රත්නසිරි පැරද වූ ඉන්ද්‍රදාස

    0
    8

    ශ්‍රී ලංකා දේශපාලනයේ දැනට ජීවත්ව සිටින වයෝවෘද්ධතම දේශපාලනඥයා වශයෙන් සඳහන් වන්නේ හිටපු පොල් කර්මාන්ත සහ විවිධ බෝග කළමනාකරණ අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතාණන්ය. 1994 පටන් ක්‍රියාකාරී දේශපාලනයෙහි නියුක්ත නොවුවත් හෙට්ටිආරච්චි මහතා සාම්ප්‍රදායික එක්සත් ජාතික පාක්ෂිකයෙකි. දැනට 94 වන වියේ පසුවන (1927 ඔක්තෝබර් 13 ජන්ම දිනය) ඉන්ද්‍රදාස මහතාගේ දේශපාලන පැටිකිරිය ගැන දැනුවත් වෙමු.

    1960 ජුලි මහා මැතිවරණයට නාමයෝජනා පත්‍ර කැඳවීමේ අවසාන දිනය දක්වාම එජාප මැතිවරණ කමිටුවේ නිලධාරීහු උභතෝකෝටික ගැටලුවකට මුහුණ දුන්හ. 1947 සහ 1952 මැතිවරණ දෙකෙන්ම එක්සත් ජාතික පක්ෂයට හොරණ මැතිවරණ කොට්ඨාසය හිමිවූ සැබෑවකි. ජයග්‍රාහක අපේක්ෂකයාට ලැබුණු ඡන්ද ප්‍රමාණයට වඩා විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවක් පරාජිතයන්ට ලැබී තිබිණි. හොරණ අද මෙන්ම එදත් වමේ ආසනයක් බැව් මතකයට ගනිමු. 1947 හොරණ ඡන්ද කොට්ඨාසයට වමෙන් අපේක්ෂකයන් දෙදෙනෙක් තරග කළහ. 1952දී එජාප අපේක්ෂකයාට එරෙහිව සමසමාජ පාක්ෂිකයන් දෙදෙනකු සහිතව (විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය – නව ලංකා සමසමාජ පක්ෂය) ස්වාධීනව අපේක්ෂිකාවක් ද තරග කළාය. ඇම්. ඩී. එච්. ජයවර්ධන මහතාට ඡන්ද 21,746ක් ලැබුණු අතර, විරුද්ධ සමස්ත ඡන්ද 20,761ක් ලැබී තිබුණි. වැඩි ඡන්ද ප්‍රමාණය 985කි.

    1936 – 1960 මාර්තු දක්වාම හොරණ කොට්ඨාසයට පත්ව සිටියේ හොරණ ස්ථිර පදිංචිකරුවන් නොවේ. 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වූ අධිනීතිඥ ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා රාජගිරියේ පදිංචිකරුවෙකි. 1947 පාර්ලිමේන්තුවට තේරී පත්වූ අධි නීතිඥ ඒ. පී. ජයසූරිය සියනෑ කෝරලේ පදිංචිකරුවෙකි. ඊ. ඩබ්ලිව්. පෙරේරා‍ෙග් පෞද්ගලික ලේකම් ධුරයට පත්වීමෙන් පසු හොරණ පදිංචියට පැමිණියේය. එපමණක් නොවේ, 1956දී හිටපු මුදල් අමාත්‍ය ඇම්. ඩී. එච්. ජයවර්ධන මහතා වැඩි ඡන්ද 11,000 කින් පරාජය කළ ප්‍රබල යූ. ඇන්. පී. විරෝධී ප්‍රවීණ කිවියර සාගර පලන්සූරිය එකල මොරටුවේ පදිංචිකරුවෙකි. ඇත්ත වශයෙන්ම පලන්සූරිය මහතාගේ නිජබිම අටකලන් කෝරලේ නිවිතිගල බුංගිරියයි.

    හොරණ ඡන්ද කොට්ඨාසයට, හොරණ ස්ථිර පදිංචිකරුවකු තරග කර විජයග්‍රහණයක් ලබන ලද්දේ 1960 මාර්තු මැතිවරණයේදීය. පරාජිත ඇම්. ඩී. එම්. ජයවර්ධන, පාදුක්කේ ස්ථිර පදිංචිකරුවෙකි. හොරණ ඡන්ද බල ප්‍රදේශය එකල (1952) පාදුක්ක දක්වා විහිද තිබුණි. දේශපාලන භුමියට නවකයකු වූ හොරණ මිල්ලෑවේ සාම්ප්‍රදායික ප්‍රභූ පවුලකට අයත් ගම්පතිවරයකුගේ පුතෙකි. නීතිය හදාරමින් ජගත් ශිෂ්‍ය සම්මේලනයන්හි ලේකම් ධුර හෙබවූ ජවසම්පන්න රත්නසිරි වික්‍රමනායක සමඟ තරග කරන්නට හොරණ ප්‍රදේශයෙන් අපේක්ෂකයකු සොයා ගැනීම එජාප නාමයෝජනා කමිටුවට ඉතා අසීරු විය. හොරණ නගරාධිපති ධුරය හෙබවූ ඩබ්ලිව්. ඇම්. ෆොන්සේකා ගැන ද යෝජනා වුවත් ඔහුට ආර්ථික බර ඔසවා ගෙන යාම ගැන ප්‍රශ්න මතු විය. ඡන්ද කොට්ඨාසයෙන් පිටත කෙනෙකු ද ඔට්ටු නැත. දැන් අපි 94 වන වියට පා තබා සිටින හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතාගේ දේශපාලන පැටිකිරිය දැන ගැනීම උදෙසා සිය ගමන් මග දිගේ අතීතයට පිවිසෙමු. මෙහෙමයි,හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා 94 වියට පිවිසේ හිටපු පොල් කර්මාන්ත හා බෝග විවිධාංගීකරණ අමාත්‍ය දැනට කළුතර බෝධිආරක්ෂක සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන පොකුණුවිට ජනසෙත පදනමේ නිර්මාතෘ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතාගේ 94 වැනි ජන්ම දිනය 2020 ඔක්තෝබර් 13 වන දිනට යෙදුණි. තේ, රබර්, පොල් ප්‍රධාන වැවිලි ක්ෂේත්‍රයේ පුරෝගාමියකු වන ඒ මහතා වතු සුපිරින්ටැන්ඩන්ට්වරයකු, ගම්කාර්ය සභාපතිවරයකු, දිසා ඇමතිවරයකු, ප්‍රකට සමාජ සේවකයකු වන ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා ජන්ම දායාදය ලබා ඇත්තේ 1927 ඔක්තෝබර් 13 වන දිනයේදීය.

    1948 දී එවකට අගමැති මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා හොරණ ආසනයේ නිල සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ පොකුණුවිට හේනගම මංසන්දියේදී දොන් ප්‍රේද්‍රික් හෙට්ටිආරච්චි, ඒ. ඩී. ආරොන් අප්පුහාමි ප්‍රධාන ප්‍රභූවරු අගමැතිතුමන් සාදරයෙන් පිළිගෙන හොරණ ප්‍රදේශයේ සංවර්ධනය සම්බන්ධ සංදේශයක් ද පිළිගැන්වූහ.

    1948 දී පැවැති කුඹුකපත්තුව ගම්කාර්ය සභාවේ මැතිවරණයේදී කනේවල හේනේගම කොට්ඨාසයේ ගම්කාර්ය සභික ධුරයට නිතරගයෙන් පත්වෙමින් තරුණ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා සිය දේශපාලන ගමන් මග ආරම්භ ක‍ෙළ්ය. උඩුවේ හර්බට් වික්‍රමසිංහ මහතා ගම්කාර්ය සභාපති ධුරයට පත්වුවද වසර දෙකකින් පසු ඒ මහතා ධුරයෙන් ඉල්ලා අස් වූයේය.

    1977 – 1993 දක්වා කාල පරාසය තුළ මන්ත්‍රීවරයකු අමාත්‍යවරයකු වශයෙන් විශේෂයෙන් හොරණ බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු විෂයයෙහි ප්‍රබල දායකත්වයක් ලබා දුන්නේය. ඒ මහතාගේ දේශපාලන ජීවිතය තුළ ඉටු කරන ලද විවිධ කාර්යයන් අතර ඉන් ප්‍රමුඛස්ථානයක් ගනු ලබන්නේ 1992 දී එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් විවෘත කරන ලද පොකුණුවිට ජන සෙත පදනම ව්‍යාපෘතියයි. පුස්තකාලයක් ශ්‍රවණාගාරයක් සහිත මෙම දෙමහල් ගොඩනැගිල්ල උත්සව ශාලාවකින් ද සමන්විතය. ක්‍රීඩා භූමියක් ද උද්‍යානයකින් ද සමන්විත මෙබඳු බහුකාර්ය ගොඩනැගිල්ලක් කළුතර දිස්ත්‍රික්ක‍ෙය්ම ස්ථාපිතව ඇත‍්තේ හොරණ මැතිවරණ කොට්ඨාසයේ පමණි.

     බන්ධුල ආර්. ගුලවත්ත

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here