බුද්ධිමය දේපළ පනත් කෙටුම්පත සංශෝධනය කිරීමෙන් මිලියන 1.2ක් වූ මෙරට දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන්ට ප්‍රතිලාභ උදාවනවා – වෙළෙඳ ඇමැති

0
33
Author(s): 
ස්වර්ණා විජේකෝන්
සන්ධ්‍යා කරුණාරත්න

අලුත් නිර්මාණ බුද්ධිමය දේපළ විදියට අපි සලකනවා
– මන්ත්‍රී රංජිත් බණ්ඩාර

රටේ ආර්ථික වර්ධන වේගය නැවත වරක් ධන ආකාරයට පැමිණ තිබෙනවා
– රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්

උදයංග වීරතුංග ජනාධිපතිගේ මිත්‍රයා ඥාතියා
– මන්ත්‍රී විජිත හේරත්  

රට බංකොලොත් වෙන්න ළඟයි
– මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න

දෘෂ්‍යාබාධ සහ වෙනත් ආබාධ පවතින පුද්ගලයන්ට පහසු විදියට සී.ඩී. තැටියකට දමා හෝ වෙනත් ආකාරයකට පොත්පත් පරිශීලනය කිරීමේ හැකියාව බුද්ධිමය දේපළ පනත් කෙටුම්පත සංශෝධනයෙන් අවස්ථාව උදාවන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.

බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (07) රැස්විය. නිවේදන, ලිපි ලේඛන, පෙත්සම් වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නවලට ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ.

වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් මෙසේ ද පැවසීය.

මිලියන 1.2ක් පමණ වන මෙරට දෘෂ්‍යාබාධ පවතින පුද්ගලයන්ට මෙමඟින් ප්‍රතිලාභ රැසක් උදාවනවා.

අද මේ සභාවට පිනක් කර ගත හැකි දවසක්. බුද්ධිමය දේපළ පනත යටතේ දෘෂ්‍යාබාධිත තැනැත්තන්ට සහ ආබාධ තිබෙන අයට තමන්ගේ අවශ්‍යතා සඳහා මුද්‍රිත දේ වෙනත් ආකාරයකට පටිගත කර හෝ වෙනත් විදියකට පරිහරණය කරන්න පුළුවන් ඉතා වැදගත් සංශෝධනයක්. මිලියන 1.2ක් පමණ මෙරට දෘෂ්‍යාබාධිත අය සිටිනවා. ඔවුන්ගේ දෑස් නොපෙනෙන නිසා පොතක් අතට ගත්තත් කියවන්න විදියක් නැහැ. සමාජ අවධානය අඩුවෙන් මේ අය කෙරෙහි යොමුව තිබෙනවා. බ්‍රේල් ක්‍රමයට තමයි ඔවුන් ඉගෙන ගන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා ඔවුන් විවිධ අයගේ උදව් ලබා ගනිමින් කරගෙන යනවා. මහනුවර කිංස්වුඩ් එකේ ඉගෙන ගත් සුපුන් ජයවර්ධන කියන සිසුවා දෘෂ්‍යාබාධිත වුවත් ශ්‍රී ලංකා නීති විද්‍යාලයට පැමිණ විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගෙන තිබෙනවා. මෙවැනි දෘෂ්‍යාබාධිත අයට පොත්පත් පරිශීලනය කරන්න ක්‍රම ඇති කරන්න ඕනෑ. කර්තෘ අයිතිය යටතේ පොත් සී.ඩී. එකකට ගැනීම හෝ වෙනත් ආකාරයකට පරිහරණය කිරීම වැරදියි. මම පොත් 52ක් විතර ලියලා තිබෙනවා.

දිවා ආහාරයෙන් පසුව නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා මුලසුනට පැමිණියේය.

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා –

මේ අද කරන සංශෝධනය නිසා වෙන අයකුට කියා දෘෂ්‍යාබාධිත අයකුට සී.ඩී. එකකට දාගන්න පුළුවන්. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා ඉතා වැදගත් සාහිත්‍ය කෘති බිහි කළා. මව්පිය දූ දරුවන් ගැන එතුමා කෘති සම්පාදනය කළා. සිංහබාහු වැනි කෘති ඉතා වැදගත්. ඒවා බුද්ධිමය දේපළ වෙනවා. එතුමාගේ ඒ සාහිත්‍ය කෘති අපට නරඹන්න පුළුවන්. ඒ වගේම පොත් කියවන්න අපට පුළුවන්. එතුමා දැන් මරණයට පත්වෙලා. ඒ පිළිබඳ ප්‍රකාශනයේ අයිතිය තිබෙන්නේ එතුමාගේ බිරිඳට. මේ අයිතිය ආරක්ෂා කර දී තිබෙන්

පත් කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා (ස.ජ.බ.) –

රටේ ජනතාවට සෞභාග්‍යය උදා කරන්න තමයි මේ ආණ්ඩුව කතා කළේ. රට බංකොලොත් වෙන්න ළඟයි. එවැනි තත්ත්වයක් යටතේ විවිධ ව්‍යාපෘති කරන අයට බදු සහන දෙන්නේ ඇයි? හැමදෙයකටම බදු සහන ලබා දී රට සංවර්ධනය කරන්නේ කොහොමද. කොළඹ මූල්‍ය නගරය නිර්මාණය කිරීමේදී කරන ව්‍යාපෘතියට බදු සහන ලබා දී තිබෙනවා. මේ හරහා විදේශිකයන්ට රැකියා ලබා දී තිබෙනවා. එහෙම තමයි මේ ආණ්ඩුව දේශප්‍රේමය රකින්නේ.

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා –

මේ රට ඉදිරියට යන විට යම් අයට කම්පනයක් ඇති වී කෑකෝ ගහනවා. ඒවා නොතකා අපි රට ඉදිරියට ගෙන යනවා. එක එක අය බිරුවට අපට ප්‍රශ්නයක් නැහැ. නිවැරදි ක්‍රමවේද අපි අනුගමනය කරනවා. මහජන බැංකුව, ලංකා බැංකුව කඩා වැටෙන්න යනවා කියලා මේ අය කිව්වා. අද කියනවා රට බංකොලොත් වෙලා කියලා. ලංකා බැංකුව, මහජන බැංකුව ඉතා හොඳින් යනවා. බොරු ප්‍රචාර නොකරන්න වග බලාගත යුතුයි. රටේ ආර්ථික වර්ධන වේගය නැවත වරක් ධන ආකාරයට පැමිණ තිබෙනවා. අපේ ආර්ථිකය ඍණ වෙන විට බොහෝ අය සතුටු වුණා. ධන ආර්ථිකයක් දැන් ලැබිලා ඉවරයි. රටට අලුත් ආයෝජන ගෙන එනවා. දැනටමත් ආයෝජකයන් රටට පැමිණ සිටි

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්‍යයන් රාසමාන්‍යකම් මහතා –

ටී.ආර්.සී. එක ගැන උනන්දු වන පුද්ගලයන් ඇයි අයි.ටී.අයි. එක ගැන උනන්දු නොවන්නේ. දක්ෂ දරුවන් විවිධ නිර්මාණ කරන අය මේ පාර්ලිමේන්තුවට ගෙනැවිත් කිසිම දවසක අගය කිරීමක් කර තිබෙනවාද? පැණි එකකට දෙන ප්‍රචාරයක්වත් අලුත් නිර්මාණ කරන දරුවකුට දෙන්නේ නැහැ. මේ රට ගැන මට දුකයි. රැකියා ලක්ෂය දෙන විදිය ගැන අපට දුකයි. දුප්පත් අයට තමයි රැකියා ලක්ෂය දෙනවා කීවේ. නමුත් එය සිදු වන්නේ නැහැ. ගමකට ගෙවල් පහක් ඇවිත් තිබෙනවා. මන්ත්‍රීවරයාගේ අයට තමයි ඒ ගෙවල් දෙන්නේ. මේවා ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න කියලා ග්‍රාම සේවකවරුන් මගෙන් ඉල්ලා සිටියා.

පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා –

මැද පෙරදිග සේවයේ යෙදෙන උදවිය නිසා අපේ රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙනවා. කොවිඩ් නිසා මැද පෙරදිග සිටින අය යම් යම් අසීරුතාවන්ට ලක්ව සිටිනවා. පළමු රැල්ල මෙරට මැඬපැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළා. කොවිඩ්වලින් මුදල් හම්බ කරන්න ඇතැම් අය කටයුතු කරනවා. ඒ ගැන අපි ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළා. මැද පෙරදිග අය ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවාවට ජනාධිපතිවරයා උපදෙස් දුන්නා. ඉතාලිය, එංගලන්තය වැනි රටවල සිට මෙ

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා (ස.ජ.බ.) –

වසර 2019 සහ 2020 සංසන්දනය කර බලන විට රාජ්‍ය බදු ආදායමින් සියයට 30ක් වත්මන් ආණ්ඩුව අහිමි කරගෙන තිබෙනවා. ධන කුවේරයන්ට බදු සහන ලබාදීම නිසා මෙම බදු ආදායම රජය අහිමි කර ගෙන තිබෙනවා. විධිමත් මූල්‍ය ප්‍රතිපත්තියක් ඇති කර නොගතහොත් ඉදිරි කාලය තුළ ආණ්ඩුව බංකොලොත් වීම වළක්වාගත නොහැකියි.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්‍යයන් රාසමාන්‍යකම් මහතා මුලසුනට පැමිණියේය.

පත් කළ මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා (පො.ජ.පෙ.) –

මිනිස් මොළය භාවිතා කරමින් නිෂ්පාදනය කරන අලුත් නිර්මාණ බුද්ධිමය දේපළ විදියට අපි සලකනවා. අලුත් නිර්මාණවලට වටිනාකමක් දිය යුතුයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් හරියට හඳෙන් ආවා වගේ තමයි කතා කරන්නේ. යහපාලන ආණ්ඩුව කාලයේදී අලුත් නිර්මාණවලට වටිනාකමක් දුන්නේ නැහැ. එවැනි පුද්ගලයන් දැන් අපට උපදෙස් දෙන්න එනවා. විපක්ෂය වෝදනා කරන ආකාරයට රට බංකොලොත් වන්නේ නැහැ. ගෝලීය වසංගතයක් තිබෙන මෙවැනි මොහොතක රට ගොඩනැඟීමට අපි හැමෝම එක් විය යුතුයි. මාධ්‍යයට කතා කරන සංස්කෘතිය නවතා ආණ්ඩුව සමඟ එක්ව වැඩ කරන ලෙස විපක්ෂයට අපි ආරාධනා කරනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා (ජා.ජ.බ.) –

විදේශගත පුද්ගලයන් විඳින පීඩාව ඇත්ත ඇති සැටියෙන් අරුන්දික ප්‍රනාන්දු මහතා කීවා. ඒක ගැන අපි සතුටු වෙනවා. උදයංග වීරතුංග කියන්නේ ජනාධිපතිවරයාගේ මිත්‍රයා ඥාතියා. ඔහුට අවශ්‍ය පරිදි විදේශගත පුද්ගලයන් ගෙන්වීම සිදු කරනවා. ලෑන්ඩින්, පාර්කින් චාර්ජස් නැතිව මත්තල ගුවන් තොටුපොළ ගුවන්යානාවලට පහසුකම් ලබාදීම සිදු කරනවා. නමුත් කිසිදු ආදායමක් එමඟින් ලැබෙන්නේ නැහැ. යුක්රේන් ජාතිකයන් ගෙන්නුවා කියලා මෙරට සංචාරය කරන්න සංවර්ධිත රටවලින් එන්නේ නැහැ.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් පුෂ්ප කුමාර මහතා (පො.ජ.පෙ.) –

මත්තල ගුවන් තොටුපොළ වී ගබඩාවක් බවට පසුගිය ආණ්ඩුව පත් කළා. නමුත් අපේ රජය විසින් එම ගුවන් තොටුපොළ ලෝකයේ ආකර්ෂණීය තැනක් බවට පත් කරන්න කටයුතු කරනවා. ගුවන් තොටුපොළට ගුවන් යානා 45ක් අද වන විට ඇවිත් තිබෙනවා කියලා කිව්වා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා (ස.ජ.බ.) –

ඉන්දියාවේ සමාගමකට වරාය බදු දීම ගැන සාකච්ඡාවක් මේ වන විට පවත්වනවා. අගමැතිවරයා කීවා වරාය බදු නොදෙන බවට. එය අමූලික බොරුවක්. ගුවන් තොටුපොළේ නියෝජ්‍ය කළමනාකරු කොවිඩ් ආසාදිත වෙලා සි‌ටිනවා. එහි බොහෝ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය (පො.ජ.පෙ.) –

මෙරට වැදගත් ඉතා උසස් කලා කෘතීන් බිහිව තිබෙනවා. පිටරටවල මේ දිනවල ගිහින් සිටින අසරණ ගෘහ සේවිකාවන් මෙරටට පැමිණීමට බලා සිටිනවා. ඔවුන්ට විශාල අසාධාරණයක් සිදුව තිබෙනවා. මේ අසරණ ගෘහ සේවිකාවන් ගෙන්වා ගන්න අපි පියවර ගත යුතුයි.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා (ස.ජ.බ.) –

මුදල් පනතක් ගැන කතා කරන්න තිබෙන අද දවසේ බොහෝ අය කතා කළේ රට විරුවන් සහ යුක්රේන් ජාතිකයන් ගැන. ජාවාරම්කරුවන් වටවෙලා ආණ්ඩුව විනාශ කරන ආකාරය දැකලා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අසරණ වෙලා සිටිනවා. ජනාධිපතිවරයාගේ වටේ මේ ජාවාරම්කරුවන් සිටිනවා. රට විරුවන් මෙරටට ගෙනැවිත් දෙන්න.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා (පො.ජ.පෙ.) –

 

රට විරුවන් ගැන කිඹුල් කඳුළු හෙළන විපක්ෂයේ අය රෙදි ඇඳගෙන ද අද කතා කරන්නේ. තමන්ට බලය තිබූ කාලයේදී ඔවුන් වෙනුවෙන් කිසිවක් නොකළ අය අද දුක් වෙනවා. ඒවාට අපට හිනාවෙනවා හැර වෙන කරන්න දෙයක් නැහැ.

සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා –

නිර්මාණ සතු අයිතිය කර්තෘවරයාට පවතින නිසා දෘෂ්‍යාබාධිත මිලියනයකට පමණ ගැටලුවක් ඇති වී තිබෙනවා. ඔවුන්ට පොතපත පරිශීලනය කිරීමේ හැකියාව නොමැති වී තිබෙනවා. අද මේ නීති සංශෝධනය කිරීම නිසා දෘෂ්‍යාබාධිත අයට මේ නිර්මාණයන් ඒ අයට කියවීමේ හැකියාව ලැබෙන විදියට සකසන්න පුළුවන්.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේලු කුමාර් මහතා (ස.ජ.බ.) –

පසුගිය දෙසැම්බර් 8 වැනිදා සිට මහයියාව නිරෝධායනයට ලොක්ඩවුන් කරලා. ඒ ප්‍රදේශය කවද්ද මුදා හරින්නේ. දෛනිකව මුදල් හොයන පිරිස 3000ක් පමණ එහි සිටිනවා. මහනුවර නගර සභාව තුළ වැඩ කරන පිරිසක් එහි සිටිනවා. ඔවුන්ට එළියට එන්න විසඳුමක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා –

ගුවන් කේන්ද්‍රස්ථානයක් විදියට ලංකාව පත් කිරීම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටින කාලයේ සිට ආරම්භ කළ ක්‍රියාවලියක්. වසර 2014දී සංවර්ධන කටයුතු ආරම්භ කළත් යහපාලන ආණ්ඩුවෙන් මේ කටයුතු මන්දගාමී කරන්න වුණා. නෙළුම් මලක හැඩය තිබූ ගුවන් තොටුපොළ වහලය කෙසෙල් කොළයක හැඩයක් බවට පත් කරන්න රුපියල් මිලියන 661ක මුදලක් යහපාලන ආණ්ඩුව වියදම් කරලා තිබෙනවා. කටුනායක ගුවන් තොටුපොළේ සංවර්ධන කටයුතු වසර තුනක් යටතේ අවසන් කරලා ඒ වාසිය ජනතාවට ලබාදීමට පියවර ගන්නවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය මුලසුනට පැමිණියාය.

දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය ඇමැති විජිත බේරුගොඩ මහතා –

පසුගිය වසර පහක කාලය තුළ රට පාලනය කළ ආකාරය අමතක කරමින් ඉරාන් වික්‍රමරත්න මහතා මේ සභාවේ කතා කරනවා. ඔවුන්ගේ පාලනය වැරදි නිසා තමයි ජනතාව වත්මන් ආණ්ඩුව පත් කරන්න කටයුතු කළේ. ගමකට ගිහිං ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලා සංවර්ධන කටයුතු සිදු කළ යුතුයි. ක්‍රමෝපාය සංවර්ධන පනතේ සඳහන් වෙනවා විදේශීය ඍජු ආයෝජන ලබාදීම සම්බන්ධ‌යෙන්. ඒ අනුව අපි කටයුතු කරනවා. සැලසුම් සකසා තිබෙනවා. ගමට ගිහින් අපි මේ‌ දේවල් ක්‍රියාවට නංවා අපේක්ෂිත සංවර්ධන ඉලක්ක ළඟා කර ගන්නවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා (පො.ජ.පෙ.) –

දියඹේ, ගුවනේ, බලශක්තියේ ආර්ථික මර්මස්ථාන පුබුදුවාලීම සඳහා ජනාධිපතිවරයා, අගමැතිවරයා කටයුතු කරන මොහොතක තමයි මටත් මේ කතා කරන්න ලැබෙන්නේ. වරාය සම්බන්ධයෙන් පසුගිය වසර හතර හමාරක කාලය තුළ තිබෙන්නේ කළු ඉතිහාසයක්. වරාය සංවර්ධනයට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අපි ගන්නවා. නැඟෙනහිර වරාය ජැටිය විදේශයකට කිසිසේත් නොදෙන බව අගමැතිවරයා ප්‍රකාශ කළා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා (ස.ජ.බ.) –

රට ඉදිරියට යන විට විපක්ෂයේ අය කෑ කෝ ගසනවා කියලා කබ්රාල් මහතා කියනවා. විද්‍යාත්මක ක්‍රමයක් යටතේ රටේ සංවර්ධන කටයුතු සිදු කරන බව එතුමා කියනවා. එහෙම විද්‍යාත්මක ක්‍රමයක් යටතේ කටයුතු කරන්නේ නම් ජනතාවට මෙතරම් පීඩාවක් විඳින්න වෙලා තිබෙන්නේ ඇයි?

ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතා –

යහපාලන ආණ්ඩුව කාලයේ මෙරට සියලු ව්‍යාපාර ආයතන කඩා වැටෙමින් තිබුණේ. බොරු ආයෝජන ඒ කාලයේ යහපාලන ආණ්ඩුව ගෙනාවා. අපේ ආණ්ඩුව කරන්නේ බොරු ආයෝජන නොවේ. රට සංවර්ධනය කරන ආයෝජන වත්මන් ආණ්ඩුවෙන් කරනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුලසුනට පැමිණියේය.

රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතා –

ගුවන් තොටුපොළ වැඩිපුර තිබෙනවා නම් අපේ රට උඩින් ෆ්ලයි කළත් එයට ද අපට මුදල් ලැබෙනවා. ඩොලර් 250 සිට විශාල මුදලක් අපට ලැබෙනවා. කවුද හැදුවේ කාගේ ප්‍රතිපත්තිය ද කියලා මේ රජය බලන්නේ නැහැ. පසුගිය ආණ්ඩුව වී ගබඩා කළ ගුවන් තොටුපොළ මේ වන විට දකුණු ආසියාව තුළ වේගයෙන්ම සංවර්ධනය කරන එකක් බවට පත්ව තිබෙනවා. සංචාරක ව්‍යාපාරයත් ගුවන් සේවාවත් දියුණු තත්ත්වයට ගෙන ඒමට අපි කටයුතු කරනවා.

උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා –

පසුගිය ආණ්ඩුව බදු පිට බදු ගැහුවා. කුළු බඩු නිෂ්පාදන සඳහා කුඩා කර්මාන්තකරුවන් සිටිනවා. ඒ නිෂ්පාදන සඳහා යන්ත්‍ර ගෙන්වා ගැනීමට ඔවුන්ට විදියක් නැහැ. බදු මුදල් වැඩියි. ඔවුන්ට සහන ලබාදීමට අපි කටයුතු කරනවා.

වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා –

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට පෙර ජනාධිපති අපේ වුණත් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් විපක්ෂයට තිබුණා. විපක්ෂයේ බලය තිබුණත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ගෙන ගියා. රටේ අවශ්‍යතා ගැන අවධානය යොමු කළා. ජනතාව වෙනුවෙන් බදු නිදහස ලබාදීමට එතුමා කටයුතු කළා. කෙනෙකුගෙන් බදු ගන්න පෙර ඒ කෙනාගේ ව්‍යාපාර ශක්තිමත් කරන්න ඕනෑ. කොරෝනා රැල්ල මාර්තුවල ආවා. පාර්ලිමේන්තුවක් නැතිව රට ගෙනයාමට ජනාධිපතිවරයා කටයුතු කළා. නැඟෙනහිර පර්යන්තය ගැන නොයෙක් කතිකා ඇති වෙලා තිබෙනවා. මේ හැමදෙයක් ගැනම අතීතයේ ගත් තීරණ බැලිය යුතුයි. ඒ තීරණ අනුව තමයි අද මේ දේවල් ක්‍රියාත්මක වන්නේ. හොඳ අදහස් තිබෙන මැති ඇමැතිවරුන් යහපාලන ආණ්ඩුව තුළ සිටියා.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා (ස.ජ.බ.) –

නැඟෙනහිර ජැටිය විදේශයකට දෙන්නේ නැහැ කියලා අගමැතිවරයා මේ සභාවේදී ඊයේ කිව්වා. පැය විසිහතරක් යන්නත් පෙර ඒ තීන්දුව වෙනස් කරන්න ආණ්ඩුව සාකච්ඡා පවත්වනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (ස.ජ.බ.) –

මේ ආණ්ඩුව බලයට එන විට අද වගේ කෙඳිරි ගෑවේ නැහැ. වත්මන් ආණ්ඩුව නැඟෙනහිර ජැටිය ගැන කියන්නේ පසුගිය ආණ්ඩුව කළ දේවල් නිසා තමයි මේ විදියට වෙන්නේ කියලා. මහ බැංකු හොරු ගැන කතා කරන ආණ්ඩුව සීනි වංචාව කළා. ඒ සීනි වංචාවෙන් රටේ ජනතාවට එන්නත් ලබාදෙන්න පුළුවන්.

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා –

මහින්ද මහතා රට බාර ගන්නා විට ණය තිබුණේ ට්‍රිලියන දෙකයි. ඉන්පසුව ආර්ථිකයේ විවිධ සප්ත අර්බුදයන් ලෝකය තුළින් වසර දහයක් තිස්සේ පැමිණියා. ට්‍රිලියන 7යි ණය අරගෙන තිබුණේ. මහින්ද මහතා ආණ්ඩුව කළ අවුරුදු දහයකට ට්‍රිලියන 5යි ගත්තේ. යහපාලන ආණ්ඩුව වසර පහක් ආණ්ඩුව කළා. දිගින් දිගටම ආණ්ඩුව වැටුණා. අපට රට බාරදෙන විට ණය ප්‍රමාණය ට්‍රිලියන 13යි. මහින්ද පාලන යුගයේ අවුරුදු 10ට ට්‍රිලියන 5යි. ඔබලාගේ අවුරුදු පහක කාලයේ ට්‍රිලියන 6යි. ණය ගැනීම ගැන දරුණුතම අර්බුදය යහපාලන ආණ්ඩුව වාර්තා තබා තිබෙනවා. නොයෙක් දේ කියලා අපට බැන අඬගහපොලිය ලෙස පිටරටට ගෙවන්න වෙනවා. විදේශ විනිමය අනුපාත අනුව ඩොලරයේ මුදල වෙනස් වෙනවා. පාස්කු ප්‍රහාරයෙන් සංචාරක කර්මාන්තය වැටුණා. කොවිඩ්වලින් එය තවත් වැඩි වුණා. ආදායම් මාර්ග වැඩි කර ගන්න අපි කටයුතු කළ යුතුයි. විදේශ ශ්‍රමිකයන් ලක්ෂ ගණනින් මෙරටට පැමිණීමට බලා සිටිනවා. මේවා ගැන ප්‍රබුද්ධ ලෙස විපක්ෂය සිතිය යුතුයි. එසේ සිතයි කියන අපේක්ෂාවෙන් තමයි ජනතාව පාර්ලිමේන්තු නියෝජිතයන් පත් කරලා එවන්නේ.

පාර්ලිමේන්තුව අද (08) උදෑසන 10.00 ට නැවත රැස්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here