍රතිශක්තිය බිඳ වැටෙයි.

    එසේ ආහාරපාන, ව්‍යායාම මෙන්ම පුද්ගලයෙකුගේ නීරෝගීකමට බලපානු ලබන තවත් විශේෂ සාධකය වන්නේ නින්දය. මිනිසකුට දිනකට පැය 8 ක සුවදායක නින්දක් අත්‍යවශ්‍ය වනවා සේම එය මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වයට අතිශය වැදගත් වේ. එමෙන්ම පුද්ගලයාගේ දරා ගැනීමේ ශක්තිය වර්ධන කිරීමට ද එය උපකාරී වේ. තවද ප්‍රතිශක්ති පද්ධතිය ඉහළ නැංවීමට නින්ද අත්‍යවශ්‍ය සාධකයකි. ඒ වගේම විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණක් වන්නේ අධික ලෙස මත්පැන් පානය කිරීම තුළින් ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල කිරීමට හැකියාවක් ඇති බවය.

    එමෙන්ම මෙම පද්ධතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ස්වරූපයක් ගනී. ඇතැමෙකුගේ ප්‍රතිශක්තිය ඉහළ අගයක් ගන්නා අතර තවත් අයෙකුගේ පහළ අගයක් ගනු ලබයි. ප්‍රධාන වශයෙන්ම වයස් අනුව මෙන්ම පුද්ගලයාගේ ශරීරයේ ගති ස්භාවය මත මෙම අගය තීරණය වේ. එනම් වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ගේ හා පිළිකා, දියවැඩියාව, අධික රුධිර පිඩනය, හෘදයාබාධ වැනි බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන්ගේ ප්‍රතිශක්තිය පහළ මට්ටමක් ගනු ලබයි. තවද ගර්භිනී මව්වරුගේ මෙන්ම කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිය සැලකිය යුතු මට්මට වඩා අඩු මට්ටමක පැවතීමට ඇති ඉඩකඩ බහුලය.

    ලෝකයේ දැන් පවතින තත්ත්වය අනුව කොරෝනා වසංගතය වැනි දරුණු වසංගතයක් නැවත නොපැමිණේ යැයි කිසිම ජගතෙකුට කිව නොහැකිය. ඒ සඳහා සූදානම් වීම සෑම අතින්ම යහපත්ය.

    තිමාලි කස්තුරී ආරච්චි

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here