119 අමතා ව්‍යාජ තොරතුරු දුන් පුද්ගලයෙක්ට වෙච්ච වැඩේ!

0
32

පොලිසිය නොමග යැවීමේ චේතනාවෙන් 119 අංකය අමතා ව්‍යාජ තොරතුරු ලබා දුන් පුද්ගලයෙකු ලබන 18 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

දෙහිවල, කල්දේරා මාවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පමණ පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර තිබේ.

ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉරානයේ දීර්ඝ කාලයක් පදිංචිව සිට මෙරටට පැමිණි ලාංකිකයෙකි.

අදාළ පුද්ගලයා පෙරේදා (5) දින යම් සිදුවීමක් සම්බන්ධයෙන් චේතනාන්විතව ව්‍යාජ තොරතුරු 119 මධ්‍යස්ථානය අමතා ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔහු ඇමතුම ලබාදුන් අදාළ දුරකතන අංකය ඔස්සේ විමර්ශනයක් කර එම පුද්ගලයා දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව ඊයේ (6) දින ගල්කිස්ස අධිකරණයට ඔහුව ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහුව ලබන 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වී ඇත.

ඔහුට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

119 අංකය ලබා දී ඇත්තේ හදිසි ආපදා තත්ත්වයකදී, රිය අනතුරකදී හෝ වෙනත් හදිසි අවස්ථාවකදී තොරතුරු දැන්වීමට බවත් යම් අවස්ථාවල එම අංකය අවභාවිතා කරමින් පුද්ගලයන් වැරදි තොරතුරු ලබාදෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

යම් කිසි පුද්ගලයෙක් 119 මධ්‍යස්ථානය වෙත ව්‍යාජ තොරතුරු ලබා දෙන්නේ නම්, විශේෂයෙන් ම, චේතනාන්විතව පොලිසිය නොමග යැවීමට ක්‍රියා කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here