වැල්ල සමඟ සෙල්ලම් කළ බඹරු ඇවිත්

    0
    15

    මෙතෙක් කාලයක් තුළ මෙරට සිනමාවේ කොතෙකුත් නිර්මාණයන් බිහි වුවද තවමත් සියල්ලන්ගේම මතකයේ රැඳී පවතින්නේ 70 දශකයේ නිර්මාණය කරන ලද සිනමා පටයන්ය. මන්ද ලාංකේය සිනමාවේ ස්වර්ණමය යුගය ලෙසින් හැඳින්විය හැක්කේ හැත්තෑව අසූව දශකයයි. ඒ නිර්මාණය වූ චිත්‍රපට අතරින් පතිරාජයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 1978 දී තිරගත වූ බඹරු ඇවිත් චිත්‍රපටය සලකුණු ගත නිර්මාණයක් ලෙස හැඳින්විය හැක.

    1977 මැතිවරණයෙන් සිදුවූ දේශපාලන පෙරළියත් සමඟ මේ කාලය වන විට ලංකාවේ විවෘත ආර්ථිකය මුහු කර ගත් නව දේශපාලන සංස්කෘතියක පෙරළියක් සිදු වෙමින් පැවති කාලයයි. එකී සමාජ වටපිටාවන් ද සමගින් බඹරු ඇවිත් චිත්‍රපටය නිර්මාණය කිරීම උදෙසා පතිරාජයන් විෂය කරගනු ලැබුවේ ද වැනසෙමින් තිබූ මෙකී සමාජ වටපිටාවයි.

    දුෂ්කර වූ ධීවර ගම්මානයක් මුල්කර ගනිමින් චිත්‍රපටයේ කතා වස්තුව ලියැවී තිබුණි. එකී කතා වස්තුවට අදාළව මෙකී ගමේ සියල්ලෝම සාමයෙන් එදිනෙදා ධීවර කටයුතු කරමින් තම ජීවිකාව ගෙන යමින් උන් පිරිසක් වූහ. ධීවර ජීවිතය දුෂ්කර වුවද ඔවුන් තමනට ලැබෙන සොච්චම් මුදලින් තමන් දන්නා රැකියාව කරමින් සතුටින් ජීවත් වූහ. මෙවන් සමාජ වටපිටාවක් පවතින කාල වකවානුවක නගරයෙන් ගමට සංක්‍රමණය වන්නේ ගමට කිසිසේත් නුහුරු හැඩතල සහිත චරිතයකි. නුහුරු නුපුරුදු ඇඳුම් ආයිත්තම් ඩෙනිම්, ටී ෂර්ට් සමග තවත් පිරිවරක් සමගින් ගමට ආ චරිතය වූයේ වික්ටර් නොහොත් බේබි මහත්තයාය. ධීවර ගම්මානයේ සිටි ඔවුනට නුහුරු නුපුරුදු චරිත සමඟින් ඔවුන් කිසිදු දිනක දැක නොමැති ආකාරයේ රට බීම සිගරැට් මෙන්ම ගැමියන්ට ආගන්තුක වූ ගිනි අවි ආදිය ද මේ සමඟම ගමට අනවසරයෙන්ම ඇතුල් වන්නට විය. මේ සා භෞතික වස්තූන් සමගින් වැල්ලට පැමිණි බේබි මහත්තයා තම අණසක සෙමෙන් වැල්ල පුරා පතුරන්නට පටන්ගත් මොහොතේ සිට සටනක ආරම්භයක් ධීවර ගම්මානය තුළින්ම මතුවිය.

    ඇන්ටන් යනු මෙකී ගම්මානයේ උප්පත්තිය ලබා, ධීවර රැකියාව කරමින් ගමේ සියල්ලන්ගේම හොඳ හිත දිනා ගත් ගමේ මාළු වෙළඳාමේ ආධිපත්‍යය පතුරුවා හැරි පුද්ගලයාය. මුලින්ම සටන අරඹන්නේ ඇන්ටන්ය.

    මේ සියල්ල අතර මැද ගම තුළ පැවති සාමකාමී බව බිඳී යන්නට වැඩි කලක් ගත නොවුනි. ආර්ථික ශක්තිය අතින් ඉහළින්ම සිටි බේබි මහත්තයාගේ ආධිපත්‍යය, අණසක ගම්මානය පුරාම විහිද ගියේ මුහුදු සුළං වැද විසිර යන දුහුවිලි වන් වැලි අහුරු වලටත් වඩා වැඩි වේගයකිනි. මෙතෙක් කල් ධීවර ගමේ මාළු වෙළඳාමේ ආධිපත්‍යය දරා සිටි ඇන්ටන්ට හැප්පෙන්නට සිදු වූයේ එසේ මෙසේ පුද්ගලයකු සමග නොවේ. ධනය, බලය මෙන්ම පිරිස් සේනාව අතින්ද වත්පොහොසත්කම් ඇති බේබි මහත්තයා සමගය. බේබි මහත්තයා ලෙසින් ඒ චරිතය හා සම්බන්ධ වූයේ විජය කුමාරතුංගය. බේබි මහත්තයා සමග කරට කර සටන් කරන්නට පොර පිටියට ආ ඇන්ටන්, ජෝ අබේවික්‍රමයි. වැල්ලට සිටි සුරූපීම තරුණිය හෙලන්ය. ධීවර කර්මාන්තයට සම්බන්ධව වැඩ කටයුතු කළ හෙලන්ගේ චරිතය හා සම වැදුනේ මාලනී ෆොන්සේකාය. හෙලන් සමගින් අලුත් ජීවිතයක් අපේක්ෂාවෙන් සිටි තරුණයා වූයේ සිරිල් නොහොත් සිරිල් වික්‍රමගේය.

    කෙසේ වෙතත් සාමකාමීව ගලාගෙන ගිය ජීවිතවලට ලේ රත් කරන සිදුවීම්වලට මුහුණ දෙන්නට සිදුවූයේ වැල්ලට බඹරු පැමිණීමත් සමගය.

    “තෙරේසා, උඹලා ප්‍රවේශම් වෙයල්ලා බඹරු ඇවිල්ලා, බඹරු “

    නගරයෙන් ගමට පැමිණෙන ආගන්තුකයන් දකිද්දීම ඇන්ටන් එය කියන්නේ නිකමට නොවේ. කෙසේ වෙතත් වික්ටර් බේබි මහත්තයා ඇන්ටන් සමග මාළු මිලට ගැනීමේ තරගයට පැමිණීමත් සමග ධීවර ගම්මානයේ සාමකාමී බව පලායන්නට වැඩි කලක් ගත නොවීය. මෙහිදී සිදු වූ ගැටුම් වලින් මුලින්ම මිය යන්නේ හෙලන් සමඟ ප්‍රේමණීය ජීවිතයන් ගත කරන්නට සිතමින් සිටි සිරිල්ය. දෙවනුව මිය යන්නේ බේබි මහත්තයා සමඟ කරට කර හැපෙන්නට ආ ඇන්ටන්ය. ඇන්ටන් වෙරි මරගාතේ සිටිද්දී ඔහුට මන්නයකින් පහර දෙන්නේ ෆ්‍රැන්සිස්ය. මේ චරිතයට පණ පොවනු ලැබුවේ දයා තෙන්නකෝන්ය. බේබි මහත්තයා වැල්ලට පැමිණීමට පෙර කාගෙ කාගේත් හිතහොඳ මිනිසා වූයේ ඇන්ටන්ය. නමුත් ඇන්ටන්ගේ ඝාතනයත් සමඟ උරණ වූ ගම්මුන් ෆ්‍රැන්සිස්වද මරා දමන්නට කටයුතු කළෝය. සියලු දෑ අහවර වෙද්දී හෙලන් පමණක් බේබි මහත්තයා නිසා තමාට ලැබෙන්නට සිටි දරුවා සමඟින් හුදකලා වන්නට විය. මේ සියලු කරුණු කාරණා සිදුවෙමින් පවතිද්දී බේබි මහත්තයා අන් කවරෙකුගේ කෙසේවෙතත් තමාගේ හිත සුව පිණිස පොලිසිය ගම තුළට කැඳවා ගෙන එන්නට සමත් විය. පොලිසියක් නොතිබූ ගමට පොලිසියක් ඇදී එන්නේ ඒ අයුරිනි.

    දේශපාලනික බල තුලනය හුවමාරු වෙමින් පැවති කාල වකවානුවක ආවෘත ආර්ථිකය, විවෘත ආර්ථිකය කරා හුවමාරු වීමේ දී පතිරාජයන් මින් වුවද කීමට උත්සාහ කළේ මේ තාක් දුරට තිබූ සාමකාමී බව කඩා ඉහිරවා තැබූවේ ධනවාදී ආර්ථික ක්‍රමයේ ප්‍රතිපල මත බවය. එසේම ගමත්, නගරයත්, අත පොවන මායිමක පවා නොතිබූ මොහොතක ගමට පොලිසිය ඇදී එන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයක් නිසාම බිහිවූ බේබි මහත්තයා වැනි ධනවාදීන් ආරක්ෂා කිරීමට මිස හැල හොල්මනක්වත් නැතිව උන් ගම්මුන් ගේ ආරක්ෂාවට නොවේ. එමෙන්ම තම පන්තිය තුළින්ම නැගී එන විරෝධය දැක්වීමට පතිරාජයන් යොදාගනු ලැබූ චරිතය වූයේ වීරසේනය. ඔහු විසින් ගම්මුන්ට සිදුවූ දේ පහදා දෙන්නට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. නමුත් පතිරාජය විසින් මූලිකව යොදාගත්, සලකුණු, සංකේත, චිත්‍රපට සංගීතය හා චරිත ඔහුගේ නිර්මාණය සාර්ථක වීම කෙරෙහි හුදෙක්ම බලපෑවේය.

    පතිරාජයන්ගේ තිරපිටපතට නොදෙවෙනි අයුරින් ඉහළට එසවීය හැකි අනිත් අංශයේ වූයේ කේමදාසයන්ගේ සංගීතයයි. ඒ සංගීතයේ මහිමයෙන් බිහි වූ සදාතනික ගීතය වන්නේ ටී.එම්, සුනිලා අබේසේකර, අයිවෝ ඩෙනිස් ගායනය කළ උදුම්බරා ගීතයයි. එය අදටත් කතාබහට ලක් වෙන බඹරු ඇවිත් චිත්‍රපටයේ එකම ගීතයයි.

    මේ චිත්‍රපටය පිළිබඳව කවුරු කෙසේ කතා කළ ද ඉන් කිසිවකුත් නොදන්නා හා කතා කළ යුතුම මාතෘකාවක් තිබේ. ඒ චිත්‍රපටයේ වැඩ කටයුතු මඟ නවතා දමන්නට සිදු වූ මොහොතක මාලනී ෆොන්සේකා මැදිහත්වී එය පවත්වාගෙන යන්නට මැදිහත් වුණු ආකාරයයි. ධර්මසේන පතිරාජ ඇතුළු පිරිස බඹරු ඇවිත් චිත්‍රපටයේ රූගත කිරීම සඳහා කල්පිටිය බලා ගොස් නවාතැන් ගන්නට වූයේ කල්පිටියේ පිහිටි ලැගුම් හලකය. ඉන් ඔවුන් වෙන් කරවා ගත්තේ කාමර දෙකක් පමණි. ඒවා ඔවුන් යොදා ගත්තේ කාන්තාවන්ට නැවතුම් ගැනීමට, ඇඳුම් මාරුකිරීමට හා කැමරා භාණ්ඩ තැබීමටය. අනෙකුත් පිරිසේ සියලුදෙනාම නිදා ගනු ලැබුවේත්, ඇඳුම් මාරු කරනු ලැබුවේත් , තම තමන්ගේ වැඩ කටයුතු කරගනු ලැබුවේත් සාලයේ හා අනෙකුත් ඉඩකඩ තුළයි. කෙසේ වෙතත් චිත්‍රපටය ආරම්භ කරනු ලැබුව ද ඔවුන්ට ආරම්භයේදීම නිශ්චිත වූ අයවැයක් නොතිබූ හෙයින් නිසි ආකාරයට වියදම් හසුරුවා ගැනීමට නොහැකිව අනපේක්ෂිතව වියදම් ඉහළ යාම නිසා නිෂ්පාදන කණ්ඩායම මහත් අසීරුතාවයකට පත් වන්නට වුහ. මාලනී ෆොන්සේකා මේ චිත්‍රපටයට මහත් කැමැත්තෙන් සහ උනන්දුවෙන් සහභාගි වී සිටිය නිසා මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු නවතා දැමීමට සිද්ද වීම පිළිබඳව මාලනී ෆොන්සේකා මහත් කනගාටුවෙන් සිටියාය.

    “කොළඹ ගියොත් මට රුපියල් තිස්දාහක් දෙන්න පුළුවන් පතී”

    ඒ මාලනියගේ හඬයි. නිහඬතාව බිඳිමින් ඇය හදිස්සියේම තමන්ගේ මතය ප්‍රකාශ කරන්නට වුණා. මොහොතේම ෂූටින් නවතා දැමූ ධර්මසේන පතිරාජ එදිනම කල්පිටියෙන් කොළඹ එන්න පිටත් වූවේ ඒ මුදල් ලබාගැනීමටය. සවස කල්පිටියෙන් පැමිණ එදින රාත්‍රියේම නැවතත් කල්පිටිය බලා පිටත් වුණු ඔවුන් පසු දින යළිත් රූ ගත කිරීම් ආරම්භ කරන්නට විය. යම්කිසි ලෙසකින් ඒ ආකාරයෙන් මාලනී ෆොන්සේකා මේ මැදිහත් වීම සිදු නොකළේ නම් බඹරු ඇවිත් චිත්‍රපටය අතර මඟ නවතා දමන්නට ද ඉඩ තිබුණි. කෙසේ වෙතත් බඹරු ඇවිත් චිත්‍රපටයේ පතිරාජයන්ට අමතරව තවත් ගරුත්වයක් හිමිවිය යුත්තේ මාලනී ෆොන්සේකාටය.

    එදා බඹරු ඇවිත් වනසා දැමූ වැල්ල අදටත් එසේමය. විවිධ සටකපට කම්, දූෂණ අක්‍රමිකතා, පුද්ගල ඝාතනයන් මැද ඒ ආකාරයෙන්ම ඉදිරියට දිව යනවා මිසක් පසුපස හැරීමක් නම් සිදු වන්නේ නැත.

    රජිත බස්නායක

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here