වරාය රැක ගැනීමේ සේවක සටනට සහාය දෙනවා – ජවිපෙ ප්‍රධාන ලේකම්

0
36

වරාය රැක ගැනීම වෙනුවෙන් වරාය සේවකයන් ගෙන යන සටනට කොන්දේසි විරහිතව සහ⁣යෝගය දක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඊයේ (07)  පැවසුවේය.

වටිනාම බහාලුම් පර්යන්තය වන කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ලාංකිකයන්ගේ දේපළක් විය යුතු බවත් එය සංවර්ධනය කිරීම සඳහා වරාය සේවකයන් ලෑස්ති වී සිටින අවස්ථාවේ රජය කළ යුත්තේ ඔවුන් සමඟ එකතු වී එය සංවර්ධනය කිරීම විනා ඉන්දීය සමාගමකට මේ ජැටිය පවරාදීම නොවන බවත් හෙතෙම පැවසීය.

වරාය සේවකයන් තමන්ගේ දේශපාලන භේද අතහැර දමා වරාය රැක ගැනීම වෙනුවෙන් එක පෙරමුණකට පැමිණීම සම්බන්ධයෙන් සතුටු වන බවත් ජනතා විමුක්ති පෙරමුණ ද මේ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා දීප ව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් දියත් කිරීමට බලාපොරොත්තු වන අතර මේ ක්‍රියාවලියට විරුද්ධව දීප ව්‍යාප්තව උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවත් එය ජනවාරි මස 12වැනිදා කොළඹදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් කීවේය.

දූපතක්ව පවතින ශ්‍රී ලංකාව ඉදිරියේදී වරායක් නොමැති රටක් බවට පත් කිරීමට උත්සාහ කරමින් සිටින බවත් එය ඉන්දියාවට විකිණීමෙන් ආර්ථිකව මෙන්ම ⁣ආරක්ෂාව අතින්ද ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයක් උදාවන බවත් පැවසූ ඒ මහතා සියලුදෙනාම මේ වෙනුවෙන් ආණ්ඩුවට බල කරන ලෙස ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

නදී මාණික්කගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here