සල්ලි එක්ක එල්ලුණොත් සෞඛ්‍යයට අබසරණ ලු!

0
12
9 ජනවාරි, 2021

ඔබේ යෝග්‍යතාව නැතිවෙනවා නම් ඔබ ක්‍රීඩා කරන කාලයට සාපේක්ෂව ඔබේ යෝග්‍යතාව තුන්ගුණයකින් ආපස්සට යනවා.

හිටපු සුපිරි ක්‍රීඩක සව්රව් ගංගුලි පසුගියදා හදිසියේ හෘදයාබාධයකට ලක් වූයේ ය. ඒ ක්‍රීඩකයකු රෝගීවූ පළමු අවස්ථාව නොවේ. ඒ ආකාරයෙන් ඊට පෙර ද අවස්ථා රැසකදී ම ක්‍රීඩකයෝ සංකීර්ණ රෝගාබාධයන්ගෙන් පීඩා වින්ද හ. ශාරීරික යෝග්‍යතාව උපරිම තලයක තබාගත් ක්‍රීඩකයන් විශ්‍රාම ගැනීමෙන් පසු සිදුවන්නේ කුමක් ද? ඔවුන්ට ක්‍රීඩාව අතහැරීම හේතුවෙන් බෝ නොවන රෝගාබාධ වැළඳීමේ සම්භාවිතාව වැඩිවන්නේ ද? අපි මේ සම්බන්ධයෙන් ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රාමාණිකයකු වූ මහාචාර්ය අසංග විජේරත්න මහතාගෙන් විමසා සිටියෙමු.

වර්තමානයේ ලෝක තලයේ ක්‍රීඩාව සැලකිය හැක්කේ ආර්ථික ක්‍රියාවලියක් වශයෙනි. ක්‍රීඩාව හා බැඳී ඇති ප්‍රේක්ෂක ජනාදරය නම් වූ ප්‍රවේගකාරී දිය රළ ප්‍රයෝජනයට ගන්නේ වෙළෙඳ සමාගම් විසිනි. ඒ තමන්ගේ නිෂ්පාදන අලෙවි කරගැනීම පිණිස ක්‍රීඩාව තුළ වෙළෙඳ දැන්වීම් ඔතා රස ගුණ සපිරි ආදරණීය බෙහෙත් පෙති ආකාරයෙන් නිවසටම රැගෙන එන හෙයිනි.

පිටිය වටා තබා ඇති දැන්වීම් පුවරු පමණක් නොව ක්‍රීඩකයන්ගේ ඇඳුම් ආයිත්තම්, ක්‍රීඩා උපකරණ, ලකුණු පුවරුව, රූපවාහිනියේ විස්තර කථන අට්ටාලයේ පසුබිම මෙන්ම ජයග්‍රාහී පීඨිකාව ඇතුළු විවිධ ස්ථානයන් වෙළෙඳ සමාගම් විසින් ආක්‍රමණය කර අවසන් ය. ඒ අනුව ක්‍රීඩාව යනු ප්‍රාග්ධන යුද්ධයේ තවත් එක් ප්‍රබල මෙහෙයුම් මධ්‍යස්ථානයක් පමණි.

කෙසේ වෙතත් දැන් එයින් ගැලවීමට ක්‍රීඩාවට කිසිසේත්ම හැකියාවක් ඇත්තේ නැත. එහෙත් මෙහි ඇති ප්‍රබලම ගැටලුව වී ඇත්තේ ක්‍රීඩාවෙන් සමුගත් හිටපු දක්ෂ ක්‍රීඩකයන් විවිධාකාර බෝ නොවන රෝගයන්ට මුහුණපෑමේ ප්‍රවණතාව ගොඩනැගීම ය. පසුගිය කාලවකවානුවේ ලොව පුරා ප්‍රකට ක්‍රීඩකයන් රැසක් මේ ආකාරයෙන් රෝගී භාවයට පත්විණි. අසූව දශකයේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ඩීන් ජෝන්ස් ගෙවුණු වසරේ ඉන්දියාවේ හෝටල් ලොබියක් තුළ ඇදවැටී රෝහල් ගතකිරීමට ප්‍රථම හෘදයාබාධයක් හේතුවෙන් මිය ගියේය. ශ්‍රී ලංකාව තුළ ද ඇතැම් ක්‍රීඩකයන් හෘදයාබාධ හේතුවෙන් සංකීර්ණ සැත්කම්වලට පවා ලක්විය. සුප්‍රකට ජාත්‍යන්තර පදක්කම් ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොලෙස්ටරෝල්, සීනි, අධි රුධිර පීඩනය වැනි රෝගාබාධ හේතුවෙන් පීඩා විඳින බව ද සුප්‍රකට ය.

මෙසේ ක්‍රීඩකයන් රෝගාබාධයන්ට ලක්වන්නේ ඇයි?

මහාචාර්ය අසංග විජේරත්නයන් පවසන්නේ වර්තමානය වනවිට ක්‍රීඩකයන්ගේ විවේක කළමනාකරණයේ දුර්වලතාවයන්, එකවර ක්‍රීඩාවෙන් ඉවත්වීම, ව්‍යායාම හා නම්‍යතා ව්‍යායාම ගිලිහී යාම ඊට බොහෝ දුරට හේතුවන බවයි.

‘ක්‍රීඩකයකු තරගකාරී ක්‍රීඩාව සිදුකරන සමයේ ශාරීරික හා මානසික යෝග්‍යතාවය පවත්වාගෙන යා යුතුයි. එමගින් සිදුවන රසායනික ක්‍රියා ඉවහල් කරගනිමින් ශරීරයේ උපරිමය ද ලැබිලා ක්‍රීඩකයාගෙන් දක්ෂතා මතුවෙනවා. අතීතයේ අපි ඒ කියන්නේ හැට හැත්තෑව දශකයේ වෛද්‍ය නිගමනය වුණේ කාඩියැක් හෙවත් හෘද පේශි ආශ්‍රිතව සිදුකරන ව්‍යායාම මගින් යෝග්‍යතාවයන් වර්ධනය වන බවයි. ඒත් ඒ තත්ත්වය අනූව දශකය වනවිට ශාරීරික මාංශ පේශි දක්වා වෙනස් වුණා වගේම සම්පූර්ණ සිරුරටම ලබාදෙන බර ඉසිලීම වැනි කායවර්ධන ව්‍යායාමුත් එක්කෙරුණා. නමුත් 2010 පමණ වනවිට බටහිර සිදුකළ පර්යේෂණවලින් තීරණය වුණේ ක්‍රීඩකයන්ට වැඩිපුරම අවශ්‍ය වන්නේ විවේක කළමනාකරණය බවයි.’ මහාචාර්යවරයා පවසන්නේ ය.

ක්‍රීඩකයන් මුදල් පසුපස හඹායාමට පටන් ගැනීමත් සමඟ මෙම බෝ නොවෙන රෝග ප්‍රමාණාත්මකව ඉහළ යාමට හේතුවී ඇතැයි ඔහු පෙන්වාදෙයි. තරගකාරිත්වය හේතුවෙන් මනස විසින් දරාගනු ලබන පීඩනය, තරග සඳහා නැඹුරුව ඉහළ යාම හා ක්‍රීඩකයන් මත පැටවෙන පීඩනය අධිකවීම මෙවැනි රෝගාබාධ වැඩිදියුණුවීමට ඉවහල්ව ඇත. ‘වර්තමානයේ ලෝකය ජයගන්න ක්‍රීඩාව යොදාගන්න බොහෝ රටවල් කටයුතු කරමින් ඉන්නවා. අපි දකිනවා චීනය, ඉන්දියාව වැනි රටවල් ආර්ථික අවශ්‍යතාවලට පමණක් නොවෙයි දේශපාලන අවශ්‍යතා වෙනුවෙනුත් ක්‍රීඩාව යොදාගනිමින් ඉන්න බව. එය අමෙරිකාව හා රුසියාව මිට කලින් භාවිත කළා.

ඒත් මේ කියන පීඩනය දරාගන්න අවශ්‍ය ආකාරයට ක්‍රීඩකයන්ගේ ශරීරය දියුණු වෙලා නෑ. ඒ වගේම පුහුණුකරුවන් දැන් ක්‍රීඩකයන් ගෙන් පාලනය වන තැනකට පත්වෙලා. ඒ නිසා පුහුණුකරුගේ අනාගතය තීරණය කරන්නෙත් ක්‍රීඩකයාමයි,’ ක්‍රීඩාවේ වර්තමානයේ ඇති අර්බුද ගැන මහාචාර්යවරයා පෙන්වා දෙයි.

එසේම වර්තමානයේ පෞද්ගලික පුහුණුකරුවන්, භෞතචිකිත්සකයන්, පුද්ගලික පුහුණු සැලසුම්, තම නිවස තුළම පවත්වාගෙන යන කායවර්ධනාගාර ක්‍රීඩකයන් සතුය. ‘ඔවුන් දැන් බය එකම දේ විවේකය. එහෙත් අවශය වන්නේත් ඒ දෙයමයි. සාර්ථකත්වය, මුදල් ඉලක්ක පසුපස යද්දී ඔවුන්ට විවේක ගන්න බෑ. සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයකුට දිනකින් තුනෙන් එකක් ඒ කියන්නේ පැය අටක් පමණ විවේකය අවශ්‍යයි. එහෙත් වර්තමානයේ බොහෝ ක්‍රීඩකයන් පැය අටක් නිදාගත්තත් ඉන්නේ දැඩි මානසික පීඩනයකින්. ඒනිසා ඔවුන්ට සුවදායී නින්දක් ලැබෙන්නේ නෑ. පෝෂණ කළමනාකරණය අවුල් වෙලා තිබෙනවා. මේ නිසා ක්‍රීඩකයන්ගේ ශාරීරික පද්ධතීන්ට විශාල බලපෑමක් වෙනවා. වකුගඩු, හෘදය, හෝමෝන පද්ධතිය මගේම ආහාර ජීර්ණ පද්ධතියටත් එය දැඩිව බලපානවා. ඒකත් එක්ක අතුරු ආබාධ වැඩිවෙනවා.’ ඔහු පෙන්වා දෙන්නේය.

‘ඔබේ යෝග්‍යතාවය නැතිවෙනවා නම් ඔබ ක්‍රීඩා කරන කාලයට සාපේක්ෂව එය තුන්ගුණයකින් ආපස්සට යනවා.’ කියලා වෛද්‍ය නිගමනයක් තිබෙනවා. දැන් බොහෝ ක්‍රීඩකයන්ට සිදුවී තිබෙන්නේ එයයි.

මීට විසඳුම් වශයෙන් කළ යුත්තේ දිනකට පැයක් වත් හදවතට ව්‍යායාම් කිරීමයි. ඇවිදීම, පිහිනීම හෝ බැඩ්මිනටන් වැනි ක්‍රීඩාවක් ඊට සුදුසුයි. ඒ වගේම ක්‍රීඩාව කරන කාලයේත් නවත්වපු කාලයේත් පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් කරගත යුතුයි. ඒ වගේම ක්‍රීඩාවෙන් සමුගත්තාට පසුව ක්‍රීඩාවට සම්බන්ධ වෘත්තියක නියැලිය යුතුයි. උදාහරණයකට විනිසුරුවෙක්, පුහුණුකරුවෙක්, තීරකයෙක්, විස්තර විචාරකයෙක්, තාක්ෂණික නිලධාරියෙක් වෙන්න පුළුවන්. දියුණු රටවල් තමන්ගේ ක්‍රීඩකයන්ට මේ දේ සකස් කරලා දීලා තිබෙනවා,’ ඔහු වැඩිදුරටත් පවසන්නේ ය.

එයින් පැහැදිලි වන්නේ ක්‍රීඩකයන් ක්‍රීඩාවෙන් සමුගත් පසුත් ජීවිත චර්යාව කළමනාකරණය කරගත යුතු බව ය. එසේ නොමැති වුවහොත් සෙල්ලම් ලෙල්ලම් වී අකාලයේ ජීවිතයෙන් සමුගැනීමට වුව ඉඩ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here