ආසියානු – ලෝක – ඔලිම්පික් ඉලක්ක කර රග්බි සංගමයෙන් වි⁣ශේෂ ව්‍යාපෘති 3ක්

0
12

කොරෝනා වසංගතය හේතුවෙන් පසුබෑමකට ලක් වූ මෙරට රග්බි ක්‍රීඩාව යළි පණ ගැන්වීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා රග්බි ආයතනය ව්‍යාපෘති 3ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. අන්තර් සමාජ රග්බි තරගාවලියක්, අන්තර්ජාතික රග්බි තරගාවලියක් සහ අධිතාක්ෂණික වැඩසටහනක් මේ ව්‍යාපෘතිවලට ඇතුළත් වේ. ඊට අදාළ වාර්තා මේ වන විට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇති බවත්, අමාත්‍යවරයාගේ උපදෙස් හා ආශිර්වාදය සමඟ ඉදිරියේදී එම කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇති බවත් ‘දිනමිණ’ කළ විමසුමකදී ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්යාස් මහතා ප්‍රකාශ කළේය.

“මේ ව්‍යාපෘති සම්බන්ධව ක්‍රීඩා ඇමැතිතුමා ඉතා සතුටට පත් වුණා. ඒ වගේම එතුමාගේ පූර්ණ ආශිර්වාදය දෙන බවත් කියා සිටියා. මම හිතනවා එතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ ඉතා ඉක්මනින් අපට නැවත මෙරට රග්බි ක්‍රීඩාව ආරම්භ කිරීමට හැකි වේවි කියලා. කොරෝනා වසංගතය නිසා පසුගිය වසරේදි අපිට ක්‍රීඩාව පවත්වාගෙන යෑමට නොහැකි වුණා. නමුත් මේ වසරේදී අප කෙසේ හෝ ක්‍රීඩාව ගොඩගත යුතුයි. ක්‍රීඩා ඇමැතිතුමාත් ධනාත්මක පසුබිමකයි ඉන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ව්‍යාපෘති යටතේ රග්බි ක්‍රීඩාව නව මාවතකට යොමු කරමින් අන්තර්ජාතික තලයට රැගෙන යෑමට හැකි වේවි කියලා.” ඉල්යාස් මහතා සඳහන් කළේය.

මේ ව්‍යාපෘති සඳහා වැය වන මුදල අනුග්‍රාහකත්ව තුළින් සොයා ගැනීමට බලාපොරොත්තු වන බවත්, මේ වන විටත් ඒ සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් ඉල්යාස් මහතා කියා සිටියේය. සමස්ත ව්‍යාපෘති සඳහා වැය වන මුදල රුපියල් මිලියන 245කට ආසන්න බව එම ව්‍යාපෘති විශ්ලේෂණය කිරීමේදී පෙනී යයි. මේ ව්‍යාපෘති ත්‍රිත්වයට අමතරව රග්බි ආයතනය මඟින් වාර්ෂිකව සංවිධාන කරන සෙසු තරගාවලි සියල්ල ගත්විට ක්‍රීඩාව වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 300කට අධික මුදලක් වැය වන බව ඉල්යාස් මහතා පැහැදිලි කළේය.

“අපිට දැනට ඩයලොග් ආයතනය සිටිනවා. නමුත් මේ ව්‍යාපෘති ත්‍රිත්වයට විශාල මුදලක් වැය වනවා. එම සම්පුර්ණ මුදල සඳහා අනුග්‍රාහකත්වය දීමට එක් ආයතනයකට හැකියාවක් ඇතැයි අපිට සිතන්නට බෑ. ඒ නිසා අපට මෙරට රග්බි ක්‍රීඩාව වෙනුවෙන් තවත් අනුග්‍රාහකයන් කිහිපදෙනකු සොයාගත යුතු වෙනවා. ඩයලොග් ආයතනය මේ මුදලින් සියයට 25%කට දායකත්වය ලබා දෙන්නේ නම් අපට එවැනි අනුග්‍රාහකන් තවත් තිදෙනකු සොයාගත යුතුව තිබෙනවා. අප මේ වනවිට සියලු අනුග්‍රාහකයන් සමඟ සාකච්ඡා කරමිනුයි ඉන්නේ.” ඉල්යාස් මහතා වැඩිදුරටත් පැවසීය.

අන්තර් සමාජ සත් සාමාජික තරගාවලිය

අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය මේ මස අගභාගයේදි පැවැත්වීමේ අදහසින් පසුවන අතර, ඒ සඳහා රුපියල් මිලියන 55ක ඇස්තමේන්තුවක් පිළියෙළ කරමින් පළමු ව්‍යාපෘතිය සකස් කර ඇත. ‘ඒ’ කාණ්ඩයේ රග්බි ක්‍රීඩා සමාජ 8ක් තරග වදින මේ තරගාවලිය දැඩි සෞඛ්‍ය නීතිරෙගුලාසි මැද පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, නරඹන්නන්ගෙන් තොරව පවත්වනු ලබන බැවින් රූපවාහිනිය ඔස්සේ සජීවිව විකාශය කිරීමට රග්බි ආයතනය බලාපොරොත්තු වේ. මේ තරගාවලිය රත්මලාන ගුවන් හමුදා කඳවුරු පිටියේදී පැවැත්වීමට තීරණය වී ඇත.

ඒ සඳහා ජෛව බුබුලු ආරක්ෂිත වළල්ලක සෑම කණ්ඩායමක්ම ස්ථාන ගත කිරීමට සැලසුම් කර ඇති අතර, එය ක්‍රීඩා සමාජ පොකුර හා තරගාවලි පොකුර ලෙස කොටස් දෙකකට බෙදා තිබේ. ක්‍රීඩා සමාජ පොකුරේදී සෑම ක්‍රීඩකයකුම පීසීආර් පරික්ෂණ තුනකට ලක් කිරීමටත් දින 21ක කාලයක් නිරෝධායනය කිරීමටත් සැලසුම් කර ඇත. මීට අමතරව තරගාවලිය පොකුර ඇතුළතදී රග්බි ආයතනය මඟින් සෑම ක්‍රීඩකයකුම පීසීආර් පරීක්ෂණ දෙකකට යොමු කිරීමට කටයුතු යොදා ඇත. තරග තීරකවරුන්, පුහුණුකරුවන් පරිපාලන හා කාර්ය මණ්ඩලයත් ඒ අනුව පීසීආර් පරික්ෂණවලට මුහුණ දෙනු ඇත. මේ සඳහා රුපියල් මිලියන 24ක, මිලියන 16ක හා මිලියන 12ක වෙන වෙනම විකල්ප තුනකින් සමන්විතව වාර්තාවක් රග්බි ආයතනය මඟින් ඉදිරිපත් කර ඇති අතර, සමස්ත තරගාවලියට රුපියල් මිලියන 55ක මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් තරගාවලිය

ලබන ජූනි මාසයේ දී හෝ අගෝස්තු මාසයේදී පැවැත්වීමට සැළසුම් කර ඇති ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් ‘ෆ්‍රැන්චයිස්’ ක්‍රමයේ ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් අටක් ඇතුළත් කිරීමටත්, කණ්ඩායම් 4කින් සමන්විත කාන්තා තරගාවලියක් ඇතුළත් කිරීමටත් කටයුතු යොදා තිබේ. පිරිමි තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් සහභාගි කිරීමට කටයුතු යොදා ඇති අතර, සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයන් තිදෙනකු බැගින් ඇතුළත් කිරීමට යෝජනා වී ඇත.

කණ්ඩායම් හා ක්‍රීඩකයන් වෙන්දේසිගත කිරීමටත්, එක් කණ්ඩායමක් රුපියල් මිලියන 16කට ආසන්න මුදලකට අලෙවි කිරීමටත් යෝජනා වී ඇති අතර, අදියර දෙකකින් සමන්විත මේ තරගාවලිය පැවැත්වීම සඳහා මහනුවර හා කොළඹ තෝරාගෙන ඇත. මේ තරගාවලිය පැවැත්වීමට මිලියන 18ක මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අධිතාක්ෂණික පුහුණු වැඩසටහන

මීට අමතරව අන්තර්ජාතික තලයට රැගෙන යෑමට හැකි යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ දස්කම් වර්ධනය කිරීමට තවත් ව්‍යාපෘතියක් ලෙස අධිතාක්ෂණික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රග්බි ආයතනය සැලසුම් කර තිබේ. පිරිමි හා කාන්තා වශයෙන් අංශ දෙකකින් යුතුව මේ අධිතාක්ෂණික වැඩසටහන ක්‍රියාත්මක වන අතර, 2022 ආසියානු ක්‍රීඩා උලෙළේදී පදක්කමක්, 2024 ඔලිම්පික් සුදුසුකම් ලැබීම, 2026 ලෝක ශුරතා රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීම එහි ඉලක්ක ලෙස සඳහන් වේ.

විදෙස් පුහුණුකරුවකු හා අධිතාක්ෂණික පුහුණුව ලැබූ ශාරිරික හා දස්කම් ප්‍රවර්ධන විදෙස් පුහුණුකරුවකුගේ සේවය මේ සඳහා ගැනීමට රග්බි ආයතනය බලාපොරොත්තු වන අතර, වාර්ෂිකව ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් 20 බැගින් ගිවිසුම්ගත කරමින් දින 180ක කාලසීමාවක් දක්වා මේ පුහුණු වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර ඇත. එම කාලය ඇතුළත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් ලක්ෂය දක්වා වැටුප් ගෙවීමටත්, රක්ෂණ ආවරණ, ආහාරපාන හා නවාතැන් පහසුකම් සැලසීමටත් රග්බි ආයතනය බලාපොරොත්තු වේ. ආසියානු සත් සාමාජික කාන්තා හා පිරිමි තරගාවලි සහ වෙනත් විදෙස් තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම මේ අධිතාක්ෂණික පුහුණු කඳවුර තුළින් සිදු කිරීමට නියමිතය. මේ ව්‍යාපෘතිය සඳහා සමස්ත වියදම රුපියල් මිලියන 167ක යෝජිත ඇස්තමේන්තුවක් රග්බි ආයතනය ඉදිරිපත් කර ඇත.

රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්යාස්, නියෝජ්‍ය සභාපති නසීම් මොහොමඩ්, උපසභාපතිවරු රියර් අද්මිරාල් එච්.ඒ.යූ.ඩී. හෙට්ටිආරච්චි, සුසන්ත මෙන්ඩිස්, ලේකම් ජූඩ් පිල්ලේ, භාණ්ඩාගාරික දිනේෂ් පෙරේරා සහ රග්බි ආයතනයේ විධායක අධ්‍යක්ෂ එක්ව සාකච්ඡා වට ගණනාවකින් පසු මේ ව්‍යාපෘති පිළියෙල කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.

 

ෆවුස් මොහොමඩ්

 

ෆවුස් මොහොමඩ්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here